සුදේශ්, මැතිව් හා කිමිකෝ සමග 9ක් රියෝ යයි

326
Kimiko, methews, suresh

ලබන අගෝස්තු මස 5 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින කණ්ඩායමට අලුතින්ම එක්වූ ක්‍රීඩකයා ලෙස සුදේශ් පීරිස් ඇතුළත්ව ඇතැයි “මව්බිම”ට වාර්තා වේ.

පසුගිය දකුණු ආසියානු තරගාවලියේදී (සාග්) පිහිනුම් ඉසව්වලින් සුවිශේෂ දස්කම් දැක්වූ මැතිව් අබේසිංහට හා කිමිකෝ රහීම්ට මෙවර ඔලිම්පික් වරම් හිමිවී ඇති බවද ඊයේ අප වෙත අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වනවිට අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, නිලූකා ගීතානි රාජසේකර (මැරතන්), සුමේධ රණසිංහ (හෙල්ල), නිලුක කරුණාරත්න (බැඩ්මින්ටන්), මංගල සමරකෝන් (වෙඩි තැබීම), චාමර ධර්මවර්ධන (ජූඩෝ), සුදේශ් පීරිස් (බර ඉසිලීම), මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම් (පිහිනුම්) වශයෙන් 9 දෙනකු එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.

පසුගිය 2014 වසරේ ස්කොට්ලන්තයේ ග්ලස්ගොව්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 123ක් හා ක්ලීන් ඇන්ජ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 150ක් වශයෙන් කිලෝ ග්‍රෑම් 273ක සමස්ත බර ප්‍රමාණයක් ඉසිලීමෙන් සුදේශ් පීරිස්ට සහනදායී පදනම මත (වයිල්ඩ් කාඩ්) මෙවර ඔලිම්පික් සුදුසුකම් ලැබීමට මහෝපකාරී වී ඇතැයි පැවැසේ.

එසේ වුවත් ඔහු මෙම වසරේ අප්‍රේල් මාසයේ උස්බෙකිස්තානයේදී පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 125ක් හා ක්ලීන් ඇන්ජ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 161ක් වශයෙන් කිලෝග්‍රෑම් 286ක සමස්ත බරක් ඔසවමින් 16 වැනි ස්ථානයට පත්ව තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් කිලෝග්‍රෑම් 62 බර පන්තිය යටතේ තරග වැදීමට මෙවර ඔලිම්පික් සුදුසුකම් ලබා තිබෙන සුදේෂ් එම ඔලිම්පික් සුදුසුකම් ලැබූවන්ගේ ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලන ශ්‍රේණිගත නාම ලේඛනයේ 29 වැනි ස්ථානයට පත්ව තිබීමද කැපී පෙනේ.

මේ අතර මෙවර ඔලිම්පික් සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනයට මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම්ද ඇතුළත්ව ඇතැයිද, ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට ජූඩෝ ක්‍රීඩකයකු ඔලිම්පික් සුදුසුකම් ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක්ද බවද ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට