උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ලක්මවට දායාද කළ අම්බලන්ගොඩ දිස්ත්‍රික්කයේ ප්‍රබලතම පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලය අතර පැවති 50 වැනි “සුනිල සංග්‍රාමය”, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ අතර, එම තරගය අද (21) ජය පරාජයෙන් තොරව අවසන් විය.

දේවානන්දයේ සාර්ථකත්වයට ධර්මාශෝකය වැට කඩුලු බඳියි

ජාතික තලයට ක්‍රීඩකයින් බිහි කළ අම්බලන්ගොඩ දිස්ත්‍රික්කයේ ප්‍රබලතම පාසල් ද්විත්වයක් වන..

දෙවන දිනය වූ අද (21) දිනය සඳහා තරගය ආරම්භ කරන විට, තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවානන්ද විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 96ක් ලබාගෙන සිටියේය. ඒ වන විට දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් සාර්ථක ලකුණක් ලබා ගන්නා බවට පෙර නිමිති පහළ කරමින් සිටි පිතිකරුවෙකු වන, කවිඳු සොහාන් නොදැවී ලකුණු 35*ක් රැස්කරගෙන පිටියේ රැඳී සිටියේය.

පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ට ද එක සේ සහය දක්වන පිටියක් ලෙස හැඳින්විය හැකි ටිරෝන් තණතීරුව හොඳින් අධ්‍යයනය කර තම පිතිකරණය දියත් කළ කවිඳු, ධර්මාශෝක විද්‍යාලයේ පන්දු යවන්නන්ට පළමු දිනයේ සිටම හිසරදයක් වූ බව නම් නිසැකයි.

අවසන් කඩුලු 3 තුල එක් අන්තයක් දක්ෂ ලෙස කළමනාකරණය කරමින් ලකුණු 175ක් වැනි ලකුණක් වෙත තම කණ්ඩායම් ලකුණු පුවරුව ඉහළ නැංවූයේ, ධර්මාශෝක විද්‍යාලයට පහසුවෙන්ම ලබා ගැනීමට හැකිව තිබූ පළමු ඉනිමේ ජයග්‍රහණය ද, ඔවුන්ගෙන් උදුරා ගනිමිනි.

දේවානන්ද විද්‍යාලයට එවන් ලකුණකට යාමට මූලික අඩිතාලමක් සකස් කළ කවිඳු තම විද්‍යාලයේ පළමු ඉනිම අවසානයේ නොදැවී ලකුණු 83*ක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී දේවානන්ද විද්‍යාලයේ පළමු ඉනිමේ මුල්පෙළ කඩුලු වේගයෙන් උදුරා ගත් ලසිත් කුමාර, ලකුණු 21ක් තුල කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 16ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව තම දෙවන ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ධර්මාශෝක මුල්පෙළ  පිතිකරුවන් හට දස්කම් දක්වන්නට චතුර මිලාන් ඉඩ ලබා දුන්නේ නැත. නමුත් කසුන් මදුරංග මැදපෙළ හා පසුපෙළ එක් කර සවිමත් අඩිතාලමක් සකස් කළේ, ඔවුන්ගේ ඉනිම ලකුණු 94ක් දක්වා රැගෙන යාමට හැකිවන ලෙසයි.

කසුන් මදුරංග ලකුණු 28ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි. ලකුණු 78කින් පෙරමුණේ පසුවන අවස්ථාවක තම දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළ ධර්මාශෝක නායකයා පිළිතුරු දෙවන ඉනිම දියත් කිරීමට දේවානන්ද විද්‍යාලයට ඇරයුම් කළ ද, ඒ වන විට ඔවුන්ට ලකුණු 79ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කිරීමට හැකි මට්ටමේ පන්දුවාර ප්‍රමාණයක් ඉතිරිව තිබුණේ නැත. එවන් වූ මොහොතක දේවානන්ද විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් පළමු පන්දුවාර 4 තුල විදුලි වේගයෙන් ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට ධර්මාශෝක පන්දු යවන්නන්  සමත් විය.

50 වන සුනිල සංග්‍රාමය” ජය පරාජයෙන් තොරව අවසන් වුවද, එම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය සමත් විය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 56.2): කවීෂ් කුමාර 55, නිමේෂ් මෙන්ඩිස්  21, චතුර මිලාන් 2/37, සජින සංකල්ප 3/23, ඉමේශ් මධුශංක 2/19.

දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 175 (පන්දුවාර 72.3): කවිඳු සොහාන් 83*, සචිඳු උද්දීපන 29, ලසිත් කුමාර 5/21, දිනුක ඩිශාන් 2/30, කුශාන් නිමන්ත 2/47.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 7ක් දැවී ලකුණු 94 dec (පන්දුවාර 55): කසුන් මදුරංග 28, චතුර මිලාන් 4/35.

දේවානන්ද විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 2 (පන්දුවාර 4):

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට