කිර්ගිස්තාන  විවෘත මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය එළඹෙන ජුනි මස 17 සහ 18 යන දිනයන්වල දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වන පළමු අවස්ථාව ලෙස ද මෙය හැදින්වේ. එම කණ්ඩායමට ක්‍රීඩකයින් 6 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 2 ඇතුළත් වේ.

තායිලන්තයේ දී අයේෂාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්‌

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්‌..

තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වන අතීත කරුණාසිංහ අප්‍රේල් මස දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී අවුරුදු 23න් පහළ බාලක තුන්පිම්ම ඉසව්වෙන් නව වාර්තාවක් තැබීමට සමත් විය. එය මීටර් 16.13ක දක්ෂතාවයකි.

එම තරගාවලියේ දී ම අවුරුදු 23න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වේ මීටර් 7.83ක වාර්තාවක් තැබූ ‍ග්‍රේෂන් ධනංජය ද මෙම කණ්ඩායමට ඇතුළත් වී ඇති අතර එච්. එම්. එස්. කුමාර මීටර් 800 ඉසව්වෙන් විනාඩි 1යි තත්පර 50.18ක දක්ෂතාවයක් දක්වා මෙම අවුරුද්දේ හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයින් අතර දෙවන තැනට හිමිකම් කියයි.

මේ වසරේ ජුනි මස පැවති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී රිටි පැනීම ඉසව්වෙන් මීටර් 5.11ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් තැබූ ඉෂාර සඳරුවන් ද මෙම කණ්ඩයම නියෝජනය කරන අතර මෙම වසරේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දෙවන තැන හිමි අරවින්ද සමරනායක ද ඉහත තරගාවලිය සඳහා සහභාගී වේ.

කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් වන දුලංජලී රණසිංහ 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියානු තරගාවලියේ දී උස පැනීම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාවකි.  

හෂිනි ප්‍රබෝදා බාලසූරිය තුන්පිම්ම ඉසව්වේ ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු 20 දෙනා අතර සිටීමත්, පසුගිය අප්‍රේල් මස නිමාවට පත් වූ  ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 13.20 දක්ෂතාවයක් දක්වමින් මෙම ඉසව්වේ නව වාර්තාවකට ද හිමිකම් කීම සුවිශේෂී වේ.

‍8 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙසත් පුහුණුකරු ලෙසත් කටයුතු කරන්නේ අශෝක ජයසුන්දර මහතා ය.

මෙම තරගාවලිය පිළිබඳ අදහස දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර මහතා,

“ශ්‍රී ලංකාව මේ තරගාවලියට සහභාගී වෙන්නේ පළමු වරට. ඒ වගේම මේ තරගාවලියේ දී ඉතා හොඳ තරගකාරී ක්‍රීඩා රටාවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දැක ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා හොඳ දක්ෂතා අතර ඉන්න නිසා බලාපොරොත්තුවක් තිබෙනවා හොඳ තරගයක් දෙයි කියලා.”

මේ සඳහා සහභාගී වන කණ්ඩායම:

  • අරවින්ද සමරනායක (මීටර් 400 කඩුලු)
  • ග්‍රේෂන් ධනංජය ( දුර පැනීම)
  • ඉෂාර සඳරුවන් (රිටි පැනීම)
  • මොහොමඩ් අශ්රෆ් ( මීටර් 100)
  • අතීත කරුණාසිංහ ( තුන්පිම්ම)
  • එච්. එම්. එස්. කුමාර (මීටර් 800)
  • දුලංජලී රණසිංහ (උස පැනීම),
  • හෂිනි ප්‍රබෝදා බාලසූරි ( තුන්පිම්ම).

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<