ශ්‍රී ලංකාව, තායිලන්තය හමුවේ ජය ලබයි

212
Photo credit: Asian Hockey Federation

හොංකොං හිදී පැවැත්වෙන පස්වන ආසියානු හොකී සම්මේලන කුසලානයේ තවත් කණ්ඩායම් වටයේ තරඟයකදී 2-0ක් ලෙස තායිලන්තය පරදවා ජය ලැබීමට ශ්‍රී ලංකා හොකී කණ්ඩායම සමත් විය. තරඟය පැවැත්වූයේ ඊයේ (24) කිංග්ස් පාක් හොකී ක්‍රීඩාංගනයේදීය.

පසුගිය ලිපි: උස්බෙකිස්තානයට ශ්‍රී ලංකාවෙන් ගුටි බැට

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟයේ 57 සහ 70 යන මිනිත්තුවලදී ගෝල වාර්තා කළේ පිළිවෙලින් ඉශංක දොරණෑගල සහ ශාමික ගුණවර්ධන ය.

ප්‍රථම අර්ධයේදී දෙපිලම කරට කර ක්‍රීඩා කළ නමුත් ගෝල ලබා ගැනීමේ අවස්ථාව දෙපිලටම හිමිවූයේ නැත.

නමුත් දෙවන වටයට සාර්ථකව අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ පාලනය තමා වෙත නතු කරගත්තේය.

කොයි කලෙකත් පැවති හොකී තරඟාවලි වලදී තායිලන්ත කණ්ඩායම වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මේ තරඟයේ ප්‍රථම ගෝලය වාර්තා වූයේ ඉශංක දොරණෑගලගේ පිත්තෙනි. තරඟයේ 57වන මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙත ලැබුණු දඬුවම් කෝණ අවස්ථාවකදී එය වාර්තා විය.

තරඟයේ අවසාන මිනිත්තුව දක්වාම තරඟකාරී බව අත්නොහල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා වූයේ තරඟයේ අවසන් (70) මිනිත්තුවේදීය. තරඟාවලිය තුළ එතෙක් විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කරමින් ගෝල 2ක් ලබාගෙන සිටි ශාමික ගුණවර්ධන, තරඟාවලියේ තම තෙවන ගෝලය වාර්තා කළේ තරඟයේ ජයග්‍රහණය ගැන මඳකුදු හෝ අවිශ්වාසයක් තිබුණි නම් ශ්‍රී ලංකාව වෙතින් එය මකා දමමිනි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තමා සහභාගී වූ තරඟ තුනෙන් දෙකක් ජයගෙන එකක් සමව අවසන් කරමින් තම කාණ්ඩයේ මුල්තැන පසුවෙයි. අනෙක් කාණ්ඩයේ මුල්තැන හිමිව ඇත්තේ බංගලාදේශයටය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට