ඇන්ඩිගේ ශතකය නිසා අයර්ලන්ත ජයග්‍රහණ පිපාසය සන්සිඳේ

174

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන දීර්ඝ තරග සංචාරයේ මුල්ම ජයග්‍රහණය වාර්තා කර ගන්නට ඊයේ (05) අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. ඒ ඇන්ඩි බැල්බර්නි වාර්තා කර ගත් විශිෂ්ට ශතකයේ ආධාරයෙනි. අයර්ලන්තය අත්පත් කර ගත් මෙම කඩුලු 5ක ජයග්‍රහණය නිසා එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන එන්නට ද ඔවුන්ට හැකි විය.

විජේ ශංකර් ඕස්ට්‍රේලියා ජය කණපිට පෙරළයි

අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය උද්වේගකර තරගයකින් අනතුරුව …

මෙම සංචාරයේ තරග සියල්ලම පැවැත්වෙන්නේ ඉන්දියාවේ උත්තරකන්ද් හි රජිව් ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ඊයේ දිනයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර වේගයෙන් ලකුණු රැස්කළ හැකි තම පිතිකරුවන් හොඳ ලකුණු පුවරුවක් ගොඩ නගනු ඇති බවට ඔහු බලාපොරොත්තු විය. කෙසේ නමුත් ඊයේ දිනයේ ඔවුන්ට නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 256ක් පමණි. මීට දින කිහිපයකට ඉහත දී ඇෆ්ගනිස්තානයට වැඩිම T20 ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව උරුම කර දීමට ශතකයකින් දායක වූ හස්රතුල්ලා සසායි ඊයේ රැස් කළේ ලකුණු 34ක් පමණි.

ඇෆ්ගනිස්තාන මුල්පෙළ පිතිකරුවන් බොහෝ දෙනෙකු ඊයේ අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී යද්දී වගකීම කරට ගත් නායක අස්ගාර් ඇෆ්ගන් ලකුණු 75ක් ලබා ගත්තේය. ඒ ලකුණු 74ක් තුල දී කඩුලු 5ක් බිඳ වැටුණු ඇෆ්ගනිස්තාන ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සබඳතාවයක් ගොඩ නගමිනි. අස්ගාර්ගේ මෙම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ඔහු සමඟ මෙම ශතක සබඳතාවයට හවුල් වූ නජිබුල්ලා සද්රාන් ඊයේ තම මංගල එක්දින ශතකය වාර්තා කර ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ඉනිමේ අවසානය දක්වාම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමිනි.

දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන්නෙකු එක්දින පිටියට සමුදෙන්නට සැරසේ

ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියෙන් …..

පන්දු 98ක් තුල වාර්තා වූ නජිබුල්ලාගේ ලකුණු 104 නොවන්නට ඊයේ දිනයේ ඇෆ්ගනිස්තානුවන්ට මේ දක්වා ලබා ගත් සියලු ජයග්‍රහණවල ගෞරවය සේදී යන පරාජයක් ඊයේ දිනයේ අත්වන්නට ඉඩ තිබුණි. ප්‍රතිවාදීන්ගේ ගමන අඩපණ කළ බෝයිඩ් රෑන්කින් සහ ටිම් මර්ටා යන වේගපන්දු යවන්නන් දෙදෙනා කඩුලු 2 බැගින් බිඳ හෙලද්දී ජෝර්ජ් ඩොක්රල් සහ ඇන්ඩි මැක්බ්රයින් ස්වකීය දඟපන්දුවෙන් ඇෆ්ගනිස්තානුවන්ගේ ලකුණු වේගය අඩාල කළහ. ඔවුන් දෙදෙනාම ඉනිම නිමා වන විට පන්දුවාරයකට ලකුණු 4කටත් අඩුවෙන් ලබා දීම ද විශේෂත්වයකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමේ ද මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 74ක් තුල බිඳ වැටුණේ තරගය දෙපිළටම විවෘත කරමිනි. අයර්ලන්තය සතු නමගිය පිතිකරුවන් දෙදෙනෙකු වන නායක විලියම් පොටර්ෆීල්ඩ් සහ පෝල් ස්ටර්ලින් පවා ඊයේ දිනයේ ආරම්භක පිතිකරුවන් ලෙස එතරම් දක්ෂතා දැක්වූයේ නැත. මේ අවස්ථාවේ අයර්ලන්ත පිලේ පිහිටට ආ ඇන්ඩි බැල්බර්නි තම එක්දින දිවියේ තෙවැනි ශතකය වශයෙන් තරග දිනවන ඉනිමක් ක්‍රීඩා කළේය. ඒ පන්දු 136කට පමණක් මුහුණ දෙමින් ලකුණු 145ක් නොදැවී ලබා ගනිමිනි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නැවත වරක් ක්‍රිකට් ඇතුළත් කරයි

එළඹෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යලිත් ක්‍රිකට් ක්‍රීඩාව ….

ඇන්ඩිගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර සහ හයේ පහර 8 බැගින් ඇතුළත් විය. ඔහු සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143ක සබඳතාවයක් ගොඩ නැගීමට හවුල් වූ තුන් ඉරියව් ක්‍රීඩක ජෝර්ජ් ඩොක්රල් ලකුණු 54ක් රැස් කළේය. ඒ එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් ඉනිම තුල අන්තර්ගත කරමිනි. තරගයේ වීරයා බවට ද පත්වූ ඇන්ඩි බැල්බර්නි තරග අවසානය දක්වාම පිටියේ රැඳී සිටි නිසා අයර්ලන්තයට ඊයේ ජය කණුව පසුකර යාම කිසිසේත් අපහසු නොවීය. ඔවුන් පන්දුවාර 49ක් අවසානයේ තරගය ජය ගන්නා විට දැවී ගොස් තිබුණේ කඩුලු 6ක් පමණි. දෙරට අතර මීළඟ එක්දින තරගය අනිද්දා (08) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

ඇෆ්ගනිස්තානය – කඩුලු 8ක් දැවී ලකුණු 256 (පන්දුවාර 50)

නජිබුල්ලා සද්රාන් 104*, අස්ගාර් ඇෆ්ගන් 75, හස්රතුල්ලා සසායි 34, හශ්මතුල්ලා ශහිදි 11, බෝයිඩ් රෑන්කින් 2/56, ටිම් මර්ටා 2/60, ජෝජ් ඩොක්රල් 1/17.

අයර්ලන්තය – කඩුලු 6ක් දැවී ලකුණු 260 (පන්දුවාර 49)

ඇන්ඩි බැල්බර්නි 145*, ජෝර්ජ් ඩොක්රල් 54, කෙවින් ඕ’බ්රයන් 21, පෝල් ස්ටර්ලින් 20, දවුලත් සද්රාන් 2/52, රශීඩ් කාන් 1/44, මොහොමඩ් නබී 1/45.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<