40 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල බස්නාහිර බලය රැකගනී උෟවේ අයේෂාගෙන් ජාතික වාර්තාවක්

155

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් සිකුරාදා ආරම්භ වූ 40 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඊයේ වාර්තාවූ විශේෂ සිදුවීමක් වූයේය.

 

මිටිය විසිකිරීමේ කාන්තා ඉසව්වෙන් උෟව පළාතේ අයේෂා මධුවන්ති නව ජාතික වාර්තාවක් පිහිටුවීය. ඇය මීටර් 42.74කින් මිටිය විසි කරමින් පැරැණි වාර්තාව වූ මීටර් 42.14 පසුකළාය. පසුගිය මැයි මාසයේ කොළඹදී ඒ.එස්.එම්. අමරසිංහ විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව ආයේෂා විසින් ඊයේ බිඳ දමනු ලැබූ අතර පිටිය ඉසව්වකදී ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවකුට හෝ නව වාර්තා පිහිටුවීමේ හැකියාවක් නොලැබිණි. ඊට ප්‍රධාන ලෙස බලපා තිබුණේ මේ දිනවල සවස් කාලයේ උතුරු මැද පළාතට ඇද හැලෙන වර්ෂාවය.

ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ආරම්භ කරමින් පෙරේදා පිරිමි මීටර් 10,000 ඉසව්ව විනාඩි 32 තත්පර 26.58 කදී අවසන් කළ ඩී.එල්. සමරජීව පළමු රන් පදක්කම මධ්‍යම පළාතට පිළිගන්වනු ලැබීය.

සමරජීව ලද මෙම ජයග්‍රහණයෙන් ඔහු එම ඉසව්වේ රන් පදක්කම පිටපිටම සිව්වැනි වරට දිනාගැනීම සටහන් වීම කැපී පෙනුණි. අනතුරුව පවත්වන ලද කාන්තා මීටර් 5000 ඉසව්ව වි. 17. තත්: 43.97 කදී අවසන් කළ එච්.ඒ.ටී.සී. හේමමාලී සබරගමුවට රන් පදක්කම තිළිණ කරද්දී එහි රිදී පදක්කමද ඒ.එන්.එල්. ආරියදාස විසින් සබරගමුවටම තිළිණ කළාය.

මේ අතර කාන්තා තුන්පිම්ම ඉසව්ව සටනකින් තොරව ජයගන්නට සමත්වූ එන්.සී.ඩී. ප්‍රියදර්ශනී එම රන් පදක්කම බස්නාහිර පළාතට තිළිණ කළද ඒ සඳහා ඇය සටහන් තැබූ මීටර් 11.88 ප්‍රදර්ශනය කර තිබුණේ වසර 19ක් ආපස්සට ගමන් කළ බවකි. අවසන් වරට මෙම ඉසව්ව වෙනුවෙන් මීටර් 12.00 සීමාවට ළඟා නොවී රන් පදක්කම දිනා ගැනීම 1995 වසරේදී වාර්තා වී තිබීම ඊට හේතුවය. පසුගිය වසරේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී කාන්තා රිටි පැනීමේ ඉසව්වට මීටර් 3.31ක් ලෙස නව වාර්තාවක් පිහිටුවූ නැඟෙනහිර පළාතේ අනෝමා කරුණාවංශ මෙවරද එම රන් පදක්කම තමන්ගේ කර ගැනීමට සමත්වුවත් මෙවර ඇගේ දක්‍ෂතාව මීටර් 3.00ක් බවට පත්ව තිබිණි.

පළමු වරට ජාතික ක්‍රීඩා උළෙලට එක් කළ පිරිමි මිටිය විසි කිරීමේ තරගයේ රන් පදක්කම මීටර් 49.69ක් සහිතව වයඹ පළාතට අත්කර දෙන්නට චරිත් කපුකොටුව සමත් විය.

තවද හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ජයග්‍රහණය මීටර් 68.19ක දුරක් වාර්තා කළ සබරගමුව පළාතේ ආර්.එම්.ඒ.කේ.ජේ. රණසිංහට හිමිවූ අතර කාන්තා යගුළිය විසිකිරීමේ ඉසව්වේ රන්පදක්කම බස්නාහිර පළාතේ ඩබ්.ටී.කේ. ප්‍රනාන්දු දිනා ගත්තාය. ඇය වාර්තා කළ දුර මීටර් 13.87කි.

ඒ හැරුණු විට පළමු දිනය නිමාවට පත් කරමින් පවත්වන ලද මීටර් 4×100 පිරිමි හා කාන්තා සහය දිවීමේ තරගවලදී පිළිවෙළින් දකුණු පළාත හා වයඹ පළාත රන් පදක්කම් බෙදාගත්හ.

කෙසේ වුවත් පිරිමි 4×100 ඉසව්වේ ප්‍රථම ස්ථානය බස්නාහිර පළාත හා සිව්වන ස්ථානය නැඟෙනහිර පළාත දිනාගෙන තිබුණද තරගයේ නීති රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකම ප්‍රතිඵල ලේඛනයෙන් ඉවත් කරනු ලැබීය.

මේ නිසා දෙවැනි ස්ථානයට පත්වූ දකුණු පළාතට රන් පදක්කමද පස් වැනි ස්ථානය දිනූ උතුරු මැද පළාතට ලෝකඩ පදක්කමද හිමි විය.

ඒ අනුව ඊයේ දෙවැනි දිනය අවසානයේ සමස්ත පදක්කම් සටහනට අනුව

බස්නාහිර පළාත රන් 72 රිදී 51 ලෝකඩ 53

මධ්‍යම පළාත රන් 34 රිදී 38 ලෝකඩ 37

වයඹ පළාත රන් 21 රිදී 20 ලෝකඩ 37ක් ලෙස දිනා තිබිණි.

පෙර දිනයේ ඇද හැලුණු වර්ෂාව නිසා තරග ආරම්භ කිරීම පැය දෙකකින් පමණ ප්‍රමාද වූ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත්, ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ හා රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයනේ අලංකාර සංස්කෘතික සංදර්ශන සහිත සමාරම්භක උත්සවය පස්වරු 4.00ට පවත්වනු ලැබීය. එහිදී ක්‍රීඩා උළෙලේ පහන දැල්වීම කසුන් කල්හාර සෙනවිරත්න හා එම්.ජී. චන්ද්‍රාවතී යන උතුරු මැද පළාත් ක්‍රීඩක-ක්‍රීඩිකා දෙපළ විසින් සිදු කළ අතර ක්‍රීඩක ප්‍රතිඥාව නිමේෂා මධුෂානි සිරිවර්ධන ක්‍රීඩිකාව විසින්ද විනිසුරු ප්‍රතිඥාව කේ.පී. ඥානපාල මහතා විසින්ද ලබා දෙන ලදි.

දෙවැනි දිනය වූ ඊයේ පවත්වන ලද පළමු ඉසව්ව වූ මීටර් 800 කාන්තා තරගයේ රන් පදක්කම දකුණු පළාතට දිනා දෙන්නට නිමාලි ලියනආරච්චි සමත් වූ අතර එම ඉසව්වේ දක්නට ලැබුණු විශේෂත්වය වූයේ අවසන් තරගයට සහභාගි වූ තරගකාරියන් 8 දෙන අතර මුල් ස්ථාන 5ම දකුණු පළාත දිනා ගැනීමය.

එම රන් පදක්කම වෙනුවෙන් නිමාලි වි. 2 ත.11.54ක කාලයක් වැයකර තිබිණි. පසුගිය වසරේ පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ දකුණු පළාතේ ජේ.පී. විමලසිරිට මෙවර රිදී පදක්කම පිළිගැන්වූ වයඹ පළාතේ අශේන් ප්‍රනාන්දු ඒ සඳහා මීටර් 7.17ක දුරක් සටහන් කර තිබිණි.

මේ අතර පළමු දිනයේ කාන්තා තුන්පිම්ම රන් පදක්කම දිනූ බස්නාහිර පළාතේ එන්.සී.ඩී. ප්‍රියදර්ශනී ඊයේ දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මීටර් 5.67කින් සාර්ථක කර ගත්තාය.

මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම බස්නාහිර පළාත් ඩබ්ලිව්.ඒ.ඩී. කුමාර දිනාගත්තේ ඒ සඳහා වි. 1 තත්. 55.04ක කාලයක් වැය කරමිනි.

ඒ හැරුණු විට ඊයේ මිටිය විසි කිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනූ චරිත් කපුකොටුවද ඊයේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී වයඹ පළාතට දෙවැනි රන් පදක්කම දිනා දෙන්නට සමත් වී තිබුණේ ඒ සඳහා මීටර් 49.42ක දුරක් වාර්තා කරමිනි.

ඊයේ පැවැති මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීම ජේ.සී.එච්. බණ්ඩාර (වයඹ), එම කාන්තා ඉසව්ව එරංගා දිල්රුක්ෂි (දකුණ), පිරිමි උස පැනීම ඉසව්ව මංජුල කුමාර (දකුණ), රිටි පැනීම පිරිමි ඉසව්ව එම්.එච්.අයි. සඳරුවන් (බස්නාහිර) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගත්හ.

මේ අතර රන් පදක්කම වෙනුවෙන් ඊයේ සවස උතුරු පළාත හා දකුණු පළාත අතර ආරම්භ වූ පාපන්දු තරගයද වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුව තිබූ අතර එය අද උදෑසන පැවැත්වීමට සංවිධායකයන් තීරණය කරනු ලැබීය.