උප නායකයෝ සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය සියතට ගනිති

1784

නායකයන් පසෙක සිටිය දී දෙපිළේම උප නායකයන් තමන්ගේ තරගයක් බවට පත් කර ගත් කොළඹ ආනන්ද – නාලන්ද 89 වැනි සුලෝහිත සංග්‍රාමය කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේ දී අද (03) පළමු දිනයට නිමා වූයේ නාලන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ වැඩි වාසි තම කණ්ඩායමට නතු කර ගනිද්දී ය.

දිනය අවසානයට තරගයේ තවත් පන්දුවාර කිහිපයක්ම යැවීමට තිබුණ ද එස්. එස්. සී. පිටියේ ඉහළ අහසේ අඳුරු වළාවන් නැගුණේ තරගය පළමු දිනයට අවසන් කළ යුතු බවට වූ කාලගුණ විධානයක් සේ ය.

ඒ අනුව නතර වූ තරගයේ ලකුණු පුවරුව කියැවුණේ පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 141ක් රැස් කර බවත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නාලන්ද විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබා සිටි බවත්ය.

තරගය නැවත හෙට දිනේ දී ආරම්භ වෙන්නේ නාලන්ද විද්‍යාලයීය ක්‍රීඩකයන්ට පළමු ඉනිමේ ගෞරවය ලබා ගැනීම වෙනුවෙන් තවත් ලකුණු 34ක අවශ්‍යතාවක් සමඟිනි. ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇති සම්පත් ප්‍රමාණය කඩුලු 5කි.

84 වැනි සාන්තුවරයන්ගේ සටනේ වීරයා ජෙහාන් ඩැනියල්

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වූ 84 වන .

කාසියේ වාසිය දිනූ නාලන්ද නායක ලක්ෂිත රසාංජනගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයන්ගේ පළමු කාර්තුව එතරම්ම සාර්ථක වූයේ නැත. පළමු පන්දුවේ සිටම තරගය තමන් සන්තක කර ගැනීමට නාලන්ද ක්‍රීඩකයෝ සමත් වීම හේතුවෙන් දිවා විවේකය වන විට ආනන්ද ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 67ක් ලෙසින් දුර්වල වී තිබුණි. ඒ පන්දුවාර 25ක දී ය.

දිවා විවේකය වෙද්දී දැවී ගිය කඩුලු 6න් 4කටම හිමිකම් කීවේ දකුණතින් වේගපන්දු යැවූ චමිඳු විජේසිංහ ය. ලකුණු 28කට කඩුලු 2ක් දැවී ඉතා අසරණ තත්ත්වයට වැටී සිටි ආනන්ද කණ්ඩායම වඩාත් අසරණ කිරීමට තරගයේ 10 වැනි පන්දුවාරය උපයෝගී කර ගැනීමට චමිඳු සමත් වූයේ ආනන්ද විද්‍යාලයේ කඩුලු දෙකක්ම එම පන්දුවාරයේ දවා ගනිමිනි. ආරම්භක පිතිකරු කවිඳු ගිම්හාන් (02) දවාගත් විගස යැවුණ අනෙක් පන්දුවේ දී ම නායක අසේල් සිගේරා තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම නැවත විවේකාගාරයට හරවා යැවීමට ඔහු සමත් විය. එවිට ආනන්ද ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 32කට කඩුලු 4ක් ලෙසිනි.

දිවා විවේකය වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි ලහිරු හිරන්‍ය (24) සහ දමින්ද රෙෂාන් (05) දහවල් හිරු රශ්මිය හමුවේ ආනන්ද ඉනිම බිඳෙන් බිඳ ගොඩ නැගීමට සමත් වූයේ ලකුණු අඩුවීම හේතුවෙන් උණුසුම්ව තිබූ ආනන්දයන්ගේ සිත්වලට යම් සැනසීමක් එක් කරමිනි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව ලකුණු 51කි. එය ආනන්ද ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය.

ආනන්ද ඉනිමේ හිස ඔසවා පන්දුවට පහර දෙමින් නාලන්ද පන්දු යවන්නන්ට යම් තරමකින් හෝ තරගයක් දුන්නේ උප නායක ලහිරු හිරන්‍ය පමණක් වීම කැපි පෙණුනි. ගෙවී ගිය පාසල් ක්‍රිකට් වාරයේ තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වසනීයම පිතිකරු වී සිටි ඔහු මෙම තරගයේ දී ද එකී විශ්වාසය රැක ගැනීමට සමත් වූයේ ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකයකට හිමිකම් කියමිනි.

අනෙක් පසින් කඩුලු එකින් එක බිඳ වැටෙද්දී හිරන්‍ය තම අර්ධ ශතකය තමන් මුහුණ දුන් 112 වැනි පන්දුවේ දී ලබා ගත්තේ සුලෝහිත සංග්‍රාම භූමියේ ආනන්ද විද්‍යාලයේ ගෞරවය ද රැක ගනිමිනි. ඔහු තම ඉනිම නිමාවේ දී පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් රැස් කළේය. ඔහු සමඟින් හරි හරියට ඉනිම ගොඩගත් දමින්ද රෙෂාන් පන්දු 67ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තේය.

ලහිරු 7 වැනි කඩුල්ලට අමතරව 8 වැනි කඩුල්ලට පිටියට එක්වූ චාමික ගුණසේකර සමඟ ලකුණු 32ක් එක් කිරීමට ද ඔහු සමත් විය. ආනන්ද ඉනිම නිමා වන විට චාමික පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියේය.

ආනන්ද ඉනිම විනාශ කිරීම සඳහා නාලන්ද නායකයා පන්දු යවන්නන් 8 දෙනෙක්ගේ සේවය ලබා ගත්ත ද, සියලුම කඩුලු බෙදා ගැනීමට ආරම්භක දකුණත් වේගපන්දු යවන්නා වූ උප නායක සුහඟ විජේවර්ධන සහ චමිඳු විජේසිංහ සමත් වූහ. ආනන්ද ඉනිම අවසන් වන විට සුහඟ පන්දුවාර 16ක් යවා නොයිඳුල් පන්දුවාර දෙකක් සමඟින් ලකුණු 67කට කඩුලු 6ක් දවා ගත්තේය. දිවා විවේකයෙන් පසුව දැවී ගිය කඩුලු සියල්ලේම හිමිකරු වූයේ ද සුහඟ ය. චමිඳුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 33කට කඩුලු 4ක් ලෙසිනි.

සුලෝහිත සංග්‍රාමයට මාන බලන ආනන්ද නාලන්ද සහෝදරත්වය

වසර 65ක් තිස්සේ දිනාගත නොහැකිවූ ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ ශූරතාව දිනා ගැනීම සඳහා කොළඹ .

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නාලන්දීයන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 3ක් තිබිය දී අවසන් කිරීමට දකුණතින් වේගපන්දු යැවූ දිනෙත් නිශ්ශංක සමත් විය. ඒ ආරම්භක වමත් පිතිකරු රුසිරු ද සිල්වා (01) දවා ගනිමිනි. එතැන් සිට තරගය තමන් සන්තක කර ගැනීමට ආනන්ද පන්දු යවන්නෝ උත්සාහ කළ ද, එය එතරම්ම සාර්ථක නොවූයේ නාලන්ද පිතිකරුවෝ තමන් වෙත වූ ඉතා පහසු ඉලක්කය ක්‍රම ක්‍රමයෙන් ගොඩ නගන අයුරක් දිස් වීම හේතුවෙනි.

ඒ අනුව දෙවැනි කඩුල්ලට ලකුණු  40ක සබඳතාවක් එක් කිරීමට අනෙක් ආරම්භක පිතිකරු අවිශ්ක පෙරේරා සහ දිල්හාර පොල්ගම්පොළ සමත් වූහ. දෙවැනි කඩුල්ල ලෙසින් අවිශ්ක පන්දු 50ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටිය දී දැවී ගියේය.

ලකුණෙන් ලකුණ එකතු කරමින් නාලන්ද ඉනිම ගොඩ නැගෙද්දී දකුණතින් වේගපන්දු යවන  ශ්‍යාමල් හිරුෂාන් එම ඉනිමේ 21 වැනි පන්දුවාරයේ තෙවැනි සහ සිව්වැනි පන්දුවල දී කඩුලු 2ක් පිට පිට දවා ගනිමින් නාලන්ද ඉනිම අඩාල කිරීමට සමත් විය. එහි දී දිල්හාර පොල්ගම්පොළ පන්දු 46ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටිය දී දවා ගැනීමටත්, පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ උප නායක සුහඟ විජේවර්ධන තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම දවා ගැනීමටත් ඔහු සමත් විය.

ඒ වන විට අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි වමත් පිතිකරු ලක්ෂිත රසාංජන නාලන්ද ඉනිම ගොඩ නැගීමේ වගකීම තමන් සන්තක කර ගෙන සිටියේය. ඒ අනුව ඔහු 5 වැනි කඩුල්ලට චමිඳු විජේසිංහ (18) සමඟ එක් වෙමින් ලකුණු 43ක් තම ඉනිමට එක් කළේය.  

තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට ලක්ෂිත රසාංජන පන්දු 56ක දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියේය. ඔහු සමඟින් අනෙක් අන්තයෙන් රවීන් ද සිල්වා නොදැවී ලකුණු 4ක් ලබා සිටී.

කඩුලු ලබා ගැනීමේ දී ශ්‍යාමල් හිරුෂාන් ලකුණු 24කට කඩුලු 2ක් ද, දකුණතින් පිට දඟපන්දු යැවූ ගීෂාන් විශ්වජිත් ලකුණු 17කට කඩුලු 2ක් ද දවාගෙන සිටී.

තරගය දෙවැනි දිනයටත් (04) ක්‍රියාත්මක වීමට නියමිත ය. තරගයේ දෙවැනි දිනයත් සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (55.0) ලහිරු හිරන්‍ය 58, දමින්ද රෙෂාන් 24, චාමික ගුණසේකර නොදැවී 18, සුහඟ විජේවර්ධන 6/52, චමිඳු විජේසිංහ 4/33

නාලන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 107 (36.0) ලක්ෂිත රසාංජන නොදැවී 32, අවිශ්ක පෙරේරා 24, දිල්හාර පොල්ගම්පොළ 23, ගිෂාන් විශ්වජිත් 2/17, ශ්‍යාමල් හිරුෂාන් 2/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<