ගුවන් හමුදාව, ශුද්ධ වූ පවුලේ සහ සාන්ත බ්‍රිජට් කන්‍යාරාම ශූරතා දිනයි

808

ඊවා සමස්ත ලංකා විවෘත දැල්පන්දු තරගාවලිය පසුගිය දා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ ‘A’ කාණ්ඩයේ කාන්තා ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, වයස අවුරුදු 19න් හා 15න් පහළ බාලිකා ශූරතාවයන් පිළිවෙළින් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයත්, කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයත් හිමි කර ගනිමිනි.

දැල්පන්දුවේ බර මන්දිරාට

මේ වසරේ ජුලි මස 8 වන දා සිට 16 වන දා දක්වා රටවල් 20ක සහභාගිත්වයෙන්, බොට්ස්වානා හි ගැබ්රොන් නුවර දී..

තරගාවලිය මෙවර 12 වන වරට පවත්වන ලද්දේ බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ ප්‍රධානත්වයෙන් සහ ‘International Cosmetics (Pvt) Ltd’ ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ ය. එමෙන්ම තරගාවලිය පළමු වරට විවෘත පදනම යටතේ පවත්වනු ලැබුවේ මෙම වසරේ දී වීම විශේෂත්වයකි.

තරගාවලිය ‘A’ කාණ්ඩය, ‘B’ කාණ්ඩය, පාසල් කාණ්ඩය සහ ප්‍රවීණයින්ගේ කාණ්ඩය යනුවෙන් කාණ්ඩ 4ක් යටතේ පැවති අතර ‘A’ කාණ්ඩය කාන්තා හා පිරිමි තරග අංශ දෙකම ඔස්සේ සහ ‘B’ කාණ්ඩය කාන්තා තරග අංශය ඔස්සේ පමණක් පැවැත්විය.

පාසල් කාණ්ඩය වයස අවුරුදු 15න්, 17න් සහ 19න් පහළ යනුවෙන් වයස් කාණ්ඩ 4ක් යටතේ පැවති අතර ප්‍රවීණයින්ගේ කාණ්ඩය පැවැත්වුණේ වයස අවුරුදු 40න් ඉහළ කාන්තාවන් සඳහා ය.

‘A’ කාණ්ඩය (කාන්තා) – ඊවා අභියෝගතා කුසලානය

ඊවා අභියෝගතා කුසලානය සඳහා පැවති අවසන් මහා තරගයට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබූ අතර එහි දී ආරම්භයේ සිට ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තරගය ලකුණු 45-36ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙහි දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ තිලිණි වත්තේගෙදර ‘A’ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම ක්‍රීඩා සමාජයේම සමන්ති නිලූෂිකා ‘දැල්පන්දු රැජිණ’ ලෙස අභිෂේක ගැන්විණ.

පාසල් කාණ්ඩය (19න් පහළ) – බස්නාහිර පළාත් අභියෝගතා කුසලානය

ප්‍රබල කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දැල්පන්දු කණ්ඩායම අවසන් මහා තරගයේ දී කොළඹ විශාඛා විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 23-14ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ තරග අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය පුරාවට හොඳින් ක්‍රීඩා කළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පියුමි සංජනා මෙම කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගන්නා ලදි.

පාසල් කාණ්ඩය (15න් පහළ) – බස්නාහිර පළාත් අභියෝගතා කුසලානය

අවසන් මහා තරගයේ දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මියුසියස් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 13-11ක් ලෙස පරාජයට පත්කළ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ කණ්ඩායම වයස අවුරුදු 15න් පහළ පාසල් තරග අංශයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ලකුණු පරතරය ඉහළ නංවාගත් සාන්ත බ්‍රිජට් ක්‍රීඩිකාවන් තරගයේ ජය හිමි කර ගත්තාය.

සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ස්නේහා දිසානායක මෙහි දී වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

‘A’ කාණ්ඩය (පිරිමි) – මැල්කම් අන්ඩ්‍රේ අනුස්මරණ අභියෝගතා කුසලානය

කුරණ යුනයිටඩ් ක්‍රීඩා සමාජය තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පිරිමි තරග අංශයේ ශූරතාවය දිනා ගත්තේ අවසන් මහා තරගයේ දී හොඳ තරගයකින් අනතුරුව කොළඹ නෙට් ෆයර් ක්‍රීඩා සමාජය ලකුණු 14-13ක් ලෙස පරාජයට පත්කරමිනි.

මෙහි දී නෙට් ෆයර් ක්‍රීඩා සමාජයේ බුද්ධික සූරියබණ්ඩාර වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ දිනුෂ්ක මදුෂංක දැල්පන්දු රජු ලෙස සම්මානයට පාත්‍ර විය.

B’ කාණ්ඩය (කාන්තා) – උල්රිකා බාර් – කුමාරකුලසිංහම් අනුස්මරණ අභියෝගතා කුසලානය

කළුතර ආදි බාලිකාවන්ගේ ක්‍රීඩා සමාජය මෙම කාණ්ඩයේ අවසන් මහා තරගයේ දී කැම්බල් පාක් ක්‍රීඩා සමාජය ලකුණු 20-14ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙහි දී වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කළුතර ආදි බාලිකාවන්ගේ ක්‍රීඩා සමාජයේ දෙව්නා රන්දිනී විසිනි.

ප්‍රවීණයින්ගේ කාණ්ඩය (කාන්තා) – ස්පීඩ් බර්ඩ්ස් අභියෝගතා කුසලානය

ප්‍රවීණයින්ගේ කාණ්ඩයේ අවසන් මහා තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී ස්පීඩ් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය ලකුණු 8-7ක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ශූරතාවය දිනා ගන්නා ලදි.

ස්පීඩ් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයේ සෝමිතා අල්විස් මෙහි දී වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන

  • දැල්පන්දු රැජිණ – සමන්ති නිලූෂිකා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • දැල්පන්දු රජු – දිනුෂ්ක මදුෂංක (යුනයිටඩ් ක්‍රීඩා සමාජය)

‘A’ කාණ්ඩය (කාන්තා) –

  • ශූරතාවය – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  • අනුශූරතාවය – ශ්‍රී ලංකා නාවික හමුදාව
  • වටිනාම ක්‍රීඩිකාව – තිලිණි වත්තේගෙදර (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

‘A’ කාණ්ඩය (පිරිමි) –

  • ශූරතාවය – කුරණ යුනයිටඩ් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – කොළඹ නෙට් ෆයර් ක්‍රීඩා සමාජය
  • වටිනාම ක්‍රීඩකයා – බුද්ධික සූරියබණ්ඩාර (නෙට් ෆයර් ක්‍රීඩා සමාජය)

‘B’ කාණ්ඩය (කාන්තා) –

  • ශූරතාවය – කළුතර ආදි බාලිකාවන්ගේ ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – කැම්බල් පාක් ක්‍රීඩා සමාජය
  • වටිනාම ක්‍රීඩිකාව – දෙව්නා රන්දිනී (කළුතර ආදි බාලිකාවන්ගේ ක්‍රීඩා සමාජය)

ප්‍රවීණයින්ගේ කාණ්ඩය (කාන්තා) –

  • ශූරතාවය – ස්පීඩ් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය
  • වටිනාම ක්‍රීඩිකාව – සෝමිතා අල්විස් (ස්පීඩ් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය)

පාසල් කාණ්ඩය (19න් පහළ) –

  • ශූරතාවය – කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
  • අනුශූරතාවය – කොළඹ විසාකා විද්‍යාලය
  • වටිනාම ක්‍රීඩිකාව – පියුමි සංජනා (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

පාසල් කාණ්ඩය (15 න් පහළ) –

  • ශූරතාවය – කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය
  • අනුශූරතාවය – කොළඹ මියුසියස් විද්‍යාලය
  • වටිනාම ක්‍රීඩිකාව – ස්නේහා දිසානායක (කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය)

 >>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට<<