පන්දුව සියතේ තබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව අසරණ වෙයි

587
Sri Lanka vs Laos (Soliadrity Cup)

මැලේසියාවේදී ආරම්භ වූ කුළුඳුල් ආසියානු සහයෝගිතා කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවත් ලාඕසයත් අතර අද දින (4) පැවැත්වුණු තරඟයේ සම්පූර්ණ ආධිපත්‍ය දරන්නට ලාඕස පාපන්දු කණ්ඩායම සමත් විය. තරඟයේ අවසන් භාගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය නොමැති වන්නට, අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතාබහ කරන්නට දෙයක් නොමැති තරම් විය.

පසුගිය ලිපි: “අවසන් පුර්ව වටයට පැමිණීම අපේ ඉලක්කයයි” – ස්ටෙයින්වෝල්

ආබාධ රැසකින් පෙලෙන සංචිතයක් සහිතව පවා තරඟාවලිය ගැන ධනාත්මක බලාපොරොත්තුවකින් තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලාඕස ක්‍රීඩකයන් ගෙනහැර පෑ අභියෝගය ඉතා දැඩි එකක් විය.

මෙය අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මධ්‍යයේ පැවති තරඟයක් වුවද, ලාඕස ප්‍රහාරකයින් පිටියේ දකුණු අන්තයෙන් ශ්‍රී ලංකා ගෝලය ආක්‍රමණය කරන්නට වූයේ තරඟයේ මුල් භාගයේ සිටමය.

ලාඕසයේ ඉදිරිපෙල ක්‍රීඩක සිවිලව් නොනවත්වා එල්ල කළ අභියෝගය දරා සිටීමට ශ්‍රී ලංකා පසුපෙල ක්‍රීඩක අසිකු රහුමාන්ට කිහිපවරක්ම සිදුවිය. තරඟයේ 20 වන මිනිත්තුව දක්වාම තර්ජනාත්මකව ඉදිරියට පැමිණි ලාඕස ප්‍රහාරකයා මැඩපවත්වන්නට දැඩි පරිශ්‍රමයක් දැරූ ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා එහිදී බිම ඇද වැටුණේ ප්‍රහාරයක් නවත්වන්නට ගොස් ක්‍රීඩකයෙකු හා මුහුණට මුහුණලා ගැටීමෙන් පසුවය. ජාත්‍යන්තර තරඟාවලියක් ආරම්භයේදී සුජාන් වැනි ක්‍රීඩකයෙකු ආබාධයකට පත් වීමේ බරපතල බව වටහා ගනිමින් ශ්‍රී ලාංකික කාර්යමණ්ඩලය යුහුසුළුව පිටියට පැමිණ ඔහුගේ තත්වය සලකා බැලුවේය. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසුම් සුසුම් ගෙන එමින් යළි ක්‍රීඩා කරන්නට නායක සුජාන්ට හැකිවීමත් සමඟ තරඟය නැවත ආරම්භ විය.

නමුත් තරඟය තුළ කිසිවක් නොවෙනස් වූ පරිද්දෙන් ලාඕස ක්‍රීඩකයන් පන්දුව සිය අයිතිය යටතේ තබා ගනිමින් නොනවත්වාම ආක්‍රමණයේ යෙදුණු අතර අසිකු රහුමාන්ගේ ආරක්ෂණ දක්ෂතා පමණක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනුණේය. 30 වන මිනිත්තුව වන විටත් පන්දුව ශ්‍රී ලංකා අර්ධයේම පැවතීම නිසා ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන්ට කිසිවක් සිතා ගත නොහැකිව දිගු පහරවල් කරා යන්නට සිදුවූයේ තරඟයට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු විසින් සැලසුම් කළ උපක්‍රම පසෙක දමමිනි. ඉන් හොඳ ඵල ප්‍රයෝජන ලබා ගනිමින් ලාඕස කණ්ඩායම ශ්‍රී ලංකා ගෝලය ආක්‍රමණය කළ අතර පිට පිටම කෝණ අවස්ථා හිමිකර ගැනීමට ඔවුනට හැකිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම භාගයේදී ලැබුණු හොඳම අවස්ථාව, තරඟයේ 36 වන මිනිත්තුවේදී මධුශාන් ද සිල්වා අතින් ගිලිහී ගියේය. කෙසේවෙතත් සියළු අභියෝග දරා ගනිමින් ප්‍රථම භාගයේදී කිසිදු ගෝලයක් ලබා නොදී ක්‍රීඩා කරන්නට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම වාසනාවන්ත වූ අතර ප්‍රථම භාගය අවසානයේදී දෙපිලම ගෝල රහිතව විවේකාගාරය බලා පිටත් විය.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 0 – 0 ලාඕසය

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට තරඟය තුළ නැවතත් දිස්වූයේ ප්‍රථම අර්ධයේ ක්‍රීඩා රටාවමය. ඊට යම් වෙනසක් එක්වූයේ ලාඕස කණ්ඩායම මෙවර පිටියේ වම් කෙළවර ආක්‍රමණය කළ බැවිනි. අවසානයේදී නොනවතින උත්සාහය සාර්ථක කර ගන්නට ලාඕසයට හැකි වූයේ 58 වන මිනිත්තුවේදී ලද කෝණ අවස්ථාවක් මුක්දා විසින් ගෝලයකට පරිවර්තනය කිරීමෙන් පසුවය. ලාඕසය එක පිට එක කෝණ අවස්ථා ලබමින් ඉදිරියට යන අතර තරඟයේ 77 වන මිනිත්තුවේදී ඔවුනට ලැබුණු අවස්ථාවක් ව්‍යර්ථ කරන්නට අසිකු රහුමාන් නැවතත් සමත් විය.

තරඟයේ 81 වන මිනිත්තුවේදී ශ්‍රී ලංකා ගෝලය වෙත එල්ල වූ දිගු පහරක් අතිදක්ෂ ලෙස නවතා දැමුනේ සුජාන් පෙරේරාගේ පිහිටෙනි. එනමුත් ඉන් මිනිත්තු දෙකක් ඉක්ම යන්නටත් පෙර ලාඕසය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා වූයේ සන්තනලේ ගේ පාදයෙනි.

තරඟය අවසන් වන්නට පෙර මිනිත්තු තුනක ආදේශ කාලයක් විනිසුරු විසින් ලබා දුන්නද, පන්දුව තමා වෙත තබාගැනීමට නොහැකි වීම නිසා එයින් ශ්‍රී ලංකාවට සිදුවන වාසියක් ගැන කිසිවකුත් නොසිතුවේය.

නමුත් ආදේශන කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගන්නට හැකි අයුරින් හදිසියේම ගෝලයක් වාර්තා කරන්නට අසිකු රහුමාන් සමත් වූ අතර ඉන් තරඟයේ තීන්දුවට කිසිදු වෙනසක් සිදු නොවූයේ, ඒ වන විටත් ලාඕසය තරඟය පුරාම තම අණසක පතුරුවා තිබූ බැවිනි.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය මොන්ගොලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත අතර තරඟාවලියේ රැදී සිටීමට නම් ශ්‍රී ලංකාව ඒ තරඟය අනිවාර්යයෙන්ම ජය ගත යුතුව ඇත.

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 1 – 2 ලාඕසය

ගෝල රැස් කළ ක්‍රීඩකයින් –

  • මුක්දා 58′, සන්තනලේ 83′ (ලාඕසය)
  • අසිකු රහුමාන් 93′ (ශ්‍රී ලංකාව)

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට