මෙවර සහෝදරයින්ගේ සංග්‍රාමයේ පළමු ඉනිම පන්දුවාර 60 සීමා වෙයි

436

පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ තවත් උත්කර්ෂවත් ක්‍රිකට් තරගාවලියක් වන කොළඹ තර්ස්ටන් විද්‍යාලයත්, ඉසිපතන විද්‍යාලයත් 55 වන වරටත් සංවිධානය කරන වාර්ෂික සහෝදරයන්ගේ මහා ක්‍රිකට් ගැටුම මාර්තු පෙබරවාරි 23 සහ 24 කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

>> මලියදේව විද්‍යාලයේ සුපුන් ද්විත්ව ශතකයකට

මේ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ බී. ආර්. සී. ශාලාවේ දී ඊයේ (13) පස්වරුවේ දී පැවති අතර මේ සඳහා පාසල් දෙකම නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, ආදී ශිෂ්‍ය සංගම් නියෝජිතයින්,දෙපිලේ නායකයින් ඇතුළු පිරිසක් එක්වී  සිටියහ.

දෙපිලේම පාසල් විදුහල්පතිවරු මේ අවස්ථාවේ අදහස් දැක්වූ අතර මෙහි දී තම පාසලේ දක්ෂතා ගැන දෙපිලේම විදුහල්පතිවරුන් සතුටට පත්වන බවත් ප්‍රකාශ කළේය.

මෙහි දී අදහස් දැක්වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. රත්නසේකර මහත්මිය ප්‍රකාශ කර සිටියේ අනෙක් මහා ක්‍රිකට් තරග වෙත ආදර්ශයක් වෙමින් තම තරගය සහෝදරයින්ගේ සටන ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

මීට අමතරව මෙවර තරගයේ පෙර වසරට වඩා යම් වෙනස්කමක් දක්නට ලැබීම විශේෂත්වයක්. එනම් මෙවර තරගයේ පළමු ඉනිම පන්දුවාර 60කට සීමා වීමයි. නමුත් දෙවැනි ඉනිම සාමාන්‍ය ආකාරයට පැවැත්වීමට සූදානම් කර ඇත.

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩා කමිටුව නියෝජනය කරන සුරෝෂ ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ තරගයේ උණුසුම් බව තවත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ වෙනස්කම සිදු කළ බවයි.

පසුගිය තරග වාරයේ ඉහළම දක්ෂතා අතර සිටි තර්ස්ටන් විද්‍යාලය මෙවර තරගාවලියේ ද තරග 13ක දී පූර්ණ තරග ජයග්‍රහණ 3ක් ද, පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් ද ලබාගෙන ඇත. තවද ශක්තිමත් පිතිකරණයකින් සමන්විත තර්ස්ටන් විදුහල වෙනුවෙන් සහන ප්‍රභාෂ් ලකුණු 700 සීමාව අතික්‍රමණය කරමින් ද, පන්දු යැවීම වෙනුවෙන් සඳරු ඩයස් කඩුලු 40 සීමාව පසු කරමින් ද මෙවර සංග්‍රාමයට එක්වීම විශේෂත්වයක්.

කොළඹ ඉසිපතන විද්‍යාලය මෙම තරග වාරයේ දී තරග 11කට මුහුණ දෙමින් එක් පූර්ණ තරග ජයග්‍රහණයක් ද සමඟින් තරග 6 පළමු ඉනිමේ ජයග්‍රහණ ලබාගෙන ඇත. තවද ජාතික සංචිතය නියෝජන කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඔවුන් සතු වීම කැපී පෙනිණ.  

මෙවර සහෝදරයින්ගේ සංග්‍රාමය සම්බන්ධයෙන් දෙපිලේම නායකයින් ThePapare.com වෙත අදහස් දැක්විය.

“අත්දැකීම්වලින් පරිපූර්ණ කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ නිසා ඉසිපතනයට හොඳ සටනක් දෙන්න අපි ලෑස්තියි.”  – තර්ස්ටන් විද්‍යාලය නායක නිපුන් ලක්ෂාන්

“අපට මේ පාර ඉන්නේ යොවුන් කණ්ඩායමක් එ්ත් 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන මාත් ඇතුළුව ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ නිසා තර්ස්ටන් විද්‍යාලයේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට අපි ලෑස්තියි.”  – ඉසිපතන විද්‍යාලය නායක අයන සිරිවර්ධන

කුසල් සංචිතයෙන් ඉවතට; කුසල් සංචිතයට

බංග්ලාදේශය සමඟින් ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා..

මහා ක්‍රිකට් තරගයට අමතරව දෙවිදුහල් අතර ගුරු තරගයක් ද, අනධ්‍යයන කාර්ය මණ්ඩල අතර තරගයක් ද, ශිෂ්‍ය නායක තරගයත් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මොවුන්ගේ වාර්ෂික සීමිත පන්දුවාර තරගය මාර්තු 4  දින පී. සරා. පිටියේ දීත්, පන්දුවාර 20 තරගය තර්ස්ටන් පිටියේ දීත් පැවැත්වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් උන්මාදයේ සහෝදරයින්ගේ සටන ද සජීව ලෙස ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<