ආරම්භයේ දී ම ජාතික වාර්තා දෙකක් බිඳ වැටේ

175

96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (3) කොළඹ සුගතදාස ආරම්භ වූ අතර අවසන් මහා තරග ඉසව් 6ක් අවසන් වූ පළමු දිනය තුල නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි විය.

96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වටිනාකම

ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප හඳුන්වනු ලබන 96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (3) සිට 5 වැනිදා (හෙට) දක්වා කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ.

වසර 4 කට පසුව නැවතත් කොළඹ සුගතදාස පිටියේ පැවති මේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 3000 කාන්තා බාධක දිවීමේ ධාවන තරග ඉසව්ව මෙවර තරගාවලියේ පළමු තරගය වූ අතර එහි දී 9.46.47ක කාලයකින් සිය තරග ඉසව්ව අවසන් කළ නිලානි රත්නායක තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මෙවර තරගාවලියේ ආරම්භයේම නව ජාතික වාර්තාවක් පිහිටුවාලමිනි.

මීට පෙර ඉන්දුනීසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ රත්නායක 9.55.59ක දක්ෂතාවයක් පෙන්නුම් කළ අතර එය හා සසඳා බැලීමේ දී ඇය විසින් තත්පර 10කට ආසන්න කාලයකින් සිය දස්කම් ඉදිරියට රැගෙන එන්නට සමත්ව තිබේ. එසේම කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන පාරමී වසන්ති මාරිස්ටෙල්ලා එහි රිදී පදක්කම් දිනා ගත්තේ 10.31.16ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් වන අතර ඩබ්. එන්. කුමාරි (ශ්‍රී ලංකා නාවික හමුදාව) එහි තෙවන තැන දිනා ගත්තේ 11:07.68ක කාලයක් වාර්තා කරමිනි.

පිරිමි කවපෙත්ත විසි කිරීමේ තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයාන් ජයවර්ධන මීටර 56.40ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ඔහු විසින්ම මීට පෙර පිහිටුවා තිබූ මීටර 53.20ක ශ්‍රී ලංකා ජාතික වාර්තාව මෙහි දී බිඳ හෙළන ලදි. එම ජාතික වාර්තාව මෙවර තරගාවලියේ බිහි වූ දෙවන ජාතික වාර්තාව විය. ඊට අමතරව එහි දෙවන හා තෙවන තැන දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ටී. එම්. සාරුක් (මීටර 45.21) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩී. බී. රත්නායක (මීටර 43.1) යන අය විසිනි.

මීටර 400 පිරිමි ධාවන තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයේ පළමු තරග ඉසව්වේ දී අරුණ දර්ශන තත්පර 46.68 සිය තරග ඉසව්ව අවසන් කළ අතර දෙවන තරග ඉසව්වේ දී  46.65ක දක්ෂතාවයක් පෙන්නුම් කළ පසිඳු කොඩිකාර ඔහුගේ පුද්ගලික දිවියේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව එහි තීරණාත්මක අවසන් මහා තරග ඉසව්ව සඳහා ඔවුන් දෙදෙනාට අමතරව අජිත් ප්‍රේමකුමාර, තරුෂ දනංජය, කාලිංග කුමාර, දිලීප් රුවන් යන ක්‍රීඩකයින් තරග වදිනු ලබන නිසා එම ධාවන තරගය අතිශය උණුසුම් වනු ඇත.

ආසියාව ජය ගත් කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 තෙක් මූල්‍ය සහය

පදක්කම් 11ක් සමඟින් ජපානයේ ජීෆු හිදී අවසන් වුන 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල තෙක්…

කාන්තා දුර පැනීමේ තරග ඉසව්වේ දී අංජනී පුලවංස මීටර 6.08ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඇයගේ හොඳම පුද්ගලික දක්ෂතාවය සමාන කළාය.  පසුගිය දිනවල දී ඇය ආබාධයකින් පෙළුණු අතර ඉන් සුවය ලබා නැවතත් දස්කම් අතරට ඒමට හැකි වීම ඉතාමත් සුභදායී දෙයකි. ඊට අමතරව පොලිස් ක්‍රීඩා සමාජයේ හර්ෂනී ජයකාන්ත හා ගුවන් හමුදාවේ සී. එම්. තිලකරත්න විසින් පිළිවෙළින් එහි රිදී හා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අරුණි ලක්ෂිකා හා අයේෂා මධුවන්ති කාන්තා කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වේ දී ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් කරට කර සටනක නිරත වුන අතර අවසානයේ මීටර 46.18ක දක්ෂතාවයක් පෙන්නුම් කළ අරුණි ලක්ෂිකා එහි රන් පදක්කම දිනා ගන්නා විට මීටර 46.09ක දක්ෂතාවයක් පෙන්නුම් කළ මධුවන්ති හට එහි රිදී පදක්කමින් පමණක් සෑහීමකට පත්වීමට සිදු විය. එස්. එන් රත්නසිරි එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

පිරිමි යගුලිය විසි කිරීමේ තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ සමිත් ජයවර්ධන  මීටර 16.23ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි රන් පදක්කම දිනා ගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඒ. ඩී. ජේ . පෙරේරා (මීටර 15.67) හා ඩබ්. එස්. එම් ප්‍රනාන්දු (මීටර 15.04) පිළිවෙළින් එහි රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

96 වන මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන (අගෝස්තු 4) හා තෙවන (අගෝස්තු 5) දිනයන් වල සජීවී විකාශනය ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටින අතර තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<