අලිරේසා බේරන්වැන්ඩ්; පාරේ නිදා ගැනීමේ සිට රොනාල්ඩෝගේ දඬුවම් පහරක් නැවැත්වීම දක්වා

5738
Alireza Safar Beiranvand is an Iranian footballer who plays as a goalkeeper in Iran team

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ඉරාන කණ්ඩායමට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්ව යාමට සිදුවූවත්, ඔවුන් එහි දී ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. එහි දී ඉරාන කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතරින් ඔවුන්ගේ ගෝල රකින ක්‍රීඩක අලිරේසා බේරන්වැන්ඩ් හට සුවිශේෂී තැනක් හිමි වේ. කෙසේ නමුත් ඔහු ඉරානයේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීම දක්වා පැමිණි ගමන්මග ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට සැබවින්ම ආදර්ශයක් විය හැක.

කොලොම්බියාවේ පිහිටෙන් ජපානය මීළඟ වටයට; අවසන් ජයග්‍රහණ බෙල්ජියමට සහ ටියුනීසියාවට

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ අවසාන තරග සඳහා H කාණ්ඩයේ කණ්ඩායම් හතර අද (28) දිනයේ පළමු තරග …

බැටළුවන් හට තණබිම් සොයා නිරන්තර සංක්‍රමණයේ යෙදෙන එඬේර පවුලක වැඩිමහල් පුතු ලෙස උපත ලබන අලිරේසාගේ උපත සිදුවන්නේ ‘Sarabias’, ‘Lorestan’හිදී ය. පවුලේ වැඩිමහල් දරුවා වීම හේතුවෙන් සිය පවුලේ කටයුතුවලට කුඩා වයසේ සිටම උදව් කිරීම ඔහුට සාමාන්‍ය කටයුත්තක් විය. ඒ අනුව ඔහුගේ පළමු රැකියාව වූයේ සතුන් රැකබලා ගැනීමයි. ඒ අතරතුර විවේක කාලයක් ලැබුණු විට ඔහු සිය මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩාවේ සහ ‘Dal Paran’ නම් දේශීය ක්‍රීඩාවක නිරත වන්නට විය. ගල් දිගු දුරක් විසිකිරීම ‘Dal Paran’ ක්‍රීඩාවේ කොටසක් විය. පාපන්දු ක්‍රීඩාව සහ ඒ අතර කිසිදු සබඳතාවක් නැතැයි ඔබට සිතෙන්නට ඇතත් අවුරුදු ගණනාවකට පසුව අලිරේසා හට එය ප්‍රයෝජනවත් වී ඇත.

ඔහුට වයස අවුරුදු 12ක් වන විට සිය පවුල ‘Sarabias’හි පදිංචි වූ අතර ඒත් සමඟ ඔහු එහි කණ්ඩායමක් සමඟ පාපන්දු පුහුණුවීම් කටයුතුවල නිරත වන්නට විය. ඔහු එහි දී ප්‍රහාරක ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කරනු ලැබුවත්, සිය කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයා ආබාධයකට ලක්වූ අවස්ථාවක ගෝල රකින වගකීම බාරගත් අලිරේසා එහි දී විශිෂ්ට අන්දමින් රැකගත් ගෝලයක් ගෝල රකින ක්‍රීඩකයෙක් වශයෙන් ඔහුව ස්ථාපිත කිරීමට ප්‍රමාණවත් විය. ඒ අනුව ගෝල රකින ක්‍රීඩකයෙක් වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වන්නට අලිරේසා තීරණය කරනු ලැබුවත් එම තීරණයට ඔහුගේ පියාගෙන් දැඩි විරෝධතා එල්ල විය.

බොහෝ පියවරුන් මෙන් මොටේසා බේරන්වැන්ඩ්ගේ ද අදහස වූයේ පාපන්දු ක්‍රීඩා කිරීම සුදුසු රැකියාවක් නොවන බවත්, ඒ වෙනුවට අලිරේසා සුළු රැකියාවක නිරත විය යුතු බවත් ය. ඒ අනුව සමහර අවස්ථාවල දී ඔහුගේ පියා සිය පාපන්දු ක්‍රීඩා කරන ඇඳුම් සහ අත් ආවරණ ඉරා දැමූ බවත්, ඒ අනුව එවන් අවස්ථාවල දී ඔහුට අත් ආවරණ නොමැතිව ක්‍රීඩා කිරීමට සිදු වූ බවත් අලිරේසා ‘The Guardian’ වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී පවසා ඇත.

ඒ අනුව සිය පවුල අතහැර ඉරානයේ අගනුවර වූ ටෙහෙරාන් නුවර වෙත පැනයාමට ඔහු පසුව තීරණය කරනු ලැබුවේ එහි ඇති ප්‍රධාන ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබාගැනීමේ අපේක්‍ෂාව සහිතව ය.

ඒ අනුව ඔහු සිය නෑදෑයෙකුගෙන් මුදල් ඉල්ලා ගෙන ටෙහෙරාන් නුවර බලා බස් රථයකින් පැමිණි අතර එම බස් රථය තුළම ටෙහෙරාන් නුවර පාපන්දු සමාජයක පුහුණුකරුවෙකු වූ හොසේන් ෆෙයිස් මුණගැසීමට තරම් ඔහු වාසනාවන්ත විය. අලිරේසා හට ටෝමාන් 200,000ක මුදලකට පුහුණු වීමට අවස්ථාව ලබා දිය හැකි බව හොසේන් පවසා සිටියේ ය. නමුත් තරුණ අලිරේසා සතුව මුදල් පමණක් නොව සිටීමට තැනක් පවා තිබුණේ නැත.

ඒ අනුව ඔහුට අසාදි කුළුණ ආශිතව රාත්‍රී කාලය ගතකිරීමට සිදු විය. අසාදි කුළුණ දුප්පත් සංක්‍රමණිකයින් රැසක් ඒ ආකාරයට එක්වූ ස්ථානයකි. පසුව එක් දිනක් අලෙවිකරුවෙකු අලිරේසා හට සිය නිවසෙහි කාමරයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර ඔහු ඊට එකඟ වූ නමුත්, ඒ වෙත යන අතරමඟ දී සිය අදහස වෙනස් කරන ඔහු සිය එදිනෙදා පුහුණුවීම් කටයුතු කරන ක්‍රීඩා සමාජය වෙත පියමනින්නට විය.

“මම ක්‍රීඩා සමාජයේ දොර අසළ නිදා ගත්තා. මම උදේ නැඟිටින කොට මිනිස්සු මම හිඟන්නෙක් කියලා හිතලා මට සල්ලි දාලා ගිහින් තිබුණා. ඒකෙන් මට පුළුවන් වුනා ගොඩ කාලෙකට පස්සේ රසවත් උදේ කෑම වේලක් කන්න.” අලිරේසා සිය සම්මුඛ සාකච්ඡාවේ දී අදහස් දක්වමින් පැවසීය.

ලෝක ශූරයින් ඉවතට විසිවෙද්දී බ්‍රසීලය, ස්වීඩනය,ස්විස්ටර්ලන්තය හා මෙක්සිකෝව මීළඟ වටයට

ශූරයින්ගේ ශාපය නැවත වරක් සත්‍යයක් වෙමින්, 2014 ලෝක ශූර ජර්මනිය ඉතිහාසයේ පළමු වතාවට මෙවර පළමු වටයේ තරග දෙකක් පරාජය …

පසුව අලිරේසාගෙන් මුදල් අයකිරීමකින් තොරව ඔහුට සිය ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් කටයුතුවල නිරත වන්නට හොසේන් අවස්ථාව ලබා දුන් අතර අලිරේසා හට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද ඔහු එහි නායකයාට තවදුරටත් උපදෙස් දෙන ලදි. ඒ අනුව අලිරේසා හට සති 2ක කාලයක් සිය ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකුගේ නිවසේ නවාතැන් පහසුකම් හිමි වූ අතර ඉන් අනතුරුව ඔහුට එම ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකුගේම පියෙකු කරගෙන යනු ලැබූ ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාවක් හිමි විය. එතැන් පටන් ඔහුට එම කර්මාන්තශාලාවේ රාත්‍රිය ගතකිරීමට හැකියාව ලැබිණ.

ඔහු ඊළඟට රැකියාවේ නිරත වූයේ රථ වාහන සෝදන ස්ථානයක යි. එහි දී ඔහුගේ උස නිසාවෙන් ඔහු ‘SUV’ රථ සේදීමේ විශේෂඥයෙක් බවට පත්විය. එහි සේවය කරමින් සිටිය දී දිනක් ඔහුට අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදු විය. ඒ ඉරාන පාපන්දු වීරයෙක් වන ‘Bayern Munich’ පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරනු ලැබූ අලි ඩාඒ සිය වාහනය සෝදාගැනීම සඳහා එම ස්ථානයට පැමිණීමත් සමඟ යි. එහි සිටි අලිරේසාගේ සඟයින් ඔහුට පවසා සිටියේ අලි සමඟ කතාබහ කර ඔහුට පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට යම්කිසි සහයෝගයක් ලබා ගැනීමට හැකියාව ඇත්දැයි විමසා සිටින ලෙසයි. නමුත් අලිරේසා ඊට කන් දුන්නේ නැත. ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ; “මම අලි මහතා සමඟ එදා කතා කළා නම් ඔහු මට අනිවාර්යයෙන්ම උදව් කරන බව මං දැනගෙන හිටියේ. ඒත් මට ඔහු සමඟ කතා කරන්නත්, මං ඉන්න තත්වය ගැන ඔහුට කියන්නත් ලැජ්ජාවක් ඇතිවුණා.” යනුවෙනි. ඒ අනුව ඔහුගේ තීරණය වූයේ සිය මාර්ගය තමන් විසින්ම සකසා ගැනීමයි.

වැඩි දිනක් යන්නට පෙර අලිරේසා හට ‘Naft-e-Tehran’ හි පුහුණුකරුවෙක් මුණගැසුනු අතර ඒත් සමඟම ඔහු එහි ක්‍රීඩා කිරීම ආරම්භ කළේය. ආරම්භයේ දී එම ක්‍රීඩා සමාජය ඔහුට යාච්ඤා කාමරයක සිටීමට අවසර ලබා දුන් නමුත් පසුව ඔවුන් පවසා සිටියේ ඔහුට තවදුරටත් එහි රැඳී සිටිය නොහැකි බවයි. ඒ අනුව ඔහු රාත්‍රියට නැවතීමේ ස්ථානයක් සොයා ගැනීමට පීසා අවන්හලක සේවය කිරීම ආරම්භ කළේය. එහි දී ඔහුට තවත් අභියෝගාත්මක සිදුවීමකට මුහුණ දීමට සිදු විය. ඒ එක් දිනක් ඔහුගේ මෙම රැකියාව පිළිබඳව කිසිවක් දැන නොසිටි ඔහුගේ පුහුණුකරු එම අවන්හල වෙත පැමිණීමත් සමඟ යි. එහි දී අලිරේසා හට සිය පුහුණුකරුගෙන් සැඟවී සිටීමට අවශ්‍ය වූ නමුත් එම අවන්හලේ අයිතිකරු ඔහුට අණකර සිටියේ පුහුණුකරු වෙත අවශ්‍ය සේවාව ලබා දෙන ලෙසයි. දින කිහිපයකට පසුව එම රැකියාව අත්හැරීමට ඔහු තීරණය කළේය.

කෙසේ නමුත් ඔහුට රාත්‍රියට නවාතැන් ගැනීම සඳහා රැකියාවක් සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තක් විය. ඒ අනුව පසුව ඔහුට මාර්ගය පිළිසකර කරන්නෙක් ලෙස රැකියාවක නිරත වන්නට සිදු විය. එහි දී සමහර අවස්ථාවල දී ඔහුට විශාල උද්‍යාන තනිව අතුගා දැමීමට පවා සිදු වූ අතර එය පාපන්දු තරග සඳහා සිය ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමට ඔහුට විශාල බාධාවක් විය. ඔහු වෙනත් කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කර ආබාධයකට මුහුණ දීම නිසා පසුව ඔහුව ‘Naft’ ක්‍රීඩා සමාජයෙන් නෙරපා දැමුණු අතර ඒ අනුව ඔහු එහි දී ‘Homa’ ක්‍රීඩා සමාජය වෙත ගියේය. නමුත් එහි කළමනාකරු ඔහුට ගිවිසුමක් ලබා දීමට අකමැති විය. අලිරේසා හට එහි දී සිය සිහිනය ඔහුගෙන් ඈතට යන ආකාරයක් දිස්වන්නට විය.

කෙසේ නමුත් ‘Naft’ ක්‍රීඩා සමාජයේ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමේ කළමනාකාරවරයා ඉන් අනතුරුව අලිරේසා අමතා ඔහු වෙනත් ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුම් ගතවී නොමැති නම් නැවතත් ඔහුට කණ්ඩායම සමඟ එක්විය හැකි බව පවසා සිටියේ ය. “සමහර විට ඒක මගේ දෛවය වෙන්න ඇති ‘Homa’ කණ්ඩායමේ කළමනාකාරවරයා මට ගිවිසුමක් ලබා දෙන්න අකමැති වුනේ. මම ඒ කණ්ඩායමේ හිටියා නම් මට මම අද මේ ඉන්න තත්වයට කවදාවත් එන්න පුළුවන් වෙන්නේ නැහැ.” අලිරේසා ඒ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

එතැන් පටන් අලිරේසා ඉහළ දක්‍ෂතා දක්වමින් කැපී පෙනෙන්නට විය. ඒ අනුව ඔහුව වයස අවුරුදු 23න් පහළ ඉරාන ජාතික කණ්ඩායම වෙත තෝරාගනු ලැබුණු අතර ඒත් සමඟම ‘Naft’ ක්‍රීඩා සමාජයේ ද ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයාගේ ස්ථානය තහවුරු කරගන්නට ඔහු සමත් විය. කෙසේ නමුත් ඔහු ලොව පුරා ප්‍රචලිත වන්නේ කුඩා කළ ඔහු විනෝදාංශයක් ලෙස නිරත වූ ‘Dal Paran’ ක්‍රීඩාව නිසයි. වසර ගණනාවක් එම ක්‍රීඩාවේ නිරත වෙමින් ගල් විසිකරමින් ඔහු ලද පුහුණුව සහ ආභාසය ඔහුට අනෙක් ගෝල රකින ක්‍රීඩකයින්ට වඩා පන්දුව ඈතට විසිකිරීමට මනා රුකුලක් විය. ඒ අනුව ඔහු විදෙස් මාධ්‍යවල අවධානය දිනා ගනිමින් ලොව පුරා ප්‍රචලිත වන්නේ ‘Tractor Sazi’ කණ්ඩායමට එරෙහි තරගයක දී මීටර 70ක දුරක් පන්දුව විසිකරමින් සිය කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාව සලසා දීමත් සමඟ යි.

ඒ අනුව දිගින් දිගටම ඉහළ දක්‍ෂතා දක්වන අලිරේසා හට 2014 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවති ඉරාන ජාතික කණ්ඩායමේ පුහුණු කඳවුරකට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. අනතුරුව ඔහුව එම වසරේ දීම පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ඉරාන කණ්ඩායමේ ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට ද ඇතුළත් කරනු ලැබූ නමුත් ලෝක කුසලානයට පෙර පැවති කිසිදු සුහද තරගයක දී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙන ඔහුව ලෝක කුසලානය සඳහා සහභාගී වන අවසන් සංචිතය සඳහා ද තෝරා ගැනෙන්නේ නැත. පසුව ඔහුව 2015 වසරේ දී පැවති ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කරනු ලැබීය.

කෙසේ නමුත් ඔහු ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් පළමු වරට තරගයක් සඳහා ක්‍රීඩා කරන්නේ 2015 වසරේ දී ඉරාකය සමඟ පැවති සුහද තරගයක දී ය.

අනතුරුව 2018 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අතරතුර ‘Guam’ හිදී පැවති තරගයක් සඳහා ඒ වන විට ඉරාන කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩක අලිරේසා හගීගි හට වීසා අනුමත නොවීම නිසා ජාතික කණ්ඩායමේ සිය පළමු තරගකාරී තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අලිරේසා හට හිමි වේ. කෙසේ නමුත් ඔහුගේ ඒ ආරම්භය එතරම් සුන්දර එකක් වන්නේ නැත. ඒ එම තරගයේ 72 වන මිනිත්තුවේ දී ඔහුට සෘජු රතු කාඩ්පතක් හිමි වීමත් සමඟ පිටියෙන් ඉවත්ව යාමට සිදුවීම නිසයි.

කෙසේ නමුත් එම අසාර්ථක ආරම්භය පසෙකලා දක්‍ෂතා දක්වන ඔහු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් වටය වන විට ඉරාන ජාතික කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව තිබුණි. ඔහු සුදුසුකම් ලබා ගැනීමේ වටය තුළ තරග 12ක දී ප්‍රතිවාදීන් හට කිසිදු ගෝලයක් ලබා නොදීමට සමත් වෙමින් සිය කණ්ඩායම ලෝක කුසලානය කරා රැගෙන යන්නට සමත් විය. ඒ අනුව මේ වන විට පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ඉරාන කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කිරීමේ භාග්‍යය අලිරේසා හට හිමි විය.

ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)

දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත් ලෝක කුසලානයක් දැක බලා ගැනීමට ක්‍රීඩාලෝලි …

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ‘B’ කාණ්ඩයෙන් තරග වැඳි ඔවුන් එහි 3 වන ස්ථානය දිනා ගැනීම නිසා ඔවුන්ට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්ව යාමට සිදුවුවත්, කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතරින් අලිරේසා කැපී පෙනෙන්නට විය. එහි දී තරග තුනක් තුළ ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි පාපන්දු ලොවේ දැවැන්තයින් හමුවේ ප්‍රතිවාදීන් හට ඔහු ලබා දෙන්නේ ගෝල 2ක් පමණි. ඒ අතරට පෘතුගාලය සමඟ පැවති තරගයේ දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හමුවේ දඬුවම් පහරක් රැක ගැනීම වැනි වෙනත් ගෝල රකින ක්‍රීඩකයින්ට සිහිනයක් පමණක් වන දක්‍ෂතා දක්වන්නට පවා ඔහු සමත්කම් පෑවේය.

“මට මම මේ අද ඉන්න තැනට එන්න දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න සිදු වුනා. නමුත් ඒවා අමතක කරන්න මට කිසිම අදහසක් නැහැ. මොකද ඒවා නිසා තමයි අද මට මෙතනට එන්න පුළුවන් වුනේ.” ඔහු පැමිණි කටුක ගමන්මග පිළිබඳව අදහස් දක්වමින් අලිරේසා පැවසීය.

ඒ අනුව එඬේර පවුලක උපත ලබමින් දහසකුත් දුෂ්කරතා හමුවේ ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා බවට පත්වෙමින් එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයින් අතරින් කෙනෙක් වන රොනාල්ඩෝගේ දඬුවම් පහරක් රැකගැනීම දක්වා අලිරේසා පැමිණ ඇති ගමන්ගම සැබවින්ම විශ්මයජනක එකකි. එමෙන්ම කුමන බාධකය පැමිණියත් තම සිහින හඹායන්නන් හට එය ඉතා හොඳ ආදර්ශයකි.

නමුත් අලිරේසාගේ ගමන මෙතනින් අවසන් නැත. තවමත් වසර 25ක තරම් තරුණ වයසක පසුවන ඔහුට තව දිගු ගමනක් යාමට ඉතිරිව ඇත. ඔහුගේ ඊළඟ ගමනාන්තය යුරෝපයේ ඇති ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයක ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා විය හැකිය. ඒ අනුව කුමන බාධකය පැමිණියත් ඔහු මේ දක්වා පැමිණි ආකාරයටම මින් ඉදිරියටත් ඉදිරියටම ගමන් කරනු ඇත. මන්ද යත්, කුමක් වුවත්, එඬේර ජනතාවගේ ගමනට කෙදිනකවත් අවසානයක් නොමැති බැවිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<