කෙස්ගහෙන් මගහැරුණු තවත් ශ්‍රී ලංකා ජයග්‍රහණයක්

212
Photo credit: Asian Hockey Federation

හොංකොං හිදී පැවැත්වෙන ආසියානු හොකී සම්මේලන කුසලාන තරඟාවලියේ තවත් තරඟයකදී, ශ්‍රී ලංකාව අභිමුව පැවති ජයග්‍රහණයක් වළකාලන්නට, සිංගප්පූරු කණ්ඩායම විසින් එල්ල කළ අවසන් ගෝලයකට හැකිවිය. එමනිසා ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර පැවති කණ්ඩායම් වටයේ තරඟය නිමාවූයේ 3-3ක් ලෙස සම මට්ටමකිනි.

පසුගිය ලිපි: උස්බෙකිස්තානයට ශ්‍රී ලංකාවෙන් ගුටි බැට

68වන මිනිත්තුව තෙක් තරඟය 3-2ක් ලෙස ශ්‍රී ලංකාව සතුව පැවති අතර, ගොත් කයි යොන්ග් වාර්තා කළ ගෝලයත් සමඟින් තත්වය වෙනස් විය. තරඟයේ ලකුණු ලබා ගැනීම ආරම්භ වූයේ සිංගප්පූරුවේ ඊශ්වර්පාල් සිං අතින් දඬුවම් කෝණ අවස්ථාවකදීය.

ඒ පරතරය සමකරන්නට මිනිත්තු 3ක් පමණක් වැය කළ ශ්‍රී ලංකාවේ තරංග ගුණවර්ධන, ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කළේය. පෙර තරඟයේදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ සඳරුවන් ප්‍රියංකර, නැවතත් සාර්ථක වෙමින් ශ්‍රී ලංකාවට දෙවැනි ගෝලයත් ලබා දුන්නේය.

සිංගප්පූරුවේ ෆස්රි ජයිලනි 46වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කිරීමත් සමඟින් පරතරය නැවතත් සම විය.

51වන මිනිත්තුවේදී ශ්‍රී ලංකාව නැවතත් 3-2ක් ලෙස ඉදිරියට ගෙනයන්නට සමත් වූයේ ලහිරු පන්තීගේ ගෝලයක් සමඟිනි. පිට පිට දෙවන ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවට ඇතිව තිබූ බලාපොරොත්තුව වියැකුණේ තරඟයේ අවසන් භාගයේදී වාර්තා වූ ගෝලයත් සමඟයි.

Points Table

එක් ජයග්‍රහණයක් සහ එක් සම තරඟයක් සමඟින් ශ්‍රී ලංකාව තමා සහභාගී වන කාණ්ඩයේ මුල්තැන පසුවෙයි. 24වන දා තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව තරඟ බිමට පිවිසීමට නියමිත අතර අනෙක් කාණ්ඩයේ මුල්තැන බංගලාදේශයට හිමිව ඇති අතර එහි දෙවන ස්ථානයේ පසුවන්නේ සත්කාරක හොංකොං දේශයයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට