හයේ 6කින් ක්‍රිකට් වීරයාව පුදුම කළ ඇෆ්ගන් යොවුන් තරුව

399

ඉකුත් 14 වැනිදා සාජාහි පැවති ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීගයේ තරගයක දී තමාගේ ක්‍රිකට් වීරයා ක්‍රිස් ගේල් ඉදිරියේ දී ම එක් පන්දුවාරයක දී 6 පහර 6ක් එල්ල කරමින් වාර්තාවක් පිහිටුවීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක හස්රතුල්ලා සසායි හට හැකි විය. කාබුල් ස්වානන් කණ්ඩායම නියෝජනය කරන සසායිගේ ප්‍රහාරයට ලක්වූයේ බල්ක් ලෙජන්ඩ්ස් කණ්ඩායමේ අබ්දුල්ලා මිසාරිය.

“මට ගොඩක් ආඩම්බරයි මේ වාර්තාව ගැන. මට ගොඩක් සතුටුයි මගේ නමත් ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් සමඟ එකට ලියවීම ගැන. ඒ වගේම මගේ ක්‍රිකට් ලෝකයේ වීරයා ක්‍රිස් ගේල් ඉදිරියේ මෙම දස්කම දැක්වීමට ලැබීම ගැනත් මම ගොඩක් සතුටු වෙනවා.”

තරගයෙන් අනතුරුව සසායි ප්‍රකාශ කළේය.

සසායිගේ ක්‍රිකට් වීරයා වන ක්‍රිස් ගේල් නියෝජනය කළේ බල්ක් ලෙජන්ඩ්ස් (ප්‍රතිවාදී කණ්ඩායම) වූවත් තවමත් 20 හැවිරිදි සසායි හට ගේල් ඉදිරියේ දී ම වාර්තාවක් පිහිටුවන්නට ලැබීම පිළිබඳව ඔහු කෙතරම් නම් සතුටුවනවාද යන්න ඉහත ප්‍රකාශයෙන් මනාව පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකා පරාජයන් රැල්ල නොනැවති ඉදිරියට

ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ තෙවන එක්දින තරගයත්..

කවුද මේ සසායි?

1998 වසරේ මාර්තු මස 23 වැනි දින උපත ලබා ඇති හස්රතුල්ලා සසායි ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීගයේ පළමුවැනි ශතක ලාභියා ද වේ. මෙම මස 9 වැනිදා නන්ගහාර් ලෙපර්ඩ්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ සසායි විසින් ලකුණු 124ක් රැස්කර ගනිමින් එම වාර්තාව ද ඔහු සතු කරගත්තේය.

මීට මාස දෙකකට පමණ පෙර පැවති අයර්ලන්ත-ඇෆ්ගනිස්තානු විස්සයි විස්ස තරගාවලියේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකරගත් සසායි, එම තරගාවලිය 2-0ක් ලෙසින් ඇෆ්ගනිස්තානයට දිනා දීමට මූලික වූ ක්‍රීඩකයා ද විය. එම තරගාවලියේ වීරයා බවට පත්වූයේ ද සසායි ය.

ඒ අනුව දිනෙන් දින දියුණු වන ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම තරුව වන සසායි අනාගත ක්‍රිකට් ලෝකයට ඉතා හොඳ එකතුවක් වනු ඇත.

(cricbuzzlive365.com)

ක්‍රීඩා කරන්නේ ක්‍රිස් ගේල් වගේමයි?

  1. “සසායි සහ ගේල් තරගයෙන් අනතුරුව”

මෙම මස 11 වැනිදා සසායි නියෝජනය කරන කාබුල් ස්වානන් කණ්ඩායම සහ කන්දහාර් නයිට්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී සසායි හට ලබාගත හැකි වූයේ ලකුණු 11ක් පමණයි. එහි දී සසායිව දවා ගත් නයිට්ස් කණ්ඩායම නියෝජනය කරන එක්සත් අරාබි එමීර්. ක්‍රීඩක මොහොමඩ් නවීඩ්, සසායිගේ 6 පහර 6න් පසු පැවසුවේ මෙවැන්නකි.

“සසායි ක්‍රීඩා කරන්නේ ක්‍රිස් ගේල් වගේ. ස්වානන් කණ්ඩායම සමඟ ඉදිරියේ දී පැවැත්වෙන තරගයට මට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සසායිට පන්දු යවන ආකාරය ගැන මට මගේම සැලසුම් තියෙනවා”

නවීඩ්ට අමතරව තවත් ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු ද පවසා සිටියේ සසායි සහ ගේල්ගේ පිතිකරණයේ යම් සමාන ලක්ෂණ දැකිය හැකි බවයි.

තරගයේ විස්තර

Photo credit – (Afghanistan Premier League Twitter)

බල්ක් ලෙජන්ඩ්ස් සහ කාබුල් ස්වානන් කණ්ඩායම් අතර පැවති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ බල්ක් ලෙජන්ඩ්ස් කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 6කට ලකුණු 244ක් ලබා ගැනීමට සමත් විය.

ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 48 දී 6 පහර 10ක් ද සමඟින් ලකුණු 80ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මුණවීර ලකුණු 46ක් රැස් කළේය.

ලකුණු 245ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට ස්වානන් කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසියේ සසායි සහ කඩුලු රකින ක්‍රීඩක නවසීලන්තයේ ලුක් රොන්කිය. ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර 4 වැනි පන්දුවාරය යැවීමේ අවස්ථාව හිමි වූයේ ලෙජන්ඩ්ස් කණ්ඩායමේ මිසාරි හටයි. සසායි පිතිකරනයේ යෙදී සිටියේය. එම පන්දුවාරයේ ප්‍රතිඵලය මෙසේ සටහන් විය.

6, 6, wide, 6, 6, 6, 6

ඒ අනුව 6 පහර 6 පන්දුවලට අමතරව වයිඩ් පන්දුවක් ද මිසාරි විසින් යොමු කළ බැවින් එම පන්දුවාරයේ දී ලකුණු 37ක් ලබා ගැනීමට ස්වානන් කණ්ඩායමට හැකි විය. සසායි 6 පහර 7ක් ද සමඟින් පන්දු 17 දී වේගවත් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය.

සසායි සහ රොන්කි පළමු කඩුල්ලට වේගවත් ලකුණු සම්බන්ධතාවක් ගොඩනැගුවත් ස්වානන් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත්විය. (223/7) සසායිට අමතරව දස්කම් දැක්වූ ලුක් රොන්කි ලකුණු 47ක් ලබා ගත්තේය.

වාර්තා

එක් පන්දුවාරයක දී 6 පහර 6ක් එල්ල කළ ලොව 6 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට සසායිට හැකි විය. සසායිට පෙර එම දස්කම සිදු කර තිබුණේ ශ්‍රීමත් ගැරී සෝබර්ස්, රවී ශාස්ත්‍රී, හර්ෂල් ගිබ්ස්, යුව්රාජ් සිං සහ රොස් වයිටලීය.

විස්සයි විස්ස තරගයක වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරු (සම) වීමට ද සසායි සමත් විය. පන්දු 12 දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් සසායි, යුව්රාජ් සිං සහ ක්‍රිස් ගේල් සමඟින් එම වාර්තාවේ සම හිමිකාරීත්වයට පත්විය.

විස්සයි විස්ස තරගයක දී වාර්තා වූ වැඩිම 6 පහර සංඛ්‍යාව මෙම තරගයේ දී වාර්තා විය. ඒ 6 පහර 37කි.  බල්ක් ලෙජන්ඩ්ස් කණ්ඩායම 6 පහර 23ක් සහ කාබුල් ස්වානන් කණ්ඩායම 6 පහර 14ක් එල්ල කරමින් වාර්තාව සඳහා දායක විය.

එයට අමතරව විස්සයි විස්ස තරගයක 5 වැනි කණ්ඩායම් ලකුණු ද මෙම තරගයේ දී වාර්තා විය. මෙම තරගයේ දී දෙපිලේම ලකුණුවල එකතුව 467කි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<