අකිලගෙන් ආයිත් වැඩක් වේවි ද?

780

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් මෑතක දී විශ්වාසයක් ගොඩ නගා ගත් එකම ක්‍රීඩකයා බවට පත්වූයේ අකිල ධනංජය.

ජාත්‍යන්තර තරග වරම් ලැබීමෙන් වසර ගණනාවකට පස්සේ ඉන්දියාවත් එක්ක ගිය අවුරුද්දේදි පල්ලෙකැලේ දී තිබුණු එක්දින තරගාවලියේ ඉඳලා කණ්ඩායමට ආව අකිල, තම කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නකුට අමතරව පිතිකරුවෙකු විදිහටත් කැපී පෙනෙන දක්ෂතා දැක්වීම එකී විශ්වාසය ඇති වීමට හේතු වුනා.

පන්දු යවන්නකු හැටියට පැහැදිලි අනාගතයකට හිමිකම් කිව්ව ද පන්දු යැවීමේ ඉරියව්වේ ඇති වුන සැක සහිත භාවයක් හේතුවෙන් මේ වන විටත් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී තාවකාලික තරග තහනමකට ලක් වෙලා. මෙය අකිලගේ ක්‍රීඩා දිවිය අඳුරු කරවන්න කරපු කුමන්ත්‍රණයක් කියලා මුලින් සැක කෙරුනත්, ඒ පිළිබඳව කරපු පරීක්ෂණයේ දී ඔහුගේ පන්දු යැවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දී තිබෙන නීති රීතින් ඉක්මවා යන බවට දැන් තහවුරු වෙලා.

මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ ඉනිම්වලට නවසීලන්ත වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර …

එංගලන්තයත් එක්ක තිබුණු ටෙස්ට් තරගාවලියෙදී අකිලගේ පන්දු යැවීම සැක සහිත බව විනිසුරුවන් පැමිණිලි කිරීමත් සමඟ සිදුකරන ලද පරීක්ෂණයේ වාර්තාව මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාවට ලබා දීලා. ඒකෙ හැටියට අකිල යවන සමහර පන්දු අයි. සී. සී. යෙන් දීලා තියෙන සීමාව, ඒ කියන්නේ අංශක 15ක අගයට වඩා එහා ගිහිල්ලා. එය සංඛ්‍යාත්මකව කියනවා නම් අකිලගේ අත අංශක 23ක් දක්වා නැමෙනවා කියලා සඳහන් වෙනවා. ඔවුන්ගේ වාර්තාවලට අනුව පන්දුවාර 5ක අගයක් අදාළ පරීක්ෂණයට උපයෝගී කරගෙන තියෙන අතර ඉන් අංශක 15ට අඩුවෙන් වැළමිට නොනැමී තියෙන්නේ පන්දු කීපයක් පමණයි.

එහි දී අවම අංශක ගණන විදියට සටහන් වෙන්නේ අංශක 12ක්. ඒ අතරින් ගොඩක්ම පන්දු අංශක 17ත් 20ත් අතර. මේ සියලු දේ වලින් කියවෙන්නේ අකිල නීති විරෝධී පන්දු යවන්නෙක් කියලයි.

ශ්‍රී ලංකාවෙන් එවැනි චෝදනාවකට ලක් වූ පළවැනි පන්දු යවන්නා අකිල නෙවෙයි. මීට පෙර අවස්ථා ගණනාවක දී ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම පන්දු යැවීමේ ඉරියව්වේ නීත්‍යානුකූල භාවය සම්බන්ධව චෝදනා ලබලා තියෙනවා.

ඒ විදියට චෝදනා ලබපු ගොඩක් ක්‍රීඩකයින් තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව යළිත් නීත්‍යානුකූල කරගත්තත් ඒ අතරින් ගොඩ ගිය එකම ක්‍රීඩකයා බවට පත් වුනේ ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වශයෙන් අභිෂේක ලැබූ මුත්තයියා මුරලිදරන් විතරයි. අනිත් අය ඔක්කොටම ජාත්‍යන්තරයේ දී යළිත් ඵලදායීතාවෙන් යුතු, එහෙමත් නැත්නම් පිතිකරුවන්ට අභියෝගයක් වන අයුරින් වූ පන්දු යවන්නන් බවට පත්වීමට හැකියාවක් ලැබුණේ නෑ. ඒකට ආසන්නම උදාහරණය තමයි සචිත්‍ර සේනානායක. සචිත්‍රට අමතරව, රුචිර පෙරේරා, ශමින්ද එරංග මෙන්ම තරිඳු කෞෂාල් මෙම ගැටලුවට මුහුණ දුන් අනෙක් ක්‍රීඩකයන් වුනත් ඉරියව්ව නිරාකරණය කිරීමෙන් පස්සේ කලින් තරම් තර්ජනාත්මක විදියට පන්දු යවන්න මෙම ක්‍රීඩකයින්ට හැකියාවක් ලැබුණේ නෑ.

එහෙම බැලුවහම අකිලටත් අත් වන්නේ ඒ සෙතේම ද? වටින් ගොඩින් ඒ වගේ එක එක කතා ඇහුනත්, මේ ගැන කවුරුත් හරිම විස්තරයක් දන්නේ නෑ. ඒක නිසා ඒ ගැන හරිම විස්තරේ මොකද්ද කියලා දැන ගන්න ඒ පිළිබඳව කටයුතු භාරව සිටින ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය හෙවත් High Performance Centre ප්‍රධානියා විදිහට කටයුතු කරන අසංක ගුරුසිංහ මහත්මයව හම්බ වෙන්න ‘ThePapare.com’ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගියා.

ඒ යනකොටත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සඳහා භාවිතා කරන පැති විකට්ටුවකට වී තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා අකිල පුහුණුවීම් නියැළෙමින් සිටිනු අපට දැක ගත හැකි වුනා. ඒත් ඒ පුහුණුවීම් පෙර පරිදි සිදු වුනේ නෑ. පන්දු යවන සීමාවේ සිට යාර 22ක දුරින් වූ අනෙක් කඩුල්ලට පන්දුව අකිල යොමු කරන්නේ දිව ඒමකින් තොරව. ඔහු යවන සෑම පන්දුවකම අත නැමෙන සීමාව පරීක්ෂා කිරීමට වැළමිට ක්‍රියාත්මක වන පෙදෙසට එල්ල වුන කැමරාවකි. එය නිසියාකාරව කැමරා කාචයේ සටහන් විය යුතු බැවින් උඩු කය නිරුවත්ව අකිල සිය පන්දු යැවීම සිදු කරයි.

අකිලගේ පන්දු යැවීම යළිත් නීත්‍යානුකූල තත්ත්වයට ගෙන ඒමේ වගකීම පැවරිලා තියෙන්නේ ජාතික දඟපන්දු පුහුණුකරු විදියට කටයුතු කරන පියල් විජේතුංග මහතාට. අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඔහුට පැවරී තිබෙන ප්‍රධානතම කාර්යය බවට පත්වෙලා තියෙන්නේ පන්දු යැවීමේ ඉෆෙක්ටිව්නස් (Effectiveness) එක හෙවත්, ඉස්සෙල්ලා සඳහන් කළා වගේ ඵලදායීතාවට බලපෑමක් නොවෙන විදියට සකස් කිරීම.

“අපි දැනටමත් අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා වැඩ පටන් අරගෙන තියෙනවා. ඒක සති 4ක වැඩ සටහනක්. නමුත් අපි ඒ ගැන සති දෙකකින් සලකලා බලනවා. එයා අපිත් එක්ක සතියකට දවස් 4ක් වැඩ කරනවා. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් අවම වශයෙන් සති 4ක් වත් යනකම් තරගවලට ක්‍රීඩා කරන්න එපා කියලා අපි එයාට යෝජනා කළා.  ඒකට අකිලත් එකඟ වුනා. මොකද හදිසියේදිවත් ඔහු ඒ කාලය ඇතුළත තරගයකට ක්‍රීඩා කරලා අම්පයර්ස්ලා ආයිත් කෝල් කරොත් තත්ත්වය තවත් බරපතළ වෙන නිසා. මොකද දැන් තියෙන තත්ත්වයත් එක්ක එයා ඉන්නේ මානසික වශයෙනුත් ගොඩක්ම වැටිලා. ඔහු තවමත් අවුරුදු 24ක 25ක කොල්ලෙක්. ඒක නිසා අපි ඔහුව ආරක්ෂා කර ගත යුතුයි. කොහොම වුනත් අපි උපරිම උත්සාහ ගන්නේ දකුණු අප්‍රිකාවත් එක්ක තියෙන තරගාවලියට අකිලව කොහොම හරි අරගෙන එන්න. ඒත් අපි හැම පුහුණුකරුවෙකුටම කිව්වේ ඒ වෙනුවෙන් ඔහුව හදිසි කරවන්න එපා කියලයි” තමයි අපේ කතාවට ගුරුසිංහ මහත්මයා මුල පිරුවේ.

ඉරියව්ව නිරාකරණය කිරීමේ දී පළමු සති දෙකක කාලය ඇතුළත සිදු කෙරෙන්නේ අකිලගේ පන්දු යවන අතේ සිදුවන ඉහළ අස්ථියේ නැවීම අඩු කිරීම. ඒක එහෙම කරන්න නම් වැළමිටෙන් නැවෙන ප්‍රමාණය අඩු කරගන්න ඕන. කලින් කිව්වා වගේ සිදුකරන පුහුණුවීම් හරහා දැන් තියෙන තත්ත්වයට වඩා කෙළින් අත යැවිය හැකි බව පුහුණුකරුවන්ගේ අදහස වෙලා තියෙනවා.

කෝලී නොනැවති කෝටිපතියන් අතර ඉදිරියටම

ෆෝර්බ්ස් ඉන්දියා සඟරාව මඟින් 2018 වසරේ දී වැඩිම ආදායම් ….

“අපිට හිතුනොත් එයාගේ ඉරියව්ව හරි ගිහිල්ලා කියලා මුලින්ම අපි කරන්නේ විනිසුරුවන්ටත් කතා කරලා ක්ලබ් මැච් එකකට ක්‍රීඩා කරවන එක. ඒ තරගයේ දී කැමරා එහෙම වැඩිපුර දාලා ඔහු පන්දු යවන විදිය කෝණ කිහිපයකින්ම අපි පටිගත කරනවා. ඒ තරගය නරඹන්න මමයි පියලුයි දෙන්නම යනවා. ඊට පස්සේ ඒවා ගෙනල්ලා ආයිමත් ඇනලයිස් කරනවා. මොකද අයි. සී. සී. එකට අපි මෙයාගේ ඇක්ෂන් එක හරි කියලා රිපෝට් එකක් යවනවා නම් ඒ ගැන අපිත් සෑහීමකට පත් වෙලා තිබිය යුතු නිසා. එහෙම නැතුව හදිස්සියට යවලා ඇක්ෂන් එකේ ආයිත් මොකක් හරි ගැටලුවක් තිබුනොත් වෙන්නේ වැඩේ තවත් කල් යන එක. නවසීලන්තයට යන්න කලින් හතුරුසිංහටත් අපි කිව්වේ අපේ සැලසුම වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියට අකිලව රෙඩි කරන එක කියලා. ඒත් ඊට කලින් විසඳුමක් ලැබුනොත් අපි ඒ ගැන දැනුම් දෙන්නම් කියලා” යැයි අකිල නිවැරදි කිරීමේ ඔවුන් කටයුතු කරන සැලසුම ගුරුසිංහ කියයි.

සිය පන්දු යැවීම නිවැරදි කර ගැනීම වෙනුවෙන් උඩුකය නිරුවත්ව සිට පුහුණුවීම් වල නිරතව සිටින අකිල ධනංජය.

ඒත් මේ කරන නිරාකරණයේ දී වඩාත් වැදගත්ම කොටස වෙන්නේ කලින් කිව්වා වගේ අකිලගේ පන්දු යැවීමේ ඵලදායීතාව අඩු නොකර තියා ගන්න එක. එහෙම නොවුනොත් මේ චෝදනාව කලින් එල්ල වුන ක්‍රීඩකයන්ට අත්වූ ඉරණමම අකිලටත් අත්වීමට තිබෙන හැකියාව වැඩි නිසා. ඒ ගැන ගුරුසිංහගෙන් ඇහුවම ඔහු කිව්වේ මෙන්න මේ වගේ දෙයක්.

“ඔව් ඒකෙ සත්‍යතාවයක් තියෙනවා. ඒත් අපි සචිත්‍ර සේනානායකව අරගෙන බැලුවොත් එයාගේ ඉරියව්ව හරි ගස්සන වෙලාවේ ගොඩක් හිමින් තමයි ඔහු පන්දු යැව්වේ. ඒත් අපි හිතන්නේ නෑ අකිලට එහෙම කළ යුතුයි කියලා. මොකද එයාගේ පන්දුවල වේගයක් තියෙන නිසා. ඒත් ඒ වේගයට වඩා ගොඩක්ම අවුල තියෙන්නේ පන්දු යවනකොට මෙයාගේ අත එන විදිහේ. ඒක අපිට අඩු කරගන්න පුළුවන් වුනොත් ඉෆෙක්ටිව්නස් එක තියාගන්න පුළුවන්. ඒක තමයි අපි මුලින්ම තරගයක් දෙකක් ක්‍රීඩා කරවන්න බලන්නේ. සමහර විට එය තරග 3ක් හෝ 4ක් වෙන්නත් පුළුවන්. එතැන දී සෑහීමකට පත් වුනොත් අපි අයි. සී. සී. යට රිපෝට් එක යවනවා”.

“එතන දී අපි සෑහීමකට පත් වුනොත් අයි. සී. සී. යට අපි කියනවා අකිල දැන් හරි කියලා. ඊට පස්සේ ඔවුන් එයාව යළිත් පරීක්ෂණයකට යොමු කරාවි. මෙතැනදී ගැටලුවකට මතු වෙන්නේ ඒ ක්ලියර් කරන්නේ ඒ දවසේ කරපු දේ විතරක් නිසා. ඒත් ඊට පස්සෙත් ක්‍රීඩා කරන තරගයක දී අම්පයර්ස්ලට හිතුනොත් ඉරියව්ව සැක සහිතයි කියලා ඔවුන්ට පුළුවන් ආයිත් රිපෝට් කරන්න. ඒක මාසෙකින් වෙන්නත් පුළුවන්. අවුරුද්දකින් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි බලන්න ඕන දීර්ඝ කාලීනවම අකිලව තියාගන්න පුළුවන් විදියක්. ඒක තමයි අපි මේකට මේ තරම් කාලයක් අරගෙන කටයුතු කරන්නේ” යැයි අපට නොපෙනෙන පැති ගැන ගුරුසිංහ අප දැනුවත් කරයි.

ප්‍රථමයෙන්ම 2012 වසරේ දී ජාත්‍යන්තර තරග වරම් දිනා ගනු ලබන අකිල මේ වන විට ටෙස්ට් තරග 5කට සහභාගි වෙමින් කඩුලු 27ක් එක්දින තරග 30ක දී කඩුලු 46ක් ද බිඳ හෙළා තියෙනවා. 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට වරම් ලද අකිල මේ වන විට එම අංශයේ තරග 16 කට ක්‍රීඩා කරමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 14ක්.

2012 වසරේ ඉඳන් 2019 වසර වෙනකම් කියන්නේ වසර 7ක පමණ කාලයක්. ගුරුසිංහ මහත්තයා එහෙම කියද්දී එච්චර කාලයක් ක්‍රිකට් ගහපු අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන එංගලන්ත තරගාවලිය විනිශ්චය කරපු විනිසුරුවන් වාර්තා කරන තෙක්ම අපේ පුහුණු අංශයේ පුහුණුකරුවන් ඒ ගැන දැක්කේ නැද්ද කියන එක තමයි අපිට පැන නැගුණ ගැටලුව. ඒකට ගුරුසිංහ මහතා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.

‘සුපුරුදු’ පරාජයට දැන්වත් තිත තියමු ද…?

‘සුපුරුදු’ පරාජයන්ගෙන් ශ්‍රී ලංකාව යළිත් වෙළාගෙන …..

“මම මෙතනට ඇවිල්ලා මාස කීපයි වුනත් ඒකෙ වගකීම මම භාර ගන්නවා. ඇත්තටම පුහුණු ඒකකයේ වගකීම තමයි ක්‍රීඩකයින්ගේ අඩුපාඩු දැක්කොත් ඒවා හඳුනා ගෙන නිවැරදි කරන එක. නමුත් එහෙම දෙයක් මේ කාලය තිස්සේ වෙලා නෑ. මම මෙතනට මාස කීපයකට කලින් ආවත්, ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. නමුත් අපි දැන් ඔහුව හරි මාර්ගයට ගන්න උපරිම උත්සාහ කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කාර්ය භාරයක් ඉටු කරන ක්‍රීඩකයා බවට පත් වෙලා ඉන්න අකිල නවසීලන්තයත් එක්ක තරගාවලියට නැති වීම, දරාගත නොහැකි පාඩුවක් බවයි ගුරුසිංහගේ අදහස. “දිල්රුවන්ට පස්සේ හොඳටම පන්දුව පාලනය කරලා බෝල් කරන්න පුළුවන් එකම පන්දු යවන්නා තමයි අකිල. පහුගිය කාලේ ඔහු පන්දු යවපු විදිය බැලුවහම ඒ ගැන හොඳින් දැක බලා ගන්න පුළුවන්. එයා නැතුව ටීම් එක බැලන්ස් කරනවා කියන්නේ පුහුණුකරුවටයි තේරීම් කමිටුවටයි හිසරුදාව හැදෙන වැඩක්. නමුත් අපිට චයිනමන් විදියට බෝල් කරන ලක්ෂාන් සඳකැන් ඉන්නවා. එයා කඩුලු ගන්න පන්දු යවන්නෙක් වුනත් පන්දුවේ පාලනය තවමත් හරියට ග්‍රහණය කර ගන්න බැරි වෙලා තියෙන නිසා එයාගෙන් ලකුණු ටිකක් වැඩිපුර යනවා. වැන්ඩර්සේ (ජෙෆ්රි) තමයි අපිට හිටිය අනිත් ඔප්ෂන් එක. නමුත් ඔහුත් උරහිසේ ආබාධයකට ගොදුරු වෙලා මාස 3ක් යනකම් ක්‍රිකට් ගහන්න බෑ. ඒක නිසා අපි නවසීලන්තය සමඟ තරගාවලියේ දී දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ” යනුවෙන් ගුරුසිංහ කියයි.

ගුරුසිංහ පැවැසූ පරිදිම පළමු ටෙස්ට් තරගයේ දී නවසීලන්ත පිතිකරුවන්ට අභියෝගයක් වෙන විදියට පන්දු යවන්න අපේ පන්දු යවන්නන්ට නොහැකි වුනා. ඒ අවසරෙන් නවසීලන්ත පිතිකරුවන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 578ක් රැස් කර ගැනීමට සමත් වුනා. මේ තත්ත්වය නිසා පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 296කින් පළමු ඉනිමේ දී පෙරමුණ ගන්න නවසීලන්ත කණ්ඩායමට හැකි වුනා. තිබුණ තත්ත්වෙත් එක්ක ඒ තරගය දින 4ක දී ඉවර වෙයි කියලා තමයි ගොඩක් අය හිතුවේ. ඉනිමක පරාජයෙන් බේරෙන්න තිබුණ ඒ සටනෙදි තුන්වැනි දිනේ ඉවර වෙනකොටත් ලකුණු 20කට අපේ විකට් 3ක් ගිහිල්ලා තිබුණ නිසා එහෙම හිතෙන එකත් වැරැද්දක් විදිහට දකින්න බෑ. ඒත් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් දෙන්නා එක්ක එකතු වෙලා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තියපු නොබිඳුණු ලකුණු 274ක වාර්තා ගත් කඩුලු සම්බන්ධතාව හේතුවෙන් පරාජයේ අවදානමෙන් මිදිලා ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරගයක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. බැලුවහම ඒකත් ලොකු ජයග්‍රහණයක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<