ජයග්‍රහණ නියඟයට තිත තබන්නට ආනන්ද හොකී කණ්ඩායමට හැකි වෙයි ද?

261

දිවයිනේ පැරණිතම පාසල් හොකී තරගාවලියක් වන ආනන්ද – නාලන්ද මහා හොකී තරගාවලියේ 17 වන අදියර එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් තරගාවලි හයම ජය ගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය සමත් වුනත් ඒ සියලු අවස්ථාවල නාලන්දා කණ්ඩායමට පහසුවෙන් ජය ගැනීමට ආනන්ද ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත. පසුගිය වසරත් අවාසනාවන්ත ලෙස පරාජයෙන් අවසන් වුනත් නැති වූ වාසනාව හා ජයග්‍රහණයේ ගෞරවය යලි සොයා යන්නට ආනන්ද විද්‍යාලයේ හොකී කණ්ඩායම දැඩි අධිෂ්ඨානයෙන් පසුවේ.

අඛණ්ඩව හත්වැනි ජයත් සොයා යන්නට නාලන්දා හොකී කණ්ඩායම සූදානම්

දිවයිනේ පැරණිතම පාසල් හොකී තරගාවලියක් වන ආනන්ද – නාලන්ද මහා හොකී සංග්‍රාමයේ 17…

තරගාවලියේ අතීතය

1990 වසරේ ආරම්භ වූ ආනන්ද – නාලන්ද මහා හොකී සංග්‍රාමය ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මහා හොකී තරගය ලෙස සඳහන් වේ. එවකට ආනන්ද කණ්ඩායමේ නායකයා වූ තුෂාර ජයසිංහ හා නාලන්දා කණ්ඩායමේ නායක දිනේෂ් වික්‍රමසිංහ යන ක්‍රීඩකයන්ගේ නායකත්වය යටතේ පළමු ආනන්ද – නාලන්ද හොකී තරගය පැවැත්විය. එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

ආනන්ද – නාලන්ද සුලෝහිත හොකී සංග්‍රාමයේ වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වී ඇත්තේ නාලන්දා විදුහලයි. කෙසේ වෙතත් සෑම අවස්ථාවකම පාහේ ආනන්ද ක්‍රීඩකයින් ද නාලන්දා ක්‍රීඩකයින්ට තියුණු සටනක් ලබා දී ඇති බව සඳහන්. අවසන් වරට ආනන්ද විදුහල මහා හොකී තරගයක් ජයග්‍රහණය කළේ 1998 වසරේ දී ය. ඔවුන් පළමු වරට මහා හොකී තරගයක් ජය ගත්තේ 1993 වසරේ දීයි.

කොළඹ නාලන්දා විද්‍යාල හොකී කණ්ඩායම 1990, 1992, 1996,1997,1998, 2000, 2001 හා 2004 වර්ෂවල දී පැවැත්වූ සුලෝහිත හොකී තරග ජයග්‍රහණය කර ඇති අතර ආනන්ද විද්‍යාල කණ්ඩායම 1993, 1994, 1995 හා 1999 වර්ෂවල දී මෙම තරගය ජයගෙන ඇත. තරගාවලිය 2004න් පසුව 2015 දී  නැවත ආරම්භ වූ අතර 2015, 2016, 2017 වසරවල ජයග්‍රහණය හිමිකර ගැනීමට නාලන්දා ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ වන විට ආනන්ද විද්‍යාලය සිව්වතාවක් මහා හොකී තරගය ජයගෙන ඇති අතර පස්වැනි වතාවටත් කුසලානය ආනන්දයට රැගෙන යෑම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණයි.

පසුගිය වසර

පසුගිය වසරේ දී අඛණ්ඩව සයවැනි වරටත් මහා හොකී තරගය ජය ගන්නට නාලන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය. කෙසේ වෙතත් ආනන්ද ක්‍රීඩකයින් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුනේ තරගයේ පළමු ගෝලය වාර්තා කරමිනි. නියමිත කාලය අවසානයේ තරගය ගෝල 1-1ක් ලෙස සමවී තිබූ අතර අවාසනාවන්ත ලෙස දඬුවම් පහර 4-5ක් ලෙස ආනන්දයට ජය අහිමි වුනේ ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල බිඳ දමමිනි.  

මෙවර කණ්ඩායම

ආනන්ද විද්‍යාලයේම කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන ලුශාන්ත පෙරේරා මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ආනන්ද විද්‍යාලයීය පළමු පෙළ හොකී කණ්ඩායම මෙවර සංග්‍රාම භූමියට පිවිසීමට නියමිතයි. අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ඔහු ආනන්ද කණ්ඩායමට මහත් සවියක් වනු ඇත.

“අපේම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් තමයි අපේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ, ඔහු අපිත් සමඟින් බොහොම සමීපව කටයුතු කරනවා, ගිය අවුරුද්දේ ශූරතාවය අපිට දිනා ගන්න හැකි වෙයි කියලා හිතුවා, නමුත් අපිට වාසනාව තිබුණේ නැහැ.” ThePapare.com වෙත අදහස් දක්වමින් ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ හොකී නායක කෝලිය ජයකොඩි අදහස් පළ කළා.

‘Center Half’ ස්ථානයේ වසර හතරක පළපුරුද්ද සමඟින් නායකත්වයේ වගකීම ද දරන කෝලිය මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු නොඅනුමානය. ‘Right Extreme’ ස්ථානයේ ක්‍රීඩා කරන කණ්ඩායමේ උප නායක පසිඳු ජයකොඩි ද මෙවර කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන අතර ඔහුට මනා සහයක් දෙමින් සනුල් සේනාරත්න තෙවන වසර සඳහාත් ‘Left Extreme’ ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත. සිව්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන හරින්සු බණ්ඩාර ගෝල රකින්නාගේ භූමිකාවට පණ පොවන්නේ කණ්ඩායමේ බරපතළම වගකීම තමන්ගේ අතට ගනිමිනි. නිරෝධ ලියනාරච්චි හා දිලුෂ මිහිරංග ඉදිරිපෙළ ක්‍රීඩකයින් ලෙස කණ්ඩායම සවිමත් කරන්නේ නායකයාට අනගි සහයක් ලබා දෙමිනි.

ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ක්‍රීඩක සංකලනයකින් නාලන්දා ක්‍රීඩකයින්ට හොඳ තරගයක් ලබා දීම තමන් අරමුණ බව ආනන්ද නායක කෝලිය ප්‍රකාශ කළා. “ගිය අවුරුද්දේ අපිට ජය ගන්න බැරි වුනා, අපිට හොඳ කණ්ඩායමක් සිටිනවා, මේ වසරේ දී නම් කොහොම හරි ශූරතාවය ජය ගන්න තමයි බලාපොරොත්තුව.”

අවසන් වශයෙන්

නාලන්ද ක්‍රීඩකයෝ සිය අපරාජිත වාර්තාව දිගටම පවත්වා ගැනීමට උත්සහ කරද්දී, ආනන්ද ක්‍රීඩකයෝ 1999 වසරට පසු සිය මංගල ජය සෙවීමට ප්‍රබල සටනක නිරත වනු ඇත. ජය පරාජය කාට හිමි වුනත් සුපිරි කණ්ඩායම් දෙකක් එකිනෙකා ගැටෙන මේ තරගය ප්‍රේක්ෂකයින්ගේ ඇසට නම් රසඳුනක් වනු ඇත.

17 වන ආනන්ද නාලන්ද මහා හොකී සංග්‍රාමයේ සියලු තොරතුරු සහ තරගයේ සජීව විකාශය ඔක්තෝබර් 27 වැනිදා සවස ThePapare.com තුලින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<