දේවානන්දයේ සාර්ථකත්වයට ධර්මාශෝකය වැට කඩුලු බඳියි

432
50th Battle of the Blues

ජාතික තලයට ක්‍රීඩකයින් බිහි කළ අම්බලන්ගොඩ දිස්ත්‍රික්කයේ ප්‍රබලතම පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 50 වැනි “සුනිල සංග්‍රාමය” ඊයේ (20) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. ප්‍රථම දිනයේ දී පන්දු යවන්නන් තරගය පාලනය කරද්දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළ කවීෂ් කුමාරගේ දස්කම් ඊයේ දිනයේ කැපී පෙනුණි.

අම්බලන්ගොඩට ක්‍රීඩකයන් එපා ද?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ මේසපන්දු ක්‍රීඩාව පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන අම්බලන්ගොඩ නගරයේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වූ නගර සභා ක්‍රීඩාංගණය නවීකරණය කිරීම ඇරඹුණේ 2016 ඔක්තෝබර් මාසයේ දී යි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පාසල් මහා ක්‍රිකට් තරග වසරේ මුල් මාස තුනේ දී පවත්වා අවසන් වන නමුත් ශ්‍රී ලංකාවට අග්‍රගණ්‍ය ක්‍රීඩකයින් බිහි කිරීමට දායක වුනු මෙම පාසල් දෙකට ඒ සඳහා වසරෙන් අඩක් ගෙවෙන තුරුම බලා සිටින්නට සිදු විය. ඒ මෙම පාසල් දෙකම ඔවුන්ගේ 50 වැනි මහා ක්‍රිකට් තරගය මහා ඉහළින් තම ගම් ප්‍රදේශයේ දී ම පැවැත්වීමට සිහින දකිමින් සිටි නිසාවෙනි. කෙසේ වෙතත් අවසානයේ එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට සුදුසු ක්‍රීඩාංගණයක් නොමැති වීම හේතුවෙන් තරගය අම්බලන්ගොඩින් තරමක් දුර බැහැර මොරටුව ප්‍රදේශයට ගෙන යාමට ඔවුන්ට සිදුවිය.

ඊයේ දෙපාර්ශවය අතර කාසියේ වාසිය උරගා බැලීමේ දී එය දේවානන්ද විදුහල් නායක අමිඳු මෙන්ඩිස්ට ජයග්‍රහණය ගෙන ආ බැවින් ඔහුගේ ඉල්ලීමට අනුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදුවිය. කෙසේ වෙතත් ඔවුන්ගේ පළමු ඉනිම පුරාවට කඩුලු බිඳ වැටීම් සිදු වුන අතර කවීෂ් කුමාර රැස්කළ අර්ධ ශතකය නිසා යම් තරමක සැනසීමක් ධර්මාශෝක විද්‍යාලයට උරුම විය. ඔහුට යම් තරමක සහයක් ලබා දීමට ලකුණු 21ක් රැස්කළ නිමේෂ් මෙන්ඩිස් සමත් විය.

පිතිකරුවන්ට එතරම් වාසිදායක නොවූ තණතිල්ලේ මන්දගාමී ලකුණු රැස් කිරීමක් විදුහල් දෙකෙන්ම ප්‍රකට වුනු අතර ධර්මාශෝකය පන්දුවාර 57ක් අවසානයේ ලකුණු 159කට සියලු දෙනාම දැවී යද්දී පවත්වාගෙන ගොස් තිබුනේ ලකුණු 3කටත් ලකුණු අඩු වේගයකි. දේවානන්ද විද්‍යාලයේ බොහෝ පන්දු යවන්නන් සැලකිය යුතු තරමේ දක්ෂතා ප්‍රකට කිරීමට ඊයේ සමත් වූ අතර පිටියේ පන්දු රකින්නන්ගෙන් ද ඔවුන්ට හිමිවූයේ නොමද සහයෝගයකි.

අම්බලන්ගොඩ දේවානන්දය විද්‍යාලය වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ සජින සංකල්ප ලකුණු 23ක් පමණක් ලබා දී ධර්මාශෝක පිතිකරුවන් තිදෙනෙකුම දඩයම් කර ගැනීමට සමත් විය. මීට අමතරව චතුර මිලාන් සහ සහ ඉමේශ් මධුශංක අතරේ ඊයේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිමේ දී දේවානන්ද විද්‍යාලය හොඳින් පිතිකරණයේ යෙදෙමින් ප්‍රථම දිනයේ වැඩි වාසිය දිනා ගන්නා බවට සාක්ෂි සාධක බොහෝමයක් දැක ගන්නට ලැබුනත් ඒ සියල්ලම කණපිට හැරෙන්නේ දිනයේ අවසන් භාගයේ දී පන්දුව ලසිත් කුමාරට භාර කිරීමත් සමඟයි. සුපිරි පන්දු යැවීමක යෙදුණු ලසිත් කුමාර ලකුණු 3කට කඩුලු 3ක් දවා ගනිමින් දේවානන්ද ප්‍රේක්ෂකයින් නිහඬ කිරීමට සමත් විය. ඒ අනුව අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට දිනය නිමාවන විට ලකුණු 96ක් රැස්කර ගන්නට කඩුලු 7ක් වැය කිරීමට සිදුවිය.

කෙසේ වෙතත් දේවානන්ද විද්‍යාලයට වඩා යහපත් හෙට දිනයක් පිළිබඳ බලාපොරොත්තු දල්වාලමින් කවිඳු සොහාන් නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත් විය. හෙට දිනයේ දී තරගය නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම තීරණය කිරීමේ දී තීරණාත්මක සාධකය වන්නේ ඔහුගේ පිතිකරණ රටාවයි. කෙසේ වෙතත් විද්‍යාලය දෙක අතර හෙට දිනයේ දී තරග උණුසුම තව තවත් ඉහළ නැගීමක් අපේක්ෂා කල හැක්කේ දේවානන්ද විද්‍යාලය මේ වන විට කඩුලු 3ක් අතැතිව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 63ක් පිටුපසින් සිටීම නිසාවෙනි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 56.2): කවීෂ් කුමාර 55, නිමේෂ් මෙන්ඩිස් 21, චතුර මිලාන් 2/37, සජින සංකල්ප 3/23, ඉමේශ් මධුශංක 2/19.

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 96 (පන්දුවාර 38): කවිඳු සොහාන් 35*, සචිඳු උද්දීපන 29, ලසිත් කුමාර 3/3.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට