ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ආසියානු ශූරතාවයේ ඉදිරියටම

173

2019 ආසියානු අන්තර් සමාජ කාන්තා වොලිබෝල් තරගාවලිය මේ දිනවල චීනයේ පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම මෙම තරගාවලියට එක්ව සිටි.

ගුවන් හමුදා කණ්ඩායම මුහුණ දුන් දෙවන තරගය පසුගිය දා ටර්ක්මෙනිස්තානයේ Binagar කණ්ඩායම සමඟින් චීනයේ Tiangin හිදී පැවැත්විය. එම තරගයෙන් වට 3-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

ලසිඳු, ජනිත ප්‍රමුඛ වරාය ක්‍රීඩකයින්ගෙන් ඓතිහාසික ජයක්

චීන තායිපේ හි පැවති 2019 ආසියානු අන්තර් සමාජ පිරිමි වොලිබෝල්…..

2018 වසරේ පැවති මංචි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයින් වූ ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම මෙම ආසියානු අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. පසුගිය වසරේ මෙම තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායම “Lanka Lions“ යන නාමය යටතේ එක්වූ අතර ඔවුන්ට තරගාවලියේ 9 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

මෙවර තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර ගුවන් හමුදා කාන්තා කණ්ඩායම එහි B කාණ්ඩයේ තරග වදී.

තරගාවලියේ A කාණ්ඩයට කණ්ඩායම් 4 ක් ඇතුළත් වේ. එම කණ්ඩායම් වන්නේ

  • කසකස්තානය නියෝජනය කරමින් Altay VC කණ්ඩායම
  • චීනය නියෝජනය කරමින් Tianjin Bohaibank කණ්ඩායම
  • චීන තායිපේ ජාතික කණ්ඩායම
  • හොංකොං ජාතික කණ්ඩායම

B කාණ්ඩයට කණ්ඩායම 6 ක් ඇතුළත් වේ. එම කණ්ඩායම් ලෙස

  • ජපානය නියෝජනය කරමින් Hisamitsu Springs කණ්ඩායම
  • තායිලන්තය නියෝජනය කරමින් Generali Supreme Chonburi-E. Tech කණ්ඩායම
  • වියට්නාමය නියෝජනය කරමින් VTV Binh Dien Long An කණ්ඩායම
  • ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම
  • උතුරු කොරියාව නියෝජනය කරමින් April 25 Sports Club
  • ටර්ක්මෙනිස්තානය නියෝජනය කරමින් Binagar කණ්ඩායම

තරගාවලියට එක්ව සිටී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා Binagar කණ්ඩායම අතර තරගය

Binagar කණ්ඩායම සමඟින් පැවති තරගයේ පළමු වටය ගුවන් හමුදාව පහසුවෙන් ජයග්‍රහණය කළ අතර එහි ලකුණු තත්ත්වය ලකුණු 25-13ක් ලෙස වාර්තා විය. දෙවන වටයේ දී තරගයට අවතීර්ණ වීමට Binagar කණ්ඩායම දැඩි උත්සාහයක් ගත් නමුත් ගුවන් හමුදාව එම උත්සාහයන් සාර්ථකව ව්‍යර්ථ කළේය. එම වටයේ ලකුණු තත්ත්වය 25-22ක් ලෙස දැක්විය. තරගයේ තුන්වැනි වටය ද සාර්ථකව අවසන් කිරීමට ගුවන් හමුදාව සමත් වූයේ ලකුණු 25-15ක් ලෙසිනි. ඒ අනුව වට 3-0 ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණය සඳහා ගුවන් හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් එක් කිරීමට දිනේශා ප්‍රියදර්ශනී හා චතුරිකා රණසිංහ සමත් විය. දිනේශා ප්‍රියදර්ශනී spike අවස්ථාවන් 10ක් හා පන්දුව පිරිනැමීමේ දී ලබා ගන්නා ලකුණු 2ක් මගින් ලකුණු 12ක් කණ්ඩායමට එක් ‍කළේය. චතුරිකා රණසිංහ ද ලකුණු 12ක් කණ්ඩායමට එක් කළේ spike අවස්ථාවන් 9ක් හා පන්දු වැළැක්වීමේ අවස්ථාවන් 3ක් මගිනි.

වරාය අධිකාරිය සුපිරි 8 දෙනාගේ වටයට

2019 අන්තර් සමාජ ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ සුපිරි 8…..

ශ්‍රි ලංකාව ගුවන් හමුදාව හා Hisamitsu Springs කණ්ඩායම අතර තරගය

B කාණ්ඩයේ ගුවන් හමුදාව මුහුණ දුන් පළමු තරගය ජපානය නියෝජනය කළ Hisamitsu Springs කණ්ඩායම සමඟින් පැවති අතර එම තරගය ගුවන් හමුදාවට සාර්ථක තරගයක් නොවීය. එහි පළමු වටය ලකුණු 25-10ක් ලෙස ජයග්‍රහණය කළ Hisamitsu Springs කණ්ඩායම දෙවන හා තුන්වැනි වට වලදී ගුවන් හමුදාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. දෙවන වටය ලකුණු 25-07ක් ලෙස නිමා වූ අතර තුන්වැනි වටයේ ප්‍රතිඵලය ද ලකුණු 25-07ක් ලෙස සටහන් විය. ඒ අනුව එම තරගය වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජපානයේ Hisamitsu Springs කණ්ඩායම සමත් විය.

ඒ අනුව මේ වන විට ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග දෙකෙන් එක් තරගයක් පරාජය වී එක් තරගයක් ජයග්‍රහණය කර තිබේ. ඉදිරි තරග සඳහා සාර්ථකව මුහුණ දීමට ගුවන් හමුදා කණ්ඩායම හැකිවේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු.

තරගාවලියේ අනෙකුත් තරග විස්තර හා තරග ප්‍රතිඵල ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<