44 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පිහිනුම් ශූරතා තරගාවලිය පසුගිය 29 වැනි දා කොළඹ සුගතදාස පිහිනුම් තටාකාංගණයේ දී ආරම්භ වූ අතර, මේ එම තරගාවලියේ පළමු හා දෙවන දිනයේ සිදුවීම් වල සටහනකි.

පළමු දිනය හා දෙවන දිනය අවසන් වන විට බාලක හා බාලිකා අංශයේ පෙරමුණ ගැනීමට පිළිවෙළින් සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සමත් විය.

අකලංක සහ විනෝලිගෙන් දස්කම්

43 වන වයස් කාණ්ඩ පිහිනුම් ශූරතා තරගාවලියේ දෙවන දිනයේ වැඩි ගෞරව හිමිකර ගන්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් සහ විනෝලි කළුආරච්චි සමත් විය.

පළමු දිනය – ජුනි 29

මෙම තරගාවලියේ උද්වේගකර පළමු දිනය තුලම නව වාර්තා කිහිපයක්ම බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

බාලිකා අංශයේ ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය පළමු දිනය අවසානයේම ප්‍රසාද ලකුණු 113ක් ලබාගෙන බාලිකා අංශයේ පෙරමුණ ලබා ගන්නා ලදි. එහි දී විනෝලි සිරිවර්ධන වයස අවුරුදු 19න් පහළ මීටර 200 පසුපස ආර ඉසව්ව ජයග්‍රහණය කළේ මිනිත්තු 2:55.82ක කාලයක් වාර්තා කරමිනි. ශනාලි ද සිල්වා එම වයස් කාණ්ඩයේම මීටර 50 නිදහස් ආර තරගයේ දී තත්පර 31.30ක කාලයක් වාර්තා කර ගැනීමට සමත් වූවාය.

බාලක අංශය තුල මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පළමු දිනයේ තම ආධිපත්‍යය විදහා ලූ අතර, එම දිනය අවසන් වන විට, ඔවුන් ප්‍රසාද ලකුණු 130ක් රැස්කරගෙන බාලක අංශයේ පෙරමුණ ලබා ගන්නා ලදි.

එහි දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ශවීන් වික්‍රමරත්න වයස අවුරුදු 11න් පහළ මීටර 50 සමනළ ආර තරගයේ දී තත්පර 35.50ක කාලයක් වාර්තා කර ගෙන එහි පළමු ස්ථානය ජයග්‍රහණය කළ අතර, වයස අවුරුදු 15න් පහළ පසුපස ආර බාලක තරගය මිනිත්තු 2:19.86ක කාලයක් වාර්තා කර ගෙන අවසන් කළ ශෙවින්ද ද සිල්වා එහි පළමු ස්ථානය ජයග්‍රහණය කළේය. ප්‍රවීන් ඉඳුවර මිනිත්තු 2:28.44ක කාලයක් වාර්තා කර ගෙන වයස අවුරුදු 19න් පහළ මීටර 200 බාලක අංශයේ පසුපස ආර ඉසව්ව ජයග්‍රහණය කරන ලදි.

සංයුක්ත අංශයේ පෙරමුණ ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු දිනය අවසන් වන විට, ප්‍රසාද ලකුණු 151ක් රැස්කරගෙන සිටි අතර, එම විද්‍යාලය වෙනුවෙන් තෙවින්දි මෙත්ලිනී වයස අවුරුදු 11න් පහළ බාලිකා මීටර 50 පසුපස ආර ඉසව්ව තත්පර 40.01ක කාලයක් සනිටුහන් කර ගෙන අවසන් කරන ලදි. වත්තල ලයිසියම් විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩිකාවක් වන අකිත්මි වාසලතන්ත්‍රි වයස අවුරුදු 13න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්ව ජයග්‍රහණය කළ අතර, ඒ සඳහා ඇය 36.62ක කාලයක් වැය කරන ලදි. කෙනුලි කෝනාර වයස අවුරුදු 11න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්ව අවසන් කිරීමට මිනිත්තු 1:36.06ක කාලයක් ලබා ගත්තාය. අනන්‍යා කල්‍යාණසුන්දරම් වයස අවුරුදු 13න් පහළ බාලිකා මීටර 200 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 2:25.38ක කාලයක් තුල අවසන් කරමින් තම පාසලට ප්‍රසාද ලකුණු එකතු කර දෙන ලදි.

එසේම වයස අවුරුදු 17න් පහළ මීටර 50 නිදහස් ආර බාලක ඉසව්ව 24.92ක කාලයක් වාර්තා කරමින් අවසන් කළ, රකිත ද සිල්වා එම ඉසව්ව ජයග්‍රහණය කරන ලදි. ඩිලුක් ජයතිලක හා එල් . ඒ . ලහිරු වයස අවුරුදු 17න් පහළ හා වයස අවුරුදු 19න් පහළ බාලක මීටර 200 ළය ආර ඉසව්ව ජයග්‍රහණය කළ අතර, ඒ සඳහා ඔවුන් පිළිවෙළින් මිනිත්තු 2:37.61ක කාලයක් හා 2:39.50ක කාලයක් වාර්තා කරන ලදි.

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ දිල්රුක්ෂි පෙරේරා වයස අවුරුදු 17න් පහළ මීටර 50 සමනළ ආර ඉසව්ව හා නිදහස් ආර ඉසව්ව ජයග්‍රහණය කළ අතර, එහි දී ඇය විසින් පිළිවෙළින් 31.34ක කාලයක් හා 28.78ක කාලයක් වාර්තා කරන ලදි.

මෙම තරගාවලියේ පළමු දිනය තුලම නව තරග වාර්තා 8ක් බිහි වූ අතර, එයින් කිහිපයක් පහත දැක්වේ.

වයස අවුරුදු 19න් පහළ මීටර 1500 නිදහස් ආර බාලක ඉසව්ව සඳහා වාර්තා වී තිබූ මිනිත්තු 18:18.22ක කාලය බිඳ දමමින් මිනිත්තු 17:50.03ක කාලයක් වාර්තා කළ නාලන්ද විද්‍යාලයේ බී. දිලංක ශෙහාන් විසින් නව වාර්තාවක් පිහිටුවන ලදි.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විනෝලි කළුආරච්චි වයස අවුරුදු 17න් පහළ බාලිකා පසුපස ආර ඉසව්ව සඳහා වාර්තා වී තිබූ මිනිත්තු 2:33.48ක කාලය බිද දමා මිනිත්තු 2:33.38 කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව ජයග්‍රහණය කළාය.

සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් වයස අවුරුදු 17න් පහළ මීටර 50 සමනළ ආර ඉසව්ව සඳහා තිබූ තත්පර 26.08ක කාලය බිඳ දමා තත්පර 25.51ක කාලයක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවන ලදි.

විශාඛා විද්‍යාලයේ රමුදි සමරකෝන් වයස අවුරුදු 15න් පහළ මීටර 200 ලය ආර බාලිකා ඉසව්ව සඳහා වාර්තා වී තිබූ මිනිත්තු 2:51.06 කාලය අතික්‍රමණය කරමින් මිනිත්තු 2:47.79ක කාලයක් වාර්තා කරගෙන එම ඉසව්ව සඳහා නව වාර්තාවක් පිහිටුවන ලදි.

පළමු දිනය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුව මෙසේ සනිටුහන් විය.

බාලක අංශය

බාලිකා අංශය

සංයුක්ත අංශය

1. සාන්ත ජෝසප් විද්‍යාලය – 130 මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය – 113 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 151
2. රාජකීය විද්‍යාලය – 89 විශාකා විද්‍යාලය – 108 නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල- 84
3. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 68 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 83 කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල – 55
4. ආනන්ද විද්‍යාලය – 54 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය -72 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 32
5. සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 45 නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල – 47 ආසියානු ජාත්‍යන්තර පාසල- 23

දෙවන දිනය – ජුනි 30 වන දා

දෙවන දිනය අවසන් වන විටත්, බාලිකා අංශයේ පෙරමුණ ලබා ගැනීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සමත් වූ අතර, ඒ වන විට ඔවුන් විසින් ප්‍රසාද ලකුණු 241ක් ලබාගෙන ඇත. මහාමායා බාලිකා විද්‍යාලයට කරට කර සටනක් ලබා දෙමින් දෙවන ස්ථානයේ පසු වන විශාඛා විද්‍යාලය ප්‍රසාද ලකුණු 237.50ක ලබාගෙන ඇත.

මහාමායා බාලිකා විද්‍යාලයට දෙවන දිනය තුල ජයග්‍රහණය කිරීමට හැකිවූයේ රන් පදක්කම් දෙකක් පමණි. එය ජයග්‍රහණය කළ ශනාලි ද සිල්වා හා උත්තමා සිල්වා වයස අවුරුදු 19න් පහළ මීටර 100 නිදහස් ආර ඉසව්ව හා වයස අවුරුදු 17න් පහළ මීටර 200 නිදහස් ආර ඉසව්ව වන අතර, ඒ සඳහා පිළිවෙළින් මිනිත්තු 1:09.07ක කාලයක් හා මිනිත්තු 2:40.82ක කාලයක් වාර්තා කරන්නට එම ක්‍රීඩිකාවන් දෙපල සමත් වූවාය.

නමුත් විශාඛා විද්‍යාලය දෙවන දිනය තුල රන් පදක්කම් 4ක් ජයග්‍රහණය කරන ලදි. වයස අවුරුදු 11න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්ව නිමෝලි පෙරේරා මිනිත්තු 1:29.56ක කාලයක් වාර්තා කරමින් අවසන් කරන ලදි. එසේම සඳු සවින්දි වයස අවුරුදු 17න් පහළ මීටර 100 සමනළ ආර ඉසව්ව මිනිත්තු 1:10.94 කාලයක් වැය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ මීටර 100 බාලිකා ලය ආර ඉසව්ව නියෝජනය කළ රමුදි සමරකෝන් මිනිත්තු 1:18.32 කාලයක් වාර්තා කර ගෙන තම ඉසව්ව අවසන් කළාය. ශෙහාන්ති ගූණවර්ධන මිනිත්තු 1:03.49 කාලයක් සනිටුහන් කරමින් වයස අවුරුදු 17න් පහළ මීටර 100 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළාය.

මෙම තරගාවලියේ බාලක අංශයේ දෙවන දිනය අවසානයේ දී ද පෙරමුණ ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වූ අතර, ඔවුන් දිනය අවසානයේ ප්‍රසාද ලකුණු 150ක් ලබාගෙන තිබුණි. එහි දී ශෙවින්ද ද සිල්වා වයස අවුරුදු 15න් පහළ මීටර 100 බාලක පසුපස ආර ඉසව්ව ජයග්‍රහණය කළ අතර, ඒ සඳහා මිනිත්තු 1:02.16 කාලයක් වාර්තා කරන ලදි. නුවිනු පෙරේරා එම වයස් කාණ්ඩයේම මීටර 200 ඉසව්ව මිනිත්තු 2:23.43ක කාලයක් තුල අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

සංයුක්ත අංශයේ ද පළමු දිනය මෙන්ම පෙරමුණ ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වූ අතර, ඔවුන් එහි දී ප්‍රසාද ලකුණු 303ක් ලබාගෙන තිබුණි. තෙවින්දි මෙත්ලිනී වයස අවුරුදු 11න් පහළ බාලිකා මීටර 100 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 1:12.28 කාලයක් තුල අවසන් කරන ලදි.

අනන්‍යා කල්‍යාණසුන්දරම් වයස අවුරුදු 13න් පහළ බාලිකා මීටර 100 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 1:07.05ක කාලයක් තුල අවසන් කරමින් තම පාසලට ප්‍රසාද ලකුණු එකතු කර දෙන ලදි. තිමාලි බණ්ඩාර වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ මීටර 100 සමනළ ආර ඉසව්ව ජයග්‍රහණය කළ අතර, ඒ සඳහා ඇය මිනිත්තු 1:11.78ක කාලයක් වැය කරන ලදි. එසේම ඇය විසින් එම වයස් කාණ්ඩයේම මීටර 100 නිදහස් ආර ඉසව්ව අවසන් කිරීමට මිනිත්තු 1:04.45 කාලයක් වාර්තා කරන ලදි.

තරගාවලියේ දෙවන දිනය තුල ද නව වාර්තා 11ක් බිහි කිරීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර, එයින් කිහිපයක් පහත දැක්වේ.

වයස අවුරුදු 15න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්ව නියෝජනය කළ ශෙවින්ද ද සිල්වා මිනිත්තු 1:04.82 ලෙස දැක්වූ වාර්තාව අලුත් කරමින් 1:03.00ක කාලයක් තුල තම ඉසව්ව අවසන් කරන ලදි.

අකලංක පීරිස් වයස අවුරුදු 17න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්ව 58.74ක කාලයක් වාර්තා කරමින් අවසන් කළ අතර, එයට පෙර එම ඉසව්ව සඳහා වාර්තා වී තිබූ කාලය මිනිත්තු 1:00.27 විය.

රමුදි සමරකෝන් වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර 100 ලය ආර ඉසව්ව මිනිත්තු 1:16.92 කාලයකින් අවසන් කරමින් මිනිත්තු 1:19.92 ලෙස දැක්වූ තරග වාර්තාව අලුතින් ලියන ලදි.

දෙවන දිනය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුව මෙසේ සනිටුහන් විය.

බාලක අංශය

බාලිකා අංශය

සංයුක්ත අංශය

1. සාන්ත ජෝසප් විද්‍යාලය – 295 මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය – 241 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 303
2. රාජකීය විද්‍යාලය – 196 විශාඛා විද්‍යාලය – 237.5 නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල – 144
3. ආනන්ද විද්‍යාලය – 145 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 179 කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල – 106
4. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 124 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය  – 157 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 56
5. නාලන්ද විද්‍යාලය – 107 මියුසියස් විද්‍යාලය  – 126 සිරි දේවානන්ද විද්‍යාලය  – 47

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට