ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු තැන බස්නාහිරට සහ දකුණට

302

දින තුනක් පුරාවට මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද (24) නිමාවට පත්වූ අතර තරගාවලියේ දී පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් 33ක් යටතේ තරග වදින ලදි.

22, 23 සහ 24 යන දින තුන පුරාවට පැවති මලල ක්‍රීඩා ඉසව්වල දී නව ශ්‍රී ලංකා ජාතික වාර්තා 2ක් සහ එක් තරගාවලි වාර්තාවක් බිහි වූ අතර එම වාර්තා 3ම බිහිවූයේ පිටිය ඉසව්වලින් වීම විශේෂත්වයකි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඉඳුනිල් සහ ගයන්තිකාගෙන් දස්කම්

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (23) දිනයේ දී ජවන හා පිටිය තරග ඉසව් යටතේ උදෑසන වරුවේ දී අවසන් තරග අවසන් තරග…

Anitha Jegathiswaranඑහි දී කාන්තා රිටි පැනීමේ ඉසව්ව සඳහා යාපනයේ අනිතා ජෙගතීස්වරන් තබා තිබූ ජාතික වාර්තාව නැවතත් ඇය විසින්ම අලුත් කරනු ලැබූ අතර අද දිනයේ දී ශානිකා මනෝජි කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එමෙන්ම විදූෂා ලක්ෂානි ද අද දිනයේ දී කාන්තා තුන් පිම්ම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවන ලදි.

රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 06ක් සමඟින් සමස්ත පදක්කම් 32ක් දිනා ගනු ලැබූ බස්නාහිර පළාත් කණ්ඩායම ජවන හා පිටිය පිරිමි තරග අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. මධ්‍යම පළාත් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

Vedusha Lakshaniඑහි කාන්තා තරග අංශයේ දී රන් පදක්කම් 07ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමඟින් සමස්ත පදක්කම් 14ක් දිනා ගැනීමට සමත් වූ දකුණු පළාත් කණ්ඩායම පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් බස්නාහිර පළාත් කණ්ඩායම සහ සබරගමුව පළාත් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

ටර්ක්මෙනිස්තානයේ අෂ්ගබාත් නුවර දී පැවති ආසියානු ගෘහස්ථ හා සටන් කලා ශූරතාවලියේ දී කාන්තා තුන් පිම්ම ඉසව්වේ සමස්ත 7 වන ස්ථානය දිනා ගනිමින් ඉහළ දස්කම් දැක්වීමට අසමත් වූ විදූෂා ලක්ෂානි නැවතත් සුපුරුදු රිද්මයට පැමිණෙමින් මෙම තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්වෙන් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. එහි දී බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග කළ ඇය මීටර 13.32ක දුර ප්‍රමාණයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ අතර ඒ අනුව ඇය එම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය. වයඹ පළාතේ ප්‍රබෝධා බාලසූරිය සහ එස්. දුලාංජලී එහි දී පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදි. ඒ අනුව විදූෂාගේ මෙම දක්‍ෂතාවය වෙනුවෙන් ඇය 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණු අතර පිරිමි දුර පැනීමේ ඉසව්වේ දී මීටර 7.83ක දුරක් වාර්තා කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කරනු ලැබූ මධ්‍යම පළාතේ ජානක විමලසිරි ක්‍රීඩා උළෙලේ හොඳම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

Shanika-Manojiතරගාවලියේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාව වූයේ ශානිකා මනෝජි ය. ඇය කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වේ දී මීටර 48.08 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එම ඉසව්වේ ජාතික වාර්තාවට මීට පෙර හිමිකම් කියූ අයේෂා මදුවන්ති හට මෙහි දී හිමි වූයේ දෙවන ස්ථානය යි. එමෙන්ම එම ඉසව්වේ තරගාවලි වාර්තාවට හිමිකම් කියූ එච්. ඒ. ලක්ෂිකා මෙහි දී තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය. තරගයේ අවසන් වටය දක්වාම පළමු ස්ථානයේ රැඳී සිටීමට සමත් වූයේ ලක්ෂිකා වන අතර දෙවන ස්ථානයේ රැඳී සිටියේ මදුවන්ති ය. කෙසේ නමුත් තරගයේ අවසන් වටයේ දී ජාතික වාර්තාවක් සමඟින් පළමු ස්ථානය දිනා ගැනීමට ශානිකා සමත් වූ අතර දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මදුවන්ති සමත් විය.

දිවයින තුළ සිටින දක්‍ෂතම දිගු දුර ධාවකයා තමන් බව සනාථ කළ මධ්‍යම පළාතේ ලයනල් සමරජීව පිරිමි මීටර 5000 ඉසව්වේ දී මිනිත්තු 14:59.35ක කාලයක් වාර්තා කර ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහු මෙම තරගාවලියේ දී දිනාගත් දෙවන රන් පදක්කමයි. ඒ අනුව ඔහු තරගාවලියේ ජයග්‍රහණය කරනු ලැබූ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ පිරිමි මීටර 10,000 ඉසව්වෙනි. සබරගමුව පළාතේ ඒ. කේ. තරංග සහ මධ්‍යම පළාතේ ජී. කේ. බණ්ඩාර එහි දී පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

Gayanthikaපසුගිය දා අවසන් වූ ආසියානු ගෘහස්ථ හා සටන් කලා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ, කාන්තා මීටර 800 ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න අද තරගාවලියේ සිය දෙවැනි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ ඇය කාන්තා මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟයි. වයඹ පළාතේ එම්. සී. දිල්රුක්‍ෂි එහි දී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එම ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන නිලානි රත්නායක හට එහි දී තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ගයන්තිකා දිනාගත් අනෙක් රන් පදක්කම ඇයට හිමිවූයේ මීටර 400×4 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ දකුණු පළාත් කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ඇය කටයුතු කිරීම හරහාය. එහි දී දෙවන ස්ථානය මධ්‍යම පළාත් කණ්ඩායමටත්, තෙවන ස්ථානය වයඹ පළාත් කණ්ඩායමටත් හිමි විය.

ආසියානු ගෘහස්ථ හා සටන් කලා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළ මංජුල කුමාර මෙහි දී උස පැනීම ඉසව්වේ දී මීටර 2.18ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී මීටර 2.01ක දක්ෂතාවයක් දැක්වූ ඉන්දික උදය කුමාර සහ ඩී. රණතුංග සම දෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

image3මේ වන විට 33 වන වියේ පසුවන මංජුල පසුගිය වසර 8ක කාලය පුරාවට ශ්‍රී ලංකාව තුළ උස පැනීමේ ඉසව්වේ සිය අණසක පැතිරවීමට සමත්ව තිබීම විශේෂත්වයකි. මීටර 2.27ක දක්ෂතාවයක් සමඟින් උස පැනීමේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවේ ද හිමිකරුවා වන ඔහු, ඔහුගේ වයස තත්වය නිසා සිය සුපුරුදු ඉහළම දක්‍ෂතා අතර නොසිටින නමුත් ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් දිනයක ශ්‍රී ලංකාව තුළ උස පැනීමේ ඉසව්ව තුළ එවන් දක්‍ෂතා දැක්වීමට හැකි ක්‍රීඩකයෙක් මේ වන විටත් බිහි නොවී තිබීම කනගාටුවට කරුණකි.  

ක්‍රීඩා උළෙලේ වේගවත්ම ඉසව් වන කාන්තා හා පිරිමි මීටර 100 ධාවන ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයින් දෙපළකි. එහි දී කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ රුමේෂිකා රත්නායක විසිනි. ජපානයේ පැවති නිල රැඳවුම් රැළියට නිමාලි ලියනාරච්චි සමඟින් රුමේෂිකා සහභාගී වීම නිසා ඇයට මෙම ඉසව්වේ පෙර වටවල තරග සඳහා සහභාගී වීමට හැකිනොවූ නමුත් ඇයට ඉසව්වේ අවසන් තරගය සඳහා සහභාගී වීමට අවසර ලැබුණි. ඒ අනුව එහි දී සබරගමුව පළාත නියෝජනය කරමින් තරග කළ ඇය තත්පර 11.74ක කාලයක් වාර්තා කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. සත්ප්‍රයාම ඉසව්වේ ‘යකඩ ගැහැණිය’; වී. සුගන්දි තත්පර 12.03ක කාලයක් වාර්තා කර ගනිමින් එහි දී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර තත්පර 12.18ක කාලයක් වාර්තා කරගත් එස්. එල්. විදානගුරුගේ එහි දී තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

image2මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒශාන් තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි දී ඔහු තරගය අවසන් කිරීමට වැය කළ කාලය තත්පර 10.76කි.

නැගෙනහිර පළාත නියෝජනය කරමින් තරගයට සහභාගී වූ මොහොමඩ් අෂ්රෆ් මෙහි දී තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට අපොහොසත් වූ අතර එහි දී සිදු වූ ප්‍රමාදය නිසා ඔහුට තුන්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ඒ අනුව දකුණු පළාත නියෝජනය කරමින් තරගයට සහභාගී වූ එස්. එල්. වික්‍රමසිංහ තත්පර 10.85ක කාලයක් වාර්තා කර ගනිමින් රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර අෂ්රෆ් තරගය අවසන් කිරීම සඳහා වැය කළ කාලය තත්පර 10.86කි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට