ජය සොයන සාන්තුවරයෝ 85 වැනි වරටත් ගැටෙන්නට පෙර

187

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 85 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාර්තු මස 1 සහ 2 දෙදින කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

බවන්ත සහ අංජු ඉසිපතනය පාලනය කරයි

පාසල් ක්‍රිකට් …

මෙවර තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ පිට දඟපන්දු යවන අශේන් ඩැනියෙල් විසින් මෙහෙයවනු ලබන අතර සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන රන්මිත් ජයසේන විසින් මෙහෙයවනු ලැබේ.

සාන්තුවරයන්ගේ තරග ඉතිහාසය

ගරු මෞරිස් ලේ ගොක් පියතුමන් (Rev. Fr. Maurice Le Goc) අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ මෙතෙක් පැවති තරග අතරින් අවස්ථා 12ක දී සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර ඇති අතර සාන්ත පීතර ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර ඇත්තේ අවසස්ථා 10ක දී පමණි. ඉතිරි තරග 62 ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

තරග ඉතිහාසයේ අවසන් වරට තරගයක ජයග්‍රහණයක් වාර්තා වී ඇත්තේ 2016 වසරේ දී ය. ඒ විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතර විද්‍යාලය ය. සාන්ත ජෝසප්වරුන් අවසන් වරට සාන්තුවරයන්ගේ සටනක් ජය ගෙන ඇත්තේ 2008 වසරේ දී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ ය.

1933 දී ආරම්භ වූ සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ ආරම්භක නායකයන් වූයේ සාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් රොබට් ප්‍රනාන්දු ද, සාන්ත පීතර විදුහල වෙනුවෙන් ජෝර්ජ් ජයවීර ද වෙති. එම තරගයේ ජයග්‍රහණය සාන්ත ජෝසප්වරුන් සතු වන අතර සාන්ත පීතරයන් පළමු වරට සාන්තුවරයන්ගේ සටනක් ජය ගන්නේ 1946 වසරේ දී ය. ඒ ඩයන් වොලස් යටතේ ය.

සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 1982 වසරේ කෙන් සර්පන්සිගේ නායකත්වයෙන් යුත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 382යි. සාන්ත පීතරයන් ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 1938 වසරේ දී පර්සි පෙරේරාගේ නායකත්වයෙන් යුතුව කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 345යි.

නිල් මහා සටනේ 140 වැනි දිගහැරුම ලබන මාසයේ

ලොව පැරණිතම මහා ක්‍රිකට් තරග අතරින් දෙවැනි …

කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් ව ඇත්තේ 1972 වසරේ දී රෝයි ඩයස්ගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතරයන් දැවී ගිය ලකුණු 36යි. සාන්ත ජෝසප්වරුන් 1938 දී එඩ්වඩ් මාර්කස්ගේ නායකත්වය යටතේ ලකුණු 56කට දැවී යමින් එකී වාර්තාවේ ඔවුන්ගේ නම සටහන්ව ඇත.  

සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසය වර්ණවත් කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සාන්ත ජෝසප්වරුන් ලෙසින් ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රම ද, සාන්ත පීතරයින් වෙනුවෙන් රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආනල්ඩ්, විනෝදන් ජෝන්, කෞෂාල් ලොකුආරච්චි සහ මලින්ද වර්ණපුර ද වෙති.

සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග 15කට සහභාගී වී ඉන් තරග දෙකක් ජයග්‍රහණය කරමින් සෙසු තරග විසඳුමකින් තොරව නිමා කරමින් අපරාජිතව මෙවර සාන්තුවරයන්ගේ සටනට මුහුණ දීමට සූදානම් වෙති. ඔවුන් ජයග්‍රහණය කර ඇත්තේ ජනාධිපති විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලවලට එරෙහිව ය.

සාන්ත පීතර විද්‍යාලයීය නායක රන්මිත් ජයසේනගේ වඩාත් විශ්වාසවන්ත සගයා වී සිටින්නේ කණ්ඩායමේ වඩාත් පළපුරුදු ක්‍රීඩකයා සේ ම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කළ පසුගිය වසරේ නායකයා වන සංතුශ් ගුණතිලක කෙරෙහි ය.

ඔහු නිමා වූ තරග වසරේ දී ද්විත්ව ශතකයක් සහ ශතක 6ක් සමඟින් ලකුණු 1300ක් ඉක්මවා ලබාගෙන ඇත. ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 28කි. නායක රන්මිත් ජයසේන ද කණ්ඩායමේ දක්ෂතා දැක්වූවන් අතරින් ලෙහෙසියෙන් අමතක කළ හැකි අයෙක් නොවේ. ඔහු ශතක දෙකක් සමඟින් ලකුණු 750කට වැඩියෙන් ඉක්මවා ඇත. එමෙන්ම ලකුණු 700ක් ඉක්මවා උපයා ඇති උපනායක නිපුනක ෆොන්සේකා සහ දැනට ලකුණු 400 සීමාව ඉක්මවා ඇති භානුක ද සිල්වා කෙරෙහි ද ඔවුන් විශ්වාසය තබා ඇත.

පන්දු යැවීමේ දී කඩුලු 50කට වැඩියෙන් දවාගෙන ඇති කණිෂ්ක මධුවන්ත සහ රුවින් සෙනෙවිරත්න ද සාන්ත පීතරයින් වෙනුවෙන් දක්ෂතා දැක්වීමට සූදානමින් සිටී. ශිවාන් පෙරේරාට ද පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමේ හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

සාන්ත පීතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මලින්ද වර්ණපුර මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරුවන් ලෙසින් ක්‍රිශාන්ත පීරිස් සහ කිටෝ ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් කටයුතු කරති.

සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

රන්මිත් ජයසේන (නායක) නිපුනක ෆොන්සේකා (උප නායක) සංතුශ් ගුණතිලක, භානුක ද සිල්වා, කණිෂ්ක මධුවන්ත, රුවින් සෙනෙවිරත්න, ශිවාන් පෙරේරා, දනිත් අංජුල, ප්‍රභාසර හේරත්, ලශාන් රොද්‍රිගෝ, හිම්සර රන්දෙණිය, ෂැනොන් ප්‍රනාන්දු, තාරික් සබූර්, වනුජ කුමාර, විනුද ලියනගේ, රිෂික දවටගේ, ශෙනාල් බොතේජු, ත්‍රිශේන් වික්‍රමසිංහ

සනත් චින්තක මහතා (කණ්ඩායම භාර නිලධාරි)

සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප්වරුන් ගෙවී ගිය තරග වසරේ දී තරග 16කට සහභාගී වී ඉන් තරග 4ක් ජයග්‍රහණය කරමින් තරග දෙකක් පරාජය වෙමින් තරග 10ක් විසඳුමකින් තොරව අවසන් කරගෙන තිබේ.

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ඔවුන් ජයග්‍රහණ ලබා ඇත. කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාල වෙතින් ඔවුන් පරාජයට පත්ව ඇත.

කණ්ඩායමේ වඩාත්ම විශ්වාසය තබා සිටින පිතිකරු වී සිටින්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනයක කළ දිනෙත් ජයකොඩි ය. ඔහු මෙම තරගවාරයේ දී ශතක දෙකක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 700ක් ඉක්මවා ලබාගෙන ඇත.

එමෙන්ම ජොහැන් ද සිල්වා, ෂෙවෝන් ඩැනියෙල් සහ ෂෙරාන් ෆොන්සේකා ද 500 ඉක්මවා ලකුණු ලබා ගනිමින් සාන්ත ජෝසප්වරුන් අතර විශ්වාසය දිනා සිටී. එමෙන්ම දුනිත් වෙල්ලාලගේ, සචින්ත රවිඳු, ලක්ෂාන් ගමගේ සහ ඩිලේශ් පෙරේරා ද සාන්ත ජෝසප්වරුන් වෙනුවෙන් දක්ෂතා දැක්වීමට බලා සිටිති.

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නා වී ඇත්තේ සාලින්ද සෙනෙවිරත්න ය. ඔහු කඩුලු 76ක් ලබා සිටී. ඊට අමතරව මිරන්ග වික්‍රමගේ (28) සහ අශේන් ඩැනියෙල් (24) ද අවශ්‍ය අවස්ථාවක දී දක්ෂතා දැක්වීමට බලා සිටී.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කලක් කටයුතු කළ රොජර් විජේසූරිය මහතා ය. සහාය පුහුණුකරු ලෙසින් ධරන්ත මෙනේරිගම මහතා කටයුතු කරයි.

සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

අශේන් ඩැනියෙල් (නායක) ජොහැන් ද සිල්වා, ෂෙවෝන් ඩැනියෙල්, සචින්ත රවිඳු, ලක්ෂාන් ගමගේ, ශෙරන් ෆොන්සේකා, මිරංග වික්‍රමගේ, සාලින්ද සෙනෙවිරත්න, දිනෙත් ජයකොඩි, දුනිත් වෙල්ලාලගේ, අශාන් ද අල්විස්, ඩිලේශ් පෙරේරා, ශෙවාන් රසූල්, ඩිනාල් අනුරාධ, මිතිර තෙනුර, රිෂිත පෙරේරා, යෙසිත් රූපසිංහ, සදීර ජයවර්ධන, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ, සචින්ත හේවගේ

ආසිරි කල්දේරා (කණ්ඩායම භාර නිලධාරි)

දෙවිදුහල් අතර පැවැත්වෙන “ගරු පීටර් ඒ. පිල්ලෙයි පියතුමන්ගේ කුසලානය” වෙනුවෙන් වන වාර්ෂික එක්දින තරගය මෙවර පැවැත්වෙන්නේ 45 වැනි වරට ය. එම තරගය මාර්තු මස 23 වැනි දින කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

දෙදින තරගයේ මෙන්ම එක්දින තරගයේ ද තරග වාර්තා, ඡායාරූප ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටින අතර තරගයේ සෑම මොහොතක්ම සජීව ලෙස ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<