3 වන දිනයේ වැඩි ගෞරව අකලංකට සහ ඇල්වින්ට

345

සුගතදාස පිහිනුම් තටාක පරිශ්‍රයේ දී පැවැත්වෙන ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ තෙවන දිනය අවසාන වනවිටත් සමස්ත ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට ශාන්ත ජෝසප් විදුහල් කණ්ඩායම සහ විසාකා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

>> අකලංක සහ විනෝලිගෙන් දස්කම්

ඇල්වින් අරුන්මරන් සහ අකලංක පීරිස් රන් පදක්කම් 4 බැගින් දිනා ගනිමින් තෙවන දිනයේ දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර වනුජ කන්නංගර සහ විනෝලි කළුආරච්චි පදක්කම් 3 බැගින් දිනා ගැනීමට සමත් විය.

ගේට්වේ විද්‍යාලයේ ඇල්වින් අරුන්මරන් අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ ඔහු සහභාගී වූ සියලුම ඉසව් වල ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත් විය. එනම් මීටර 100 LC නිදහස් ආර ඉසව්ව තත්පර 58.60කින්, මීටර 50 LC පසුපස ආර ඉසව්ව තත්පර 31.44කින්, මීටර 200 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 2:10.74කින් සහ මීටර 100 LC පසුපස ආර ඉසව්ව මිනිත්තු 1:09.28කින් නිමා කරමින් ඔහු එම ඉසව් වල රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ අනුව තරගාවලියේ තෙවන දිනය අවසන් වූයේ ඔහුගේ නම ඉදිරියේ රන් පදක්කම් 04 ක් සටහන් වෙමිනි.  

තරගාවලියේ පෙර දිනයේ දී ද විශිෂ්ට දස්කම් දක්වමින් බොහෝ දෙනාගේ අවධානය තමා වෙත යොමු කර ගන්නට සමත් වූ ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස්ට තෙවන දිනයේ දී ද සිය සුපුරුදු දස්කම් අතරට ළඟා වන්නට හැකි විය. අවුරුදු 18න් පහළ මීටර 100 LC නිදහස් ආර ඉසව්ව තත්පර 52.79කින්, මීටර 50 LC පසුපස ආර ඉසව්ව තත්පර 28.16කින්, මීටර 50 LC සමනළ ආර ඉසව්ව තත්පර 25.24කින් සහ මීටර 100 LC පසුපස ආර ඉසව්ව තත්පර 59.87කින් අවසන් කරමින් එම ඉසව්වල රන් පදක්කම තමන් සතුකර ගන්නට අකලංක සමත් විය.

තරගාවලියේ දෙවන දිනයේ දී රන් පදක්කම් 2 ක් දිනා ගත් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විනෝලි කළුආරච්චි තෙවන දිනයේ දී ඊට තවත් රන් පදක්කම් 3ක් එක්කර ගැනීමට සමත් විය. ඇය එම රන් පදක්කම් 3 දිනා ගත්තේ අවුරුදු 18න් පහළ මීටර 100 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 1:02.93කින්, මීටර 50 LC පසුපස ආර ඉසව්ව තත්පර 32.43කින් සහ මීටර 100 LC පසුපස ආර ඉසව්ව මිනිත්තු 1:10.51කින් අවසන් කරමිනි.

තරගාවලියේ තෙවන දිනයේ දී කැපී පෙනුණු අනෙක් ක්‍රීඩකයා වූ වනුජ කන්නංගර ද මෙහි දී රන් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය. එහි දී ඔහු වයස අවුරුදු 13න් පහළ මීටර 100 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 1:07.19කින්, මීටර 200 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 2:28.07කින් සහ මීටර 100 LC පසුපස ආර ඉසව්ව මිනිත්තු 1:16.96කින් නිමා කරමින් එම ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් විය.

දෙවන දිනයේ දී පදක්කම් 2ක් දිනාගත් කිලර් වේල් ජල ක්‍රීඩා සමාජයේ මැතිව් අබේසිංහ ද මෙහි දී එක් රන් පදක්කමකට හිමිකම් කීවේය. ඒ අවුරුදු 18 හෝ ඉන් ඉහළ වයස් කාණ්ඩයේ මීටර 100 LC නිදහස් ආර ඉසව්ව තත්පර 53.46කින් අවසන් කරමිනි. කෙසේ වුවත් ඔහුගේ සහෝදරයා වන කයිල් අබේසිංහ තරගාවලියේ තෙවන දිනයේ දී දක්ෂතා අතරට පැමිණෙන්නට සමත් වූයේ නැත.

විසාකා විද්‍යාලයේ රමුදි සමරකෝන් අවුරුදු 18න් පහළ මීටර 400 LC ඒකල මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 5:33.65කින් සහ මීටර 200 LC ළය ආර ඉසව්ව මිනිත්තු 2:49.77කින් අවසන් කරමින් එම ඉසව් වල රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර ඒ හරහා තරගාවලියේ තෙවන දිනය අවසානයේත් සමස්ත ලකුණු සටහනේ පළමු ස්ථානය රැක ගැනීමට කොළඹ විසාකා විද්‍යාලය සමත් විය.

ඊට අමතරව තෙවන දිනයේ දී දස්කම් අතරට පැමිණි වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. ජයතිලක අවුරුදු 18න් පහළ මීටර 400 LC ඒකල මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 5:09.88කින් සහ මීටර 200 LC ළය ආර ඉසව්ව මිනිත්තු 2:38.71කින් අවසන් කරමින් එම ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් විය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නබාෂි පෙරේරා ද අවුරුදු 13න් පහළ මීටර 400 LC ඒකල මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 6:22.78කින් සහ මීටර 50 LC සමනළ ආර ඉසව්ව තත්පර 32.64කින් අවසන් කරමින් එම ඉසව් වල රන් පදක්කමට හිමිකම් කීවේය.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඒ. කල්‍යාණසුන්දරම් ද ඔහු සහභාගී වූ අවුරුදු 15න් පහළ මීටර 100 LC සහ මීටර 50 LC නිදහස් ආර ඉසව් පිළිවෙළින් මිනිත්තු 1:04.93කින් සහ මිනිත්තු 2:22.13කින් අවසන් කරමින් එම ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගාවලියේ දෙවන දිනය අවසානයේ දී මෙන් පිරිමි තරග අංශයේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 369ක් ලබාගෙන සිටින ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්ව ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ලකුණු 295ක් ලබාගෙන සිටින කොළඹ ආනන්ද විද්‍යාලය සහ ලකුණු 203ක් ලබාගෙන සිටින වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල හිමිකරගෙන සිටියි.

තරගාවලියේ කාන්තා තරග අංශයේ ද සමස්ත ලකුණු සටහනේ කිසිදු වෙනසක් සිදු වී නැත. ඒ අනුව එහි පළමු ස්ථානය ලකුණු 354.50ක් ලබාගෙන ඇති කොළඹ විසාකා විද්‍යාලයත්, දෙවන ස්ථානය ලකුණු 304ක් ලබාගෙන සිටින වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලත්, තෙවන ස්ථානය ලකුණු 198ක් ලබාගෙන සිටින සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයත් හිමි කරගෙන සිටියි.

තරගාවලිය අදත් සුගතදාස පිහිනුම් තටාක පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර එය මෙම මස (ජූනි) 05 වන දින දක්වා පැවැත්වෙනු ඇත.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට