“අපේ සැලසුම් ගොඩක් ඒවා අසාර්ථක වුනා.” – නුවන් ප්‍රදීප්

665

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 446ක් පසුපසින් රැඳී සිටිමිනි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පසුවන්නේ තරගයේ පළමු ඉනිම පරාජය වන තත්වයකය.

“නුවන් ප්‍රදීප් තමා අපේ අංක එකේ වේග පන්දු යවන්නා” – ගුරුසිංහ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය (26) තුල නුවන් ප්‍රදීප් හැරෙන්නට…

ඉන්දියානු කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 600ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස්කර ගැනීමට සමත් වූ අතර තරගයේ මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය අතරතුර දස්කම් අතරට පැමිණීමට සමත් වූ එකම ක්‍රීඩකයා වූයේ නුවන් ප්‍රදීප් ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පන්දු යවන්නන් 04 දෙනාටම එරෙහිව ලකුණු 130ට වඩා රැස්කර ගන්නට ඉන්දියානු පිතිකරුවන් සමත් වූ අතර එවන් සිදුවීමක් වාර්තා වූයේ ඉතිහාසයේ 4 වෙනි වරට වීම විශේෂත්වයකි.

2011 වසරේ දී ටෙස්ට් වරම් දිනාගත් නුවන් ප්‍රදීප් මීට පෙර ටෙස්ට් තරග 24කට සහභාගී වෙමින් ඉනිම් 46ක දී එක් අවස්ථාවක දී හෝ එක් ඉනිමක දී කඩුලු 5ක් බැගින් දවා ගන්නට සමත් වී නොතිබුණි. මෙම තරගයේ පළමු දිනයේ දී බිඳ වැටුණු ඉන්දියානු කණ්ඩායමේ කඩුලු 3ටම හිමිකම් කියූ ඔහු ඉනිම අවසන් කළේ ලකුණු 132කට කඩුලු 6ක් දවා ගනිමිනි.

“මට හොඳ ආරම්භයක් ලබා ගන්න බැරි වුනත් දිගටම පන්දු යවද්දී මම මගේ සුපුරුදු රිද්මයට ආවා. මම මීට කලින් අවස්ථා 6ක දී 7ක දී වගේ කඩුලු 4 බැගින් දවාගෙන තිබෙනවා. නමුත් එක් ඉනිමක දී කඩුලු 5ක් දවා ගත්ත පළවෙනි අවස්ථාව මේක. ඒක ගැන ගොඩක් සතුටුයි.” නුවන් ප්‍රදීප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.    

ප්‍රදීප් දවාගත් කඩුලු 6න් කඩුලු 2ක් දැවී ගියේ ‘bouncer’ පන්දු හමුවේ වන අතර පළමු දිනයේ දී ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය හොඳම පිතිකරුවන් අතරින් කෙනෙක් ලෙස සැලකෙන විරාත් කොලිගේ කඩුල්ලත්, දෙවන දිනයේ දී දැවී ගිය රවිචන්ද්‍රන් අශ්වින්ගේ කඩුල්ලත් ඔහු දවා ගත්තේ ‘bouncer’ පන්දු ආධාරයෙනි. ප්‍රදීප් මුල සිටම නිතරම ‘bouncer’ පන්දු උපයෝගී කර ගන්නා පන්දු යවන්නෙක් වුවත් වර්තමානය වන විට එය කඩුලු ලබා ගැනීමේ උපක්‍රමයක් බවට පත්කර ගැනීමට ඔහු සමත්ව ඇත.

“මම ‘bouncer’ පන්දු වලින් පුහුණුවීම් කළේ සාමාන්‍ය විදිහට. ඒත් අද තණතිල්ලේ තිබුණ තත්වයත් එක්ක ඒක ප්‍රතිඵලදායක වුනා.” ඔහු තවදුරටත් පවසා සිටියේය.

ඉන්දියානු කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 177ක ප්‍රමාණයක් තුළ දවා ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 600කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, පළමු දින දෙක තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දක්‍ෂතා පිළිබඳව ප්‍රදීප් එතරම් සතුටකින් පසුවූයේ නැත.

“නැහැ, අපිට සතුටු වෙන්න බැහැ. අපි ක්‍රියාත්මක කරපු ගොඩක් සැලසුම් අසාර්ථක වුනා. ඒ නිසා අපිට අලුත් සැලසුම් ක්‍රියාත්මක කරන්න වුනා. නමුත් ඒවත් හැමතිස්සෙම හරිගියේ නැහැ. ඒක තමයි ක්‍රිකට්වල ස්වභාවය. ඒකට අපි පුරුදු වෙන්න ඕනේ. කොහොම වුණත් අපිට ඔවුන්ව ලකුණු 600කට දවාගන්න හැකි වුනා.” ප්‍රදීප් පැවසීය.

ආබාධයකට ලක්වීම හේතුවෙන් අසේල ගුණරත්නට පිතිකරණයේ යෙදීමට නොහැකි නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 4ක් පමණි. නමුත් ඔවුන් නැවතත් පිතිකරණයේ යෙදීමේ අවදානමෙන් ගැලවීමට නම් තවත් ලකුණු 247ක් ලබාගත යුතුව ඇත. ඒ අනුව ඊයේ දිනය නිමා වන විට කඩුල්ලේ රැඳී සිටි සිය 27 වන අර්ධ ශතකය වාර්තා කරගත් ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා පිතිකරු යුගළය එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ධූරයට පත්වූ චමින්ද වාස් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය සහ තරගයේ තෙවන දිනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ;

“ඕනම කණ්ඩායමක් ලකුණු 600ක් වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තොත් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන්ට ලොකු පීඩනයක් එල්ල වෙනවා. කොහොම වුනත් අපි හොඳින් පිතිකරණයේ යෙදුණේ නැහැ. සමහර පිතිකරුවන් ඉක්මනින් දැවී ගියා. ඒ වගේ දේවල් කණ්ඩායමකට දරා ගන්න අපහසුයි. නමුත් ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. නමුත් ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. ඒ නිසා අපි හිතනවා ඔවුන් හෙට දිවා ආහාරය වෙනකන් කඩුල්ලේ රැඳී සිටියි කියලා. අපිට තේ පානය දක්වා පිතිකරණයේ යෙදෙන්න පුළුවන් වුනොත් සමහර විට නැවතත් පිතිකරණයේ යෙදීමේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනේ – පළමු පැය දෙකක කාලය තුළ හොඳින් පිතිකරණයේ නියැලෙන්න.”  

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට