වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය 34 වන වරටත්

130
34th Mercantile Athletic Championship

වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය පළමු වරට 1982 වසරේ දී වෙළඳසේවා මලල ක්‍රීඩා සම්මේලනය (MAF) මඟින් සංවිධානය කරනු ලැබූ අතර ඉන් අනතුරුව දශක 3කටත් අධික කාලයක් පුරාවට එය පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන අයට සිය දක්‍ෂතා දැක්වීමට මනා තෝතැන්නක් බවට පත්ව ඇත.

සමස්ත ශූරතාවය බස්නාහිරට; අනුශූරතාවය මධ්‍යම පළාතට

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය දින 5ක උණුසුම් තරග ඉසව් රැසකින් අනතුරුව…

ඒ අනුව වෙළඳසේවා මලල ක්‍රීඩා සම්මේලනය මඟින් 34 වන වරට සංවිධානය කරනු ලබන වාර්ෂික මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන 20 වන දින සිට 22 වන දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. වයස් කාණ්ඩ 6ක් යටතේ කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම ඉසව් 330ක් මෙහි දී පැවැත්වීමට නියමිත අතර ඒ අතරට විවෘත ආධුනික ඉසව් ඇතුළු විවෘත ඉසව් ද ඇතුළත් වේ.

තරගාවලියේ තරග අංශ

පිරිමි – පිරිමි ශූරතාවලිය, පිරිමි ආධුනික, වයස අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ

කාන්තා – කාන්තා ශූරතාවලිය, කාන්තා ආධුනික, වයස අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ

මෙම වසරේ දී පෞද්ගලික ආයතන 53ක් තරගාවලියේ ශූරතාවය සඳහා තරග කිරීමට නියමිත අතර ඒ අතරට පළමු වරට තරගාවලිය සඳහා එක්වන ආයතන 10ක් ද ඇතුළත් වේ. ඒ අනුව සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට ආසන්න සංඛ්‍යාවක් තරගාවලිය සඳහා සහභාගී වනු ඇතැයි සංවිධායකයින් අපේක්‍ෂා කෙරේ. දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ඉන්දියානු වෙළඳසේවා සම්මේලනය නියෝජනය කරමින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනෙක් සහභාගී වන්නේ තරගාවලියට ජාත්‍යන්තර ස්වරූපයක් එක් කරමිනි.

මෙහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපත්ව ඇති අතර ඔවුන් තරගාවලිය සඳහා එක්වන්නේ පසුගිය වසරේ ජයග්‍රහණය කරනු ලැබූ ශූරතාවය මෙවර ද ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිවයි. කෙසේ නමුත් පසුගිය වසරේ අනුශූරයින් බවට පත්වූ MAS Holdings ආයතනයෙන් ඔවුන්ට මෙවර ද ඉහළ අභියෝගයක් එල්ල වනු ඇත. සමස්ත ශූරතාවයට අමතරව තවත් අභියෝගතා ශූරතා 35ක් මෙහි දී කණ්ඩායම්වලට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙදා දීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ නැඟී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මනා අත්වැලක් වූ වෙළඳසේවා සම්මේලනයේ ‘ක්‍රීඩා සවිය’ ක්‍රීඩා ශිෂ්‍යත්වය ද මෙහි දී පිරිනැමීමට නියමිතව ඇත. මෙම ශිෂ්‍යත්වය හරහා ඉහළ දක්‍ෂතා දක්වන ආර්ථිකමය පිටුබලයක් අවශ්‍ය තරුණයෙක් හඳුනා ගෙන ඔහුට හෝ ඇයට සිය මලල ක්‍රීඩා සිහිනය සැබෑ කර ගැනීමට සහ ජාතික තලයේ ඉහළ දස්කම් දැක්වීමට අවශ්‍ය සහයෝගය ලබා දේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<