ජයග්‍රහණයකින් කෙළවර වූ මිනිත්තු 93ක ක්‍රිකට් උන්මාදය

486

ලොව භයානකම පිතිකරණ ලැයිස්තුවක්, කලාලය (mat) මත ක්‍රීඩා කර අභිනවයෙන් දඟ කැවෙන තණතිල්ලක ක්‍රීඩා කළ තෙවන කාණ්ඩයේ කණ්ඩායමක් මෙන් දැවී යන්නේ කලාතුරකිනි. එවන් අවස්ථාවකට මුහුණ දීමට ඊයේ (14) ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන්නන් නිසාවෙනි.

ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරුවන් දින තුනක් තුල දෙවරක්ම අන්ත අසරණ කරන්නට සුපිරි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර තවත් දින දෙකක් ඉතිරිව තිබෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රධාන තණතිල්ල ලබාගෙන මීළඟ තරගයට පුහුණුවන්නට ඔවුන් උත්සහ කරනු ඇත.  

 

ශ්‍රී ලංකා දඟපන්දුව ද. අප්‍රිකානු කොඳු නාරටිය සිඳලයි; වීරයා දිමුත්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් තවත් සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (14) සමත් වූහ…

ශ්‍රී ලංකා කණ්ඩායමේ නම නොකියවෙන වීරයා වන දිල්රුවන් පෙරේරා නිහඬව සුහද සිනාවකින් මුව සරසා ගෙන දකුණු අප්‍රිකානුවන් ආධුනිකයින් මට්ටමට ඇද දමමින් ටෙස්ට් තරගවල සිය හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 78කට කඩුලු 10ක් දවාගත් අතර මේ දිල්රුවන් තරගයක කඩුලු 10ක් ලබාගත් දෙවන අවස්ථාවයි. දෙවන ඉනිමේ ලකුණු 32ට කඩුලු 6ක දක්ෂතාවය දිල්රුවන් වාර්තා අතර හොඳම පන්දු යැවීම ලෙස සටහන් වනු ඇත. ඔහුගේ අනෙක් කඩුලු 10යේ දක්ෂතාව වාර්තා වූයේ 2016 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 99ට කඩුලු 10ක් ලෙස ගාලු ක්‍රීඩාංගණයේ දී ම දැක්වූ දක්ෂතාවයයි.

“දිල්රුවන් පසුගිය මාස කිහිපයේ ගොඩක් මහන්සි වුනා, එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඔහු අද විශිෂ්ට ලෙස ක්‍රීඩා කළේ, රංගන හා දිල්රුවන් තරගය සම්පූර්ණයෙන් වෙනස් කළා” තමන් නායකත්වය දැක්වූ තරග දෙකම ජයග්‍රහණයෙන් අවසන් කළ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා සිටියේය.

දිල්රුවන් එක අන්තයකින් පීඩනය යොමු කරද්දී රංගන අනෙක් අන්තයෙන් කඩුලු ලබාගත් අතර රංගන පීඩනය එල්ල කරද්දී දිල්රුවන් ද කඩුලු ලබා ගත්තේ අප්‍රිකානු පිතිකරණ ලැයිස්තුවට කිසිදු නිදහසක් ලබා නොදෙමිනි.

රංගන හා දිල්රුවන්ට වසර 116ක් පැරණි වාර්තාවක් ගිලිහි ගියේ නූලෙන් ය. එකම දඟපන්දු යවන්නන් දෙදෙනා වෙනස් වීමකින් තොරව එකම අන්ත දෙකෙන් පන්දු යවමින් කඩුලු 10ම දවා ගත් අවස්ථාවකට ඔවුන් ඉතා ආසන්න වූ නමුත් ලක්ෂාන් සඳකැන්ට පන්දුව ලබාදීමත් සමඟ සිය පළමු පන්දුවාරයේම අවසන් දකුණු අප්‍රිකානු කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් වීම නිසා රංගනට හා දිල්රුවන්ට එම වාර්තාව අහිමි විය.  


ඔවුන් දෙදෙනා ටෙස්ට් තරගයක ඉනිම දෙකේම පන්දු යැවීම ආරම්භ කළ සිව්වැනි දඟපන්දු යවන්නන් යුගලය වූ අතර මනා සම්බන්ධතාවයකින් හා සන්නිවේදනයකින් යුතුව පන්දු යවන රංගන හා දිල්රුවන්, සඳකැන්ගේ අවසන් කඩුල්ලේ දායකත්වයත් සමඟ එක් තරග කාල සීමාවක් තුල දී (session) දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියල්ල ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

“රංගන ලෝකයේ සිටින හොඳම වමත් දඟපන්දු යවන්නෙක්, ඒ ගැන කිසිම විවාදයක් නැහැ. දිල්රුවනුත් පසුගිය වසර කිහිපයේ ඉතා හොඳින් පන්දු යැවීමේ නිරත වුනා, ඔවුන් දෙදෙනාම දැනට ලෝකයේ සිටින හොඳම දඟපන්දු යවන්නන්, විශේෂයෙන්ම ගාල්ලේ දී ඔවුන් අපිට තරග දිනවලා දෙනවා, මම බලාපොරොත්තු වෙනවා ඔවුන් දිගටම ඔවුන්ගේ විශිෂ්ට ක්‍රීඩා රටාව ක්‍රියාත්මක කරයි කියලා” ලක්මාල් තවදුරටත් පවසා සිටියේය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙවන ඉනිම සඳහා පිටියේ රැඳී සිටියේ මිනිත්තු 116කි. පළමු කාලසීමාවේ දිවා ආහාරයට පෙර මිනිත්තු 13ක් ඔවුන් පිතිකරණයේ යෙදුණු අතර මිනිත්තු 103ක් දිවා ආහාරයෙන් පසු පිතිකරණයේ යෙදුනි. පළමු කඩුල්ල ලෙස ඩීන් එල්ගාර් පස්වරු 12 .50ට දැවී ගිය අතර අවසන් කඩුල්ල ලෙස පස්වරු 2.23 ටබ්‍රාඉස් ශම්සි (Tabraiz Shamsi) තරගය හමාර කරමින් නැවත ක්‍රීඩාගාරයට ගියේය. මේ මිනිත්තු 93 ඇතුලත විශිෂ්ට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියල්ල දැවී ගියේ රංගන දිල්රුවන් යුගලයේ දඟ කැවීමත්, ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ හොඳ පන්දු රැකීමත් මෙන්ම දකුණු අප්‍රිකානුවන්ගේ දුර්වල පහරවල් තෝරා ගැනීමත් නිසාය.    

ශ්‍රී ලංකා පොඩ්ඩොන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (14) NCC පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත්…

දකුණු අප්‍රිකානුවන්ගේ ඇතැම් පහරවල් ඉතා දුර්වල විය. ලකුණු 352ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලම එකම ආකාරයෙන් දැවී ගියේ ස්ටම්ප් කිරීම් වලට හසුවීමෙනි. කිසිදු පිතිකරුවෙකු තරගය සිව්වැනි දිනය කරා ඇදගෙන යාමට තරම් සටනක් දියත් කළේ නැත.   

“අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ, අපි දැනන් හිටියා මේ තරගාවලිය අමාරුවෙයි කියලා, අපි දැනන් හිටියා ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ඉතාමත්ම හොඳයි කියලා, විශේෂයෙන්ම ඔවුන්ගේ තත්වයන් වල, අපි අවශ්‍ය ප්‍රමාණයකට ඔවුන් හා සම සමව සිටියේ නැහැ, ඒ නිසා තරගාවලියේ ඉදිරියට තරග කරන්නට නම් අපි මීට වඩා හොඳ වෙන්න ඕන, අපිට එහෙම වෙන්න බැරි වුනොත් ශ්‍රී ලංකාව අපිට වඩා ඉහළින් සිටීවි.” දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලේසිස් පවසා සිටියේය.

තෙවන දිනයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා රටාව ඔවුන්ට පහසුවෙන් අමතක කර දැමීමට නොහැකි වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පහසුවෙන් දකුණු අප්‍රිකානු පිතිකරණ ලැයිස්තුව විනිවිද ගිය අතර ඊයේ දිනය දකුණු අප්‍රිකානුවන්ගේ ක්‍රිකට් වංශ කතාවේ අඳුරුතම දිනයක් ලෙස මතකයේ රැඳෙනු ඇත.  

ප්‍රශංසනීය ඉනිමක් සමඟින් ඉනිම ගොඩ දැමූ වමත් පිතිකරුවා – දිමුත් කරුණාරත්න

දකුණු අප්‍රිකාව වැනි විශිෂ්ට පන්දු යැවීමේ බලකායක් හමුවේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශතකයක් වාර්තා කිරීම පහසු වැඩක් නොවේ. විශේෂයෙන්ම විවාදයකින් තොරව මේ වන විට ලොව හොඳම…

මේ අතර තරගයේ වීරයා වූ දිමුත් කරුණාරත්න කණ්ඩායම් දෙකෙන්ම ශතකයක් හෝ අර්ධ ශතකයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා වූ අතර ඉනිම් දෙකේම තරග දිනවන ඉනිම දෙකක් වාර්තා කරන්නට ඔහු සමත් විය. පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 158ක් රැස්කර ගත් ඔවුන් දෙවන ඉනිමේ දී ද ලකුණු 60ක් වාර්තා කර ගනිමින් මුළු ලකුණු 218ක් රැස් කරගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉනිම දෙකටම වඩා ලකුණු 19ක් රැස් කරගනිමිනි. (126ක් හා 73ක්)

“ඔබ දඟපන්දු යවන්නන්ට ක්‍රීඩා කරන විට ඔබට හොඳින් කඩුල්ල ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්න ඕන, නමුත් විශේෂයෙන්ම දඟපන්දු යවන්නන් ඔබව යටත් කරගන්න කලින් ඔබ දඟපන්දු යවන්නන් යටත් කරගන්න ඕන, ඔබ ඔවුන්ට අවස්ථාවක් දුන්නොත් ඔවුන් ඔබව සම්පූර්ණයෙන් ග්‍රහණයට ගනීවි, එහෙම වෙන එක වළක්වන්න මම මගේ පාදය භාවිතා කර ලකුණු රැස් කරන්න උත්සහ කරනවා, ඉන්පසු ඔවුන් ලවා මට ලකුණු රැස්කරන්න පුළුවන් ස්ථානවලට පන්දුව යොමු කරවා ගැනීමට මම උත්සහ කරනවා, ඔබ කඩුල්ලෙන් පිටතට පැමිණ යන අවදානමක් ගත්තොත් ඔබට පුළුවන් පන්දු යවන්නන් ලවා ඔබට උවමනා තැනට පන්දුව යොමු කරවා ගැනීමට” කරුණාරත්න ගාලු තණතිල්ලේ පන්දුවට පහර දීම ගැන අදහස් පළ කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<