පළමු ඉනිමේ ජය වේල්ස් කුමරුවන්ට; තරගය ජය-පැරදුමෙන් තොරයි

127

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 68 වන වරට පැවති මොරටු රන් මහා සටන අද (10) මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ වේල්ස් කුමර විද්‍යාලය තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කරමින් සමස්ත තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වෙමිනි.

පළමු දිනය අවසානයේ වේල්ස් කුමරුවන් පෙරමුණේ

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 68 වන වරට පැවැත්වෙන මොරටු

දෙවන දිනය සඳහා අද උදෑසන තරගය ආරම්භ වූයේ වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම, සාන්ත සෙබස්තියන් පළමු ඉනිමට වඩා ලකුණු 83ක් පසුපසින් සිටිමිනි. ඒ අනුව අද දිනයේ පළමු පන්දුවාරය යොමු කිරීමේ වගකීම වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන ප්‍රවීන් ජයවික්‍රම හට පැවරුණු අතර ඔහු දිනයේ යොමු කළ පළමු පන්දුවෙන්ම ලකුණු 30ක් ලබා සිටි සඳුන් ප්‍රනාන්දු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් දිනයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් විය.

අනතුරුව උපනායක අවිඳු ප්‍රනාන්දු සමඟින් පිටියේ එක්වූ විනුජ රාම්පෝල් 5 වන කඩුල්ල සඳහා ලකුණු 29ක සබඳතාවක් ගොඩනැඟූ අතර වේල්ස් කුමාර ලකුණු පුවරුව ලකුණු 105ක් ලෙස දැක්වෙද්දී විනුජව දවාගත් නුවනිඳු ප්‍රනාන්දු එම සබඳතාව බිඳ දමන්නට සමත් විය. පසුව අවිඳු සමඟින් පිටියේ එක්වූයේ සනෝජ් දර්ශික යි.

එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිඳු ප්‍රනාන්දු ලකුණු 40ක් ලබා සිටිය දී ඉතා දර්ශනීය 6 පහරවල් දෙකක් එල්ල කරමින් සිය අර්ධ ශතකය කරා ළඟා වූයේ සිය කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණය වෙත සමීප කරමිනි. කෙසේ නමුත් ලකුණු 56ක් ලබා සිටිය දී ඔහුව දවා ගන්නට විනුජ රණසිංහ සමත් වූ අතර ඉන් අනතුරුව කඩුල්ලට පැමිණි නායක සවිඳු පීරිස් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරය බලා හරවා යවන්නාට ප්‍රවීන් සමත් වූයේ වේල්ස් කුමාර ලකුණු පුවරුව ලකුණු 133ක් ලෙස දැක්වෙද්දී ඔවුන්ගේ කඩුලු 7ක් දවා ගනිමින් ඔවුන්ව තරමක් අසීරු තත්වයකට ඇද දමමිනි.

නමුත් ඉන් අනතුරුව සනෝජ් සමඟින් පිටියේ එක්වූ දේවක පීරිස් 8 වන කඩුල්ල සඳහා විශිෂ්ට සබඳතාවයක් එක්කරන්නට සමත් වූයේ වේල්ස් කුමාර විද්‍යාලයට තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ද හිමි කර දෙමිනි. කිසිදු පීඩනයකින් තොරව පන්දුවට පහර දුන් ඔවුන් දෙදෙනා හොඳින් පැති හුවමාරු කර ගනිමින්, දර්ශනීය පහරවල් එල්ල කරමින් වේල්ස් කුමාර ඉනිම ගොඩනඟන්නට සමත් විය. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සනෝජ් දර්ශික අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් නොදැවී ලකුණු 59ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර අනෙක් පසින් දේවක පීරිස් ද නොදැවී ලකුණු 40ක් වාර්තා කර ගන්නට සමත් විය. ඒ අනුව ඔවුන් දෙදෙනා 8 වන කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 94ක අති විශිෂ්ට සබඳතාවයක් එක්කරන්නට සමත් විය. අනතුරුව ලකුණු 227ක් ලබා සිටිය දී වේල්ස් කුමරුවන් සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සෙබස්තියානු පළමු ඉනිමට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් පසු විය.

සෙබස්තියානු දෙවන ඉනිම සඳහා ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස සුපුරුදු පරිදි ෂනෙල් ප්‍රනාන්දු සහ නිෂිත අභිලාෂ් පිටියට පැමිණි අතර වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් එහි දී පළමු පන්දුවාරය යොමු කළේ නායක සවිඳු පීරිස් ය.

එම පන්දුවාරයේ දී ම සවිඳු විසින් ෂනෙල් ප්‍රනාන්දු ලකුණු 02ක් පමණක් ලබා සිටිය දී නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට සමත් වූයේ වේල්ස් කුමාර විද්‍යාලයට මෙවර තරගය ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව තීව්‍ර කරමිනි. කෙසේ නමුත් එහි දී නිෂිත සමඟින් පිටියේ එක්වූ නුවනිඳු ප්‍රනාන්දු ඔවුන්ගේ දෙවන කඩුල්ල සඳහා ලකුණු 69ක අගනා සබඳතාවක් ගොඩනඟමින් වේල්ස් කුමරුවන්ට තරගය ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාවන් අහුරාලන්නට සමත් විය. එහි දී නිෂිත විසින් පහසු උඩපන්දු දෙකක් ලබා දුන්නත් වේල්ස් කුමරුවන්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් එම අවස්ථාවන් දෙකම ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

මොරටුවේ ක්‍රිකට් උන්මාදය – මොරටු මහා රන් සටන

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස මොරටුව හැඳින්වීම ඉතාම කාලෝචිත ය,

අනතුරුව ලකුණු 20ක් ලබා සිටි නිෂිතගේ කඩුල්ල දවා ගන්නට සුවත් මෙන්ඩිස් සමත් වූ අතර සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 96ක් ලෙස දැක්වෙද්දී ඔවුන්ගේ තෙවන කඩුල්ල ලෙස ලකුණු 06ක් ලබා සිටි මලින්ත පීරිස් දවා ගන්නට කෞමාල් නානායක්කාර සමත් විය. අනතුරුව නුවනිඳු සමඟින් පිටියේ එක්වූයේ නායක තරුෂ ප්‍රනාන්දු ය. වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ නුවනිඳු සිය අත්දැකීම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වේල්ස් කුමරුවන්ගෙන් තරගයේ ජයග්‍රහණය උදුරා ගන්නට සමත් විය. ඒ අනුව ලකුණු 82ක් ලබා සිටි ඔහු ශතකය පෙනෙන මානයේ දී දැවී ගියේ කෞමාල් යොමු කළ පන්දුවක් හමුවේ ය.

ඉන් අනතුරුව සෙබස්තියානුවන්ගේ තවත් කඩුලු 2ක් දවා ගන්නට වේල්ස් කුමරුවන් සමත් වුවත් ඒ වන විටත් තරගය ජය-පරාජයෙන් තොරව නිමා වන තත්වයකට පැමිණ තිබුණ. ඒ අනුව දිනය අවසානයේ තරගය ජය-පාරාජයෙන් තොරව නිමා වන විට සාන්ත සෙබස්තියන් දෙවන ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 152ක් ලෙස දැක්වුණි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු ඉනිම): 159/10 – ජනිෂ්ක පෙරේරා 32, නිෂිත අභිලාෂ් 28, ෂනෙල් ප්‍රනාන්දු 22, ප්‍රවීන් කුරේ 22: කෞමාල් නානායක්කාර 6/45, සවිඳු පීරිස් 4/49

වේල්ස් කුමාර විද්‍යාලය (පළමු ඉනිම): 227/7 dec – සනෝජ් දර්ශිකා 59*, අවිඳු ප්‍රනාන්දු 56*, දේවක පීරිස් 40* : ටෂික් පෙරේරා 2/33, ප්‍රවීන් ජයවික්‍රම 2/61

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (දෙවන ඉනිම): 152/6 – නුවනිඳු ප්‍රනාන්දු 82, තරුෂ ප්‍රනාන්දු 33, නිෂිත අභිලාෂ් 20: කෞමාල් නානායක්කාර 49/2  

සම්මාන

  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – නුවනිඳු ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • හොඳම පිතිකරුවා – අවිඳු ප්‍රනාන්දු (වේල්ස් කුමාර විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – කෞමාල් නානායක්කාර (වේල්ස් කුමාර විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – සඳුන් ප්‍රනාන්දු (වේල්ස් කුමාර විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<