නව වයස් කාණ්ඩයත් ශානිකා යටතට; ශෙලින්ඩා පහසුවෙන් රන් පදක්කමට

110
89th Sir John Tarbet Athletic Championship 2019

ධාරානිපාත වර්ෂාවෙන් දිගින් දිගටම බාධා එල්ල වූවත් Ritzbury අනුග්‍රහයෙන් පැවැත්වෙන 89 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවන දිනය (11) නිමා වූයේ නැඟී එන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුටම නව තරගාවලි වාර්තාවන් බිහි කිරීමට අවශ්‍ය අඩිතාලම සකසා දෙමිනි.

ලුම්බිණි, ඇලෝසියස්, වලල සහ සෙබස්තියන් බාලිකාවෙන් නව වාර්තා

“89 වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබර්ට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව” අද (10) සුගතදාස ක්‍රීඩාංගණයේ දී…

දිනය පුරාවටම දැකගන්නට ලැබුණු අයහපත් කාලගුණ තත්වයන්ට තම හැකියා දක්ෂතාවන් යටපත් කිරීමට කිසිදු අවකාශයක් ලබා නොදුන් මෙම ධෛර්යය සම්පන්න යොවුන් ක්‍රීඩා තරු තම සමකාලීනයන් සමඟ උරින් උර ගැටෙමින් තරග කළ ආකාරය දිනය අවසානයේ දී බොහෝ දෙනාගේ ඇගයීමට පාත්‍ර විය.

වයස අවු. 20න් පහළ, 18න් පහළ සහ 16න් පහළ ලෙස වයස් කාණ්ඩ තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ දෙවන දිනය වඩාත් තීරණාත්මක සහ සුවිශේෂී දිනයක් බවට පත්වූයේ ජවන සහ පිටිය ඉසව් රැසකගේ අවසන් මහ තරග අද දිනයට යෙදී තිබුණ බැවිනි.

මේ අතරින් වඩාත් කතා බහට ලක්වුනු ඉසව්වක් ලෙස වයස අවුරුදු 18න් පහළ මීටර් 800 බාලිකා ඉසව්ව හැඳින්විය හැක. මෙම ඉසව්වේම 16න් පහළ තරගාවලි වාර්තාවට හිමිකම් කියූ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂානි තමන් මේ වසරේ දී තරගාවලිය සඳහා එක්වූයේ නව වයස් කාණ්ඩයේ ද ශූරිය ලෙස කිරුළු පැලඳීමේ අභිලාශයෙන් බව සියල්ලන්ටම සිහිකර දුන්නේ ඉසව්වේ ප්‍රථම ස්ථානයට අමතරව නව තරගාවලි වාර්තාවකට ද උරුමකම් කියමිනි. මෙම දක්ෂතාවය දැක්වීම සඳහා ශානිකාට ගත වූ කාලය ලෙස සටහන් වූයේ විනාඩි 2.13.26ක් ලෙසයි.

ගතින් දුබල වුවත් මනසින් දුබල නැති විශිෂ්ටයින්ගේ ක්‍රීඩා උළෙල

2019 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (05) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ශූරතාවය…

ශානිකා ලක්ෂානි එසේ තම වික්‍රමයන් රඟ දක්වන අතරතුර ඇය සතු වූ වයස අවු.16න් පහළ මීටර් 800 ඉසව්වේ තරගාවලි වාර්තාව හොර රහසේම තම නම ඉදිරියේ සටහන් කරගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලයේ ටී. ඩී. කුරුණාරත්න සමත් වූයේ ඇය සමඟ ධාවනයේ යෙදුණු සෙසු ක්‍රීඩාවන් හට ඉතාමත් හොඳ තරගයක් ලබා දෙමිනි. එසේ සාර්ථක අවසානයක් කරා පියමැනීම සඳහා ඇයට ගත වූ කාලය විනාඩි 2.17.43ක් ලෙස සටහන් විය.

එතැකින් නොනැවතුණු වලල ඒ. රත්නායක විදුහල් ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් යලිත් වතාවක් ඉස්මතු වූ අවස්ථාවක් ලෙස වයස අවු.16න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීමේ බාලිකා ඉසව්ව හඳුන්වා දිය හැක. මූලික වටයේ තරගයන් හිදී ඉතාමත් හොඳ ධාවන කාලයක් වාර්තා කරගනිමින් අවසන් කඩුල්ල පැනීමට පෙර සූදානම් වූ සඳුනි ලක්ෂානි අවසන් මහා තරගයේ දී ඇය සතු සියලුම ශිල්පයන් භාවිතා කරමින් නව තරගාවලි වාර්තාවක් ද සමඟ ඉසව්ව ජය ගත්තේ පැමිණ සිටි ප්‍රේක්ෂක ජනයාගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය. ඇය විසින් පිහිටවූ නව තරග වාර්තාව විනාඩියයි තත්පර 05.91ක් ලෙස වාර්තා පොත් අතරට එකතු විය.

කෙටි දුර සහ මැදි දුර ධාවනයන් නිරත වූ ක්‍රීඩිකාවන් එසේ අභිමානයෙන් ඔවුන්ගේ ජයග්‍රහණයන් සමරන අතරවාරයේ දිගු දුර ධාවකයින්ගේ ගෞරවය රැක දීමට මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ ශෂිකලා ඩිල්ශානි ක්‍රීඩිකාව සමත් විය.

විනාඩි 27යි තත්පර 18.45ක කාලයක් වැය කරමින් නව තරගාවලි වාර්තාවකට දොරටු විවෘත කර ගත් ශෂිකලාගේ සටන්කාමි තරග විලාසය පිළිබඳ කාගෙත් වැඩි අවධානයක් යොමු විය.

කුසලතා පූර්ණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12කට මෙවර ශිෂ්‍යත්ව වරම්!

ජාත්‍යන්තරය ඉදිරියේ ලක්මවට කීර්තියක් අත්කර දීමට සමත් වූ අරුණ දර්ශන සහ පාරමි මාරිස්ටෙලා වැනි…

බාලිකාවන්ගේ වාර්තා පිහිටුවීමේ ආධිපත්‍යය ජවන ඉසව්වන් වලට පමණක් සීමා නොවූයේ වයස අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ද තරගාවලි වාර්තාව අලුත් කරමින් පිටිය ඉසව්වන් වලටද නව ජීවයක් එක්කිරීමට එක් ක්‍රීඩිකාවක් සමත්කම් දැක්වු නිසාවෙනි.

පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල නියෝජනය කරන නිසුලි සවින්දි ක්‍රීඩිකාව ඇය සතු උපරිම ජවය සහ ශක්තිය උපයෝගි කරගනිමින් මීටර් 33.14ක වාර්තාගත දක්ෂතාවක් සටහන් කරගැනීමට සමත් වූ අතර ඇයගේ උත්සාහයන් ආසන්නයටවත් පැමිණීමට වෙනත් කිසිදු ක්‍රීඩිකාවට නොහැකි වීම මෙහි දී වඩාත් කැපී පෙනුණි.

ක්‍රීඩිකාවන් එසේ දිනය පුරාවටම ඔවුන්ගේ බලපරාක්‍රමයන් පතුරවාහරිද්දී බාලක තරගකරුවන් හට පිහිටුවීමට හැකි වූයේ නව තරග වාර්තාවන් යුගලක් පමණක් වීම සුවිශේෂි වේ.

වයස අවු.18න් පහළ මීටර් 200 බාලක වාර්තාගත කාලයකින් (තත්පර 21.87) ජය ගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලයේ චලිත් පියුමාල් සමත් වූ අතර වයස අවු.16න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම බාලක තරගය ද නව තරගාවලි වාර්තාවක් (තත්පර 53.76) පිහිටුවමින් ජයග්‍රහණය කිරීමට රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විනෝද් ආරියවංසට හැකි විය.

>> දිනයේ පැවති සියලු තරග ඉසව්වන් හි ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව මෙතැනින් <<

මීට අමතරව යොවුන් ඔලිම්පික් උළෙලේ දී කෙටි දුර ධාවන ඉසව්වන්ගෙන් ලක් මාතාවට කීර්තියක් අත්කරදුන් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශෙලින්ඩා ජැන්සන් ඇයට වඩාත් හුරු පුරුදු ඉසව්ව වන මීටර් 200 බාලිකා ඉසව්ව වයස අවු.20න් පහළ වයස් කාණ්ඩය යටතේ තරග වදිමින් ඉතා පහසුවෙන් ජය ගත්තේ තත්පර 24.69ක කාලයක් මිඩංගු කර හරිමිනි.

තරගාවලියේ තෙවැනි දිනය හෙට (12) ක්‍රියාත්මක වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<