ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ වැටේ

240

16න් පහළ ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ තවත් තරගයකට ශ්‍රී ලංකාව අද (19) මුහුණ දුන් අතර එම තරගයෙන් ගෝල 17-00ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා 16න් පහළ ක්‍රීඩිකාවන්ට සිදු විය.

කොළඹ CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පරාජය වීම නිසා ලබන වසරේ පැවැත්වෙන 16න් පහළ ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ සියලුම අවස්ථා ශ්‍රී ලංකාවට මඟ හැරී යන ලදි.

චීනය මෙම තරගාවලියේ මීට පෙර සහභාගී වූ තරගයෙන් ගුවාම් දේශයට එරෙහිව ගෝල 20-00 අති දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව මෙයට පෙර සහභාගී වූ තරග ද්විත්වයෙන්ම පරාජයට පත්විය.

එබැවින් කිසිවෙකුට මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පිළිබඳ සැකයක් නොතිබුණි. පරාජය වන පරතරය අඩුකර ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකාව සටන් වැදුනි.

පිට පිට දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට පරාජයක්

16න් පහළ කාන්තා ආසියානු පාපන්දු ශූරතාවය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන

තරගයේ පළමු ගෝලය වාර්තා කිරීම සඳහා චීන ක්‍රීඩිකාවන්ට වැඩි වෙලාවක් ගත නොවුණි. 4 වැනි මිනිත්තුවේ දී පැති පහර අවස්ථාවකින් සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට චීනයට හැකි විය. ගෝල ලාභිනිය වූයේ ෂාවෝ ෂීකින්ය. ඇය ඉතා උස ශක්තිමත් ක්‍රීඩිකාවකි.

ඉන් මිනිත්තු තුනක් ගත වූ තැන සිය දෙවැනි ගෝලය චීන ක්‍රීඩිකාවන් විසින් වාර්තා කළහ. මැදපෙළ ක්‍රීඩිකා ෆූ කොංකොං විසින් එම ගෝලය වාර්තා කරන ලදි.

ඉන්පසු 16 සහ 18 වැනි මිනිත්තුවල දී තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට චීනය සමත් විය. එම ගෝල දෙක වාර්තා කළේ පිළිවෙළින් වැන්ග් ශිකියැන්ග් සහ ලි ලැන්ලැන් විසිනි.

තරගය ආරම්භයේ සිටම පන්දුවේ පාලනය පැවතියේ චීන කණ්ඩායම සතුවයි. පන්දුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඬුවම් පහර කලාපයෙන් ඉවතට යාම සඳහා (Clearance) ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එල්ල කළ පහර කිහිපයක්ම අසාර්ථක වී ගෝල වාර්තා කිරීම සඳහා චීනයට වැඩි වැඩියෙන් අවස්ථා හිමි විය.

26, 36 සහ 41 වැනි මිනිත්තුවල දී තවත් ගෝල තුනක් වාර්තා කිරීමට චීනය සමත් විය. පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ෆු හොංකොං විසින් රැස්කළ ගෝලය ඇය විසින් වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් තිදෙනෙක් අතරින් පන්දුව ගෙන යමින් වීම ද විශේෂත්වයකි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 08 චීනය

48 සහ 50 වැනි මිනිත්තුවල දී චීන ක්‍රීඩිකාවන් ගෝල දෙකක් රැස් කළ ද, දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු 15 තුල දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ සැලකිය යුතු දස්කමක් දැක්වීමට සමත් විය. නමුත් තරගයේ 63 වැනි මිනිත්තුවේ දී අතිරේක ක්‍රීඩිකා වැන්ග් ෂින්ලින් විසින් චීනය වෙනුවෙන් 11 වැනි ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව නොකඩවා ගෝල වාර්තා කිරීමට චීනයට හැකි විය.

ඒ අනුව 69, 71, 75, 78, 80 සහ 87 මිනිත්තුවල දී තවත් ගෝල 6ක් රැස් කරමින් 17-00ක් ලෙසින් දැවැන්ත ජයක් ලැබීමට චීනයට හැකි විය. තරගයේ දෙවැනි අර්ධයට කිසිදු අතිරේක කාලයක් එකතු නොකිරීමට විනිසුරුවරිය වූ අස්මිතා මනන්දාර් විසින් තීරණය කිරීම පැසසුම් සහගත කරුණක් ද විය.

තරගය පුරාවටම පාහේ පන්දුව පැවතුණේ ශ්‍රී ලංකා අර්ධයේ ය. චීනයේ ගෝල රකින ක්‍රීඩිකාව සාමාන්‍ය නරඹන්නෙක් ලෙසින් දිස්වූ අතර ඇය හැර අනෙකුත් ක්‍රීඩිකාවන් 21 දෙනාම (දෙපිලේම ක්‍රීඩිකාවන්) බොහෝ විට සිටියේ ශ්‍රී ලංකා අර්ධයේ දී ය.

චීනය වැනි ප්‍රබල රටකට එරෙහිව පරාජය වීම එතරම් පුදුම සහගත කරුණක් නොවන අතර තරගය පුරාවටම ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩිකා සංකලනි බණ්ඩාර, අමානි සේනාධීර සහ මධුෂානි කුමාරි යන ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩිකාවන් ඔවුන් ලද උපරිමය පෙන්වීමට උත්සුක විය.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ සහ අවසන් තරගය අනිද්දා (21) උස්බෙකිස්තානය හමුවේ පැවැත්වෙන අතර එම තරගයේ සජීව විකාශය ද ThePapare.com වෙතින් ඔබට නැරඹිය හැක.

අවසාන ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 00 – 17 චීනය

ගෝල වාර්තා කරන ලද ක්‍රීඩිකාවන් :

  • චීනය – ෂාවෝ ෂිකින් (4′,41’78’), ෆු කොංකොං (7′,36′,45+1′), වැන්ග් ෂිකියෑන්ග් (16′), ලි ලැන්ලැන් (18′), චි ෂින්ග් (26′), ඩායි ෂින්යාවෝ (48′), ජියැන්ග් චෙන් ජින්ග් (50′,71′), වැන්ග් ෂින්ලින් (63′), වැන්ග් මින්හුයි (69′), හුවැන්ග් මෙන්යු (75′), චෙන් ජියෑයු (80′), ෂාවෝ ශිජියා (87′)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<