ලණු පැදුරු මතින් ඇරඹි රන් සටන් සංග්‍රාමයේ අභිමානවත් 69 වැන්නට පෙර

367

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන “69 වැනි මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 15 සහ 16 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සත්කාරක වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම මෙවර මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ තෙවැනි වසරේ වර්ණලාභී සුවත් මෙන්ඩිස් වෙත ය. ඔහුගේ සහායකයා වන්නේ ප්‍රින්ස් ප්‍රනාන්දු ය. සංචාරක සාන්ත සෙබස්තියන් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ තෙවැනි වසරේ වර්ණලාභී නුවනිඳු ප්‍රනාන්දු වෙත පැවරී ඇත. කණ්ඩායමේ උප නායකයා වන්නේ ටෂික පෙරේරා ය.

රිච්මන්ඩ් සහ දෙවටගහවත්ත කඳු අතර ඇවිලෙන ආදරවන්තයන්ගේ සටන

දකුණුලක ප්‍රමුඛ වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන ගාල්ල …..

වේල්ස් කුමරුවන් මෙවර රන් සටනට පිවිසෙන්නේ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී තරග 15කට ක්‍රීඩා කරමින් වන අතර සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තරග 20ක අත්දැකීම් සමඟින් මෙවර රන් සටනට පිවිසෙති. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ගේ දක්ෂතා සසඳා බැලීමේ දී දෙවිදුහල් හී දක්ෂතා කරට කර තත්ත්වයේ පැවතෙන බැවින් මෙවර තරගය වඩාත් සටන්කාමී වන ඇතැයි විශ්වාස කළ හැකි ය.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ගේ දක්ෂතා අතුරින් ඉහළින්ම වැජඹෙන්නේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දුනිත් ජයතුංග ය. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000 සීමාව පසු කර ඇත. පන්දු යවන්නන් අතුරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට වේල්ස් කුමාර විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන කෞමාල් නානායක්කාර සමත්ව ඇත. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 100ක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ද වන්නේය.

ඊට අමතරව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් විනුජ රණසිංහ කඩුලු 65ක් ලබා ගනිමින් ද වේල්ස් කුමරුවන්ගේ නායක සුවත් මෙන්ඩිස් ලකුණු 650ක් ලබා ගනිමින් ද කණ්ඩායම් දෙක වෙනුවෙන් දක්ෂතා දක්වා මෙවර රන් සටනේ කැපී පෙනෙන දක්ෂතා දක්වතැයි අපේක්ෂාවෙන් පසු වෙති.

මොරටු රන් සටන් ඉතිහාසය

සංගීතයත් ක්‍රිකට් ක්‍රීඩාවත් එකට එක් කරන මොරටු රන් සටන් ඉතිහාසයේ ආරම්භක අවදියේ දී මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය හැදින්වෙන්නේ මොරටුවේ ලණු පැදුරු ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් තරගය ලෙසිනි. ඊට හේතු වන්නේ කොළඹ සුපිරි පාසල් තණතිලිමත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ ද මොරටුව සතුව එවන් පහසුකමක් නොවීම හේතුවෙනි. නමුත් පසුකාලීනව මෙම තරගමාලාව ද ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩකයන් බිහිකරන වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ලෙසින් ප්‍රචලිත විය.

මොරටු මහා රන් සටන් ඉතිහාසය ආරම්භ වන්නේ 1933 වසරේ දී ය. මංගල මහා තරගයේ වේල්ස් කුමාර විද්‍යාලය ඩන්කන් ප්‍රනාන්දු විසින් මෙහෙයවූ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම එව්. ජී. එන්. ද සිල්වා විසින් මෙහෙයවමින් තරගමාලාවේ පළමු නායකයන් ලෙසින් ඉතිහාසයට එක් වී ඇත.

තරග මාලාවේ මංගල ජයග්‍රාහකයන් ලෙසින් ඉතිහාසයේ ලියැවී ඇත්තේ වේල්ස් කුමරුවන් ය. ඒ 1935 වසරේ දී අර්නි ද සිල්වාගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණයයි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරග ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නේ 1962 වසරේ දී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ය. තරග ඉතිහාසය වසර 86ක් වූව ද 1938 වසරේ සිට 1953 දක්වා කාලය තුළ දී ද 1969 සහ 1970 වසර ද්විත්වයේ දී ද මොරටු රන් සටන අක්‍රීයව පැවැතිණි.

13 වැනි රන් මහා සටනේ නායකයින් අදහස් දක්වයි

කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ ඩී. එස්. ….

මොරටු රන් සටන් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් සිටින්නේ වේල්ස් කුමරුවන් ය. ඔවුන් මේ වන විට හය වතාවක් රන් කුසලානය තමන් සතු කර ගෙන ඇත. සාන්ත සෙබස්තියන් විද්‍යාලය මොරටු රන් කුසලානය දිනා ඇත්තේ තෙවතාවක් පමණි.

එසේ වූව ද මොරටු රන් සටන් ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රාහකයන් ලෙසින් ගෞරවය දිනා ඇත්තේ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ ය. ඒ 2011 වසරේ සනිත ද මෙල්ගේ නායකත්වයෙන් යුතුව ලැබූ ජයග්‍රහණයයි. තරගමාලාවේ වැඩි ජයග්‍රහණ ලැබූව ද වේල්ස් කුමරුවන්ට වසර 42කින් මෙපිට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වී නොමැත. ඔවුන් අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 1977 වසරේ ප්‍රෙම්ලාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතුව ලැබූ ජයග්‍රහණයයි.

තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් ලබා ගත් පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතර පවතින්නේ 1991 දී වේල්ස් කුමාර විද්‍යාලයේ නිලන්ත බෝපගේ විසින් නොදැවී ලබා ගත් ලකුණු 179 යි. එකී වාර්තාවේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉදිරියේ ලියැවී ඇත්තේ 1966 වසරේ දී ජෙරල්ඩ් මෙන්ඩිස් විසින් ලබාගත් ලකුණු 148යි. විශිෂ්ටතම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ 2009 දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අනුක් ද අල්විස් විසින් ලකුණු 53කට කඩුලු 8ක් දවා ගනිමින් පෑ දක්ෂතාව සටන් වෙද්දී වේල්ස් කුමරුවන් ඉදිරියේ සුරංග විජේනායක ලකුණු 33කට ලබා ගත් කඩුලු 7 ඉතිහාසයට ඉතිහාසයට එක් වී ඇත. රන් සටන් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් තුන් ඉරියව්වෙන් පෑ දක්ෂතාව ලෙසින් සටහන්ව ඇත්තේ සරත් ප්‍රනාන්දු විසින් ඉනිම් දෙකේ දී ලකුණු 103ක් ලබා ගැනීම සහ ලකුණු 66කට ලබා ගත් කඩුලු 10 ය.

මොරටු රන් සටන් ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමක දී රැස් කරන ලද වැඩිම ලකුණු  සංඛ්‍යාව වන්නේ වේල්ස් කුමරුවන් විසින් 1958 වසරේ දී කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 415 ය. එකී වාර්තාව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් 1966 දී කඩුලු 7කට ලබා ගත් ලකුණු 321 ලෙසින් සටහන්ව ඇත. අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත්වල සටහන් ව ඇත්තේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය 1937 වසරේ දී ලකුණු 36කට දැවී යෑම ය.  ප්‍රතිවාදී වේල්ස් කුමරුවන් ඉදිරියේ එය සටහන්ව ඇත්තේ 1984 දී ලැබූ ලකුණු 67යි.

යුද්ධය, භීතිය සහ ක්‍රිකට්

යුද්ධය කියන්නේ අපි බොහෝමයක් දෙනාට ….

මොරටු රන් සටන් ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම පසු කාලයේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ අතර ඒ අතුරින් දුලිප් මෙන්ඩිස්, ප්‍රසන්න ජයවර්ධන, අමල් සිල්වා, ඩී. එස්. ද සිල්වා, ග්‍රාන්විල් ද සිල්වා, රොජර් විජේසූරිය, චමින්ද මෙන්ඩිස්, රොමේෂ් කළුවිතාරණ, අමිල අපෝන්සු, ෂෙහාන් ජයසූරිය, ලහිරු තිරිමාන්න සහ කුසල් මෙන්ඩිස් ඒ අතරින් ප්‍රමුඛව කියැවේ.

මේ අතීත මතකයක් සමඟින් මේ සති අන්තය මොරටු පුරවරය ක්‍රිකට් උන්මාදයෙන් ඇවිලෙන්නේ ජයග්‍රහණය කුමන කණ්ඩායමක් සතුවේ දැයි යන අවිනිශ්චිත විනිශ්චයන් කා තුළත් රඳවමිනි. එවන් තරගයක යෙදෙන වේල්ස් කුමරුවන්ටත් සාන්ත සෙබස්තියන්වරුන්ටත් ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් එක් කරමු.

වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම;

සුවත් මෙන්ඩිස් (නායක), ප්‍රින්ස් ප්‍රනාන්දු (උප නායක), කෞමාල් නානායක්කාර, ලක්ෂාන් පෙරේරා, පසිඳු පැතුම්, විනුජ රාන්පෝල්, නඳුක ප්‍රනාන්දු, තාරුක ප්‍රනාන්දු, දේවක පීරිස්, කාවින්ද ද මෙල්, තරිඳු අමරසිංහ, රශේන් ප්‍රනාන්දු, ඔමේෂ් මෙන්ඩිස්, දිනුර ප්‍රනාන්දු, අනුප හේෂාන්, තනුජ් කවිශාන්, කුන්චන පෙරේරා

කල්ප ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු) අසේල පෙරේරා (සහාය පුහුණුකරු) කසුන් දේවප්‍රිය (ක්‍රිකට් භාර ආචාර්ය)

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම;

නුවනිඳු ප්‍රනාන්දු (නායක), ටෂික පෙරේරා (උප නායක), කළණ සංදීප, සුකිත ප්‍රසන්න, නදීර ප්‍රනාන්දු, දුනිත් ජයතුංග, දුලාර ප්‍රනාන්දු, විනුජ රණසිංහ, නිශිත අබිලාශ්, ප්‍රවීන් කුරේ, ලහිරු ප්‍රනාන්දු, රුමේෂ් මෙන්ඩිස්, බිහඟ මෙන්ඩිස්, සසික පෙරේරා, ජනිශ්ක පෙරේරා, තඩුල ද සිල්වා, යසාන් අවිශ්ක

ඉමාල් බොතේජු (ප්‍රධාන පුහුණුකරු) සරත් පෙරේරා (සහාය පුහුණුකරු) ෆ්‍රෑන්ක් කුරේ (ක්‍රිකට් භාර ආචර්ය)

දෙවිදුහල් අතර පැවැත්වෙන 34 වැනි වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 17 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය. එම තරගය ThePapare.com තුලින් සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම් අතර රන් මහා සටනේ සියලු තරග වාර්තා, ඡායාරූප ThePapare.com තුලින් ඔබ වෙත. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<