අකිලගේ අලුත් කසාදය

3311

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් එසේමය. තරුණ මදය වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් සැණකෙළි පසෙක ලා, පරිණතභාවය නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස එහි රැඳී සිටින්නට ක්‍රිකට් ක්‍රීඩකයෙකු මහත් කැපකිරීම් කළ යුතුය

[rev_slider LOLC]

අදින් පසුව මේ අභියෝගය හිමිවන නවතම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ අකිල ධනංජය යි. පානදුරේ උපන් මේ හීන්දෑරි, දඟකාර කළු කොල්ලාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ වරම හිමිවීම සැබවින්ම සුරංගනා කතාවක් මෙන් කතාවකි.

2012 වසරේ විස්සයි-විස්ස ලෝක කුසලානයට පෙර පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (SLPL) විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලිය තුළ වයඹ යුනයිටඩ් නම් කණ්ඩායමේ නායකත්වය දැරුවේ දැවැන්ත ප්‍රතිරූපයකි. ඒ එවකට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන යි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුහුණු දැල් තුළ පිතිකරණයේ යෙදෙමින් සිටිය දී ඔවුනට පන්දු යැවීමට ආධුනික කොල්ලෝ කුරුට්ටෝ පැමිණීම සාමාන්‍ය සිද්ධියකි.

එහෙත් මහේලට පන්දු යැවූ පානදුර මහානාම විද්‍යාලයේ මේ ආධුනික කොලුගැටයා හොඳ විවිධාංගීකරණයන් සහිතව මෙන්ම හොඳ ආනතියකින් (Loop) පන්දු යවන බව මහේලට දිස්විය.

@wikimedia.org – මහේල ජයවර්ධන, දුර පෙනෙන ක්‍රිකට් ඇසක් සහිත වූවෙකි

“මට කවුරුත් කතා කළේ නෑ. ඒත් මං පන්දු යැවුවාට පස්සෙ හැමෝම කතා වුනේ මං ගැනයි. මගෙ ගුග්ලිය ගොඩක් දෙනෙක්ට කියවන්න ලේසි වුනේ නෑ.” අකිල espn හා තම මතකය අවධි කළේ එලෙසින්.

ඔහුට අවස්ථාවක් ලබා දීම සුදුසු යැයි මහේල තීරණය කරන්නේ එබැවිනි. අත්දැකීම් බහුල ලෝකයම පිළිගත් පිතිකරුවෙකු යනු මහේල වැනි සුපිරි ඇසක් සහිත පිතිකරුවෙකු බව අපට නැවතත් පැහැදිලි ය.

වයඹ යුනයිටඩ් කණ්ඩායම හා එක්ව ප්‍රතිවාදී පිතිකරුවන්ට (ඇතැම් විට දිවයිනේ නම ගිය පිතිකරුවන්) අභියෝගයක් වූ මේ තරුණ ගැටයා මහේලගේ සිත් ගත්තේය. ශ්‍රී ලංකාව තුළම පැවති 2012 ලෝක කුසලානය සඳහා එක්වන 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයට අකිල ධනංජය සුදුස්සෙකු බැව් මහේල තීරණය කරන්නේ ඉන් පසුවය.

අකිල ධනංජය SLPL තරගාවලිය අතරතුර දැක්වූ දස්කම්

“අවංකවම කිව්වොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙකු හැටියට ඔහු ලොකු පරිණතභාවයක් පෙන්නුවා. ඒ නිසා තේරීම් කමිටුවට වගේම මටත් විශ්වාසයි ඔහුට මේ මට්ටමේ දස්කම් දක්වන්න පුළුවන් කියලා.” මහේල ලෝක කුසලානයට පෙර අකිලව පැසසුවේ එලෙසින්.   

එකදු පළමු පෙළ තරගයක් හෝ ක්‍රීඩා කොට නොතිබූ අකිලව ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා විස්සයි-විස්ස සංචිතයට එක්කර ගැනීම පිළිබඳව යම් ගැටලුකාරී තත්වයන් ද ඇති නොවුනා නොවේ. එහෙත් එකම ආකාරයේ පාලනයක් සහිතව පිට දඟපන්දු, පා දඟපන්දු, ගුග්ලි සහ කැරම් පන්දු යැවීමේ දක්ෂතාවය තිබූ මේ ගැටයා හට අවස්ථාවක් දීමට මහේල සහ එවක පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පසුබට වූයේ නැත. ශ්‍රී ලංකාව ලෝක කුසලාන කාණ්ඩ තරග දෙකකට සහභාගී වූ පසු අකිලගේ මංගල ජාත්‍යන්තර තරගය පැවතියේ නවසීලන්තයට එරෙහිවයි.

මහේල ජයවර්ධන, අකිලගේ සුරංගනා කතාවේ පියා ය

එහි දී තම පළමු පන්දු ඕවරය තුළ දී ම මාටින් ගප්ටිල්ව දවාගත් අකිල, මහේලගේ විශ්වාසය තහවුරු කළේය. එහෙත් ආධුනිකයාට ලැබුණු අභියෝගය අවසන් නොවීය. රොබ් නිකොල් එල්ල කළ පහරක් කෙළින්ම අකිලගේ මුහුණේ වැදිණි. ප්‍රේක්ෂකයන් වූ අප එහි දී කනගාටු වූයේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු වීම නිසාම පමණක් නොව, ඔහු වයස අවුරුදු 20 වත් පසු නොකළ, පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා නොකළ සැබෑ ආධුනිකයෙකු වීම නිසා ය.

එහෙත් ජාත්‍යන්තරයට තමන්ගේ සූදානම මනාව තහවුරු කරමින්, ඉදිමුණු මුහුණක් සහිතව පිටියේ රැඳුණු අකිල තමාගේ මීළඟ පන්දු ඕවරයේ දී ම රොබ් නිකොල්ව දවා ගත්තේය. තරගය පුරාවට කඩුලු දෙකක් දවා ගන්නට ඔහු සමත්ව තිබිණි. ශ්‍රී ලංකාව එම තරගය සුපිරි පන්දුවාරයකට පසුව ජයගත්තේය.

එතනින් නොනැවතුණු ඔහු 2012 විස්සයි-විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගී වූයේ රංගන හේරත්ගේ ආදේශකය ලෙසයි. එහි දී ශ්‍රී ලංකාව පරාජය වුවත් ශ්‍රී ලංකාවේ අනාගතයට වැදගත් ක්‍රීඩකයෙකු අපට හමු විය.

එතැන් සිට අප දුටුවේ ඔහුගේ ක්‍රිකට් දිවියේ නිහඬ කාලයකි. 2012 ලබා දුන් එකම එක්දින තරගයකට පසු ඔහුව ඉවතලන්නට හේතු අපි නොදනිමු. ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී දඟපන්දු යවන්නෙකු අත්‍යාවශ්‍යව සිටිය දී බොහෝ දෙනා උත්සාහ කර පැරදී ගියේය. එහෙත් අකිලට එම අවස්ථාව ලැබෙන්නට තවත් වසර 5ක් බලා සිටින්නට සිදු විය.

2017 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පවා ශ්‍රී ලංකාව අසරණව සිටිය දී අකිලට අවස්ථාවක් ලැබිණි. ඔහු එහි දී කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 47ක් පමණක් ලබා දෙමින්. ඉන්පසුව එළඹෙන්නේ ඔහුගේ විවාහයයි. එහෙත් කිසිවෙකු ඒ බව නොසෙවුවේය. ඒ අකිල පොඩ්ඩෙක් වූ බැවිනි.

මීළඟ තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලැබුණු තරගයේ දී අකිල, ශ්‍රී ලංකාව ළිං අඩියේ සිට ඉහළට ඇද්දේ තනිවම ය. විරාත් කෝලි, රෝහිත් ශර්මා වැනි දඟපන්දු විශේෂඥයින් සියල්ලම දවාගත් ඔහු තරගය අවසානයේ ලකුණු 54ක් ලබා දී කඩුලු 6ක් දවාගෙන තිබිණි. පසුව අකිලගේ විවාහය සහ බිරිඳගේ වාසනා මහිමය ගැන විනෝදාත්මක සහ උද්යෝගිමත් කතාබහක් ඇතිවිය. අකිල සැණෙකින් “ලොක්කෙක්” වී තිබිණි. ශ්‍රී ලාංකික ගතිය කෙසේ වුවත් එසේම ය. අප හුරේ දමන්නේ දිනන දාට පමණ ය.

අකිල ඉන්දියාවට එරෙහිව වාර්තා කළ 54/6, ශ්‍රී ලංකාව වෙනුවෙන් 2012 වසරට පසුව වාර්තා වූ සාර්ථකම එක්දින පන්දු යැවීමයි

වාසනාවන්ත කාරණය නම් රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ටෙස්ට් පිටියේ කළ දඟපන්දු හරඹවලින් කලකට පසුව, එක්දින පිටියේ දඟ දැමිය හැකි ආක්‍රමණශීලී දඟපන්දු යවන්නෙකු අපට හමුවීමයි.

දැන් එළඹ ඇත්තේ රංගන හේරත්ගේ ක්‍රිකට් දිවියේ අවසන් වසර කිහිපයයි. දිල්රුවන් පෙරේරා ද වයස අවුරුදු 32 ඉක්මවා ඇත. ඉදින් අප නවක ටෙස්ට් දඟපන්දු තරුවක් අත්හදා බැලිය යුතුය. චන්දික හතුරුසිංහ නම් කෙළින් පුහුණුකරු දිවයිනට පැමිණීමත් සමඟ ඊට අවස්ථාව හොඳින් විවර විණි.

එය පිටිය මත පර්යේෂණය කොට බලන්නට ලැබෙන පළමු අවස්ථාව අද දිනයයි. බංගලාදේශය සමඟ පැවැත්වෙන 2018 තරගවාරයේ දෙවන ටෙස්ට් තරගය අකිල ධනංජයට ටෙස්ට් වරම් ලබා දී ඇත. එබැවින් මෙය අකිලගේ දෙවන විවාහය ලෙස සලකන්නට ද අකිලට හැකිය.

පළමු විවාහයෙන් පසු ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා බවට පත්වීමේ අවස්ථාව ලැබුණු ඔහුට අප පතන්නේ දෙවන විවාහයෙන් පසුව “ශ්‍රී ලංකා ටෙස්ට් ජාතික කණ්ඩායමේ ද ප්‍රකට දඟපන්දු තරුවක් වීමේ අවස්ථාව ලැබේවා යන්න” යි. ඉදින් අප තවත් රංගන කෙනෙකු හෝ මුරලි කෙනෙකු නොසොයා, අලුත් “අකිල” කෙනෙකුට හැදෙන්නට ඉඩ දෙමු.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<