දින දෙකක් අවසානයේ ප්‍රබල බස්නාහිර පළාත් පාසල් පෙරමුණේ

342
32nd All island schools games 2016 day 2 report

32 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අද (14) ආරම්භ විය. තරගාවලියේ උද්වේගකර තරග ඉසව් රාශියක් අදින් ආරම්භ වූ නිසාම පළමු දිනට වඩා වැඩි ජවයක් හා ප්‍රබෝධයක් ක්‍රීඩකයින්ගෙන් දක්නට ලැබිණි. දිනය ආරම්භ කරමින් අවසන් මහා තරග කිහිපයක්ම ආරම්භ විය.

පසුගිය ලිපි: පාසල් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා මහෝත්සවය බෝගම්බරදී ඇරඹේ

දිනය ආරම්භ කරමින් වයස අවුරුදු 21න් පහළ බාලක තුන් පිම්ම ඉසව්වෙහි අවසන් මහා තරගය පැවැත්වුණු අතර එහි ලෝකඩ පදක්කම වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ජේ. රුවිශාන් දිනා ගන්නා ලදී. රිදී පදක්කම වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ ජී. ධනංජය දිනාගන්නා ලදී. එහි රන් පදක්කම දිනා ගන්නට වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ කේ. පෙරේරා සමත් විය.

දෙවන දිනයෙහි පැවැති ඉසව් වල අවසන් තරග වල ප්‍රතිඵල මෙසේය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා යගුලිය විසිකිරීම

ලෝකඩ පදක්කම පානදුර රාජකීය විද්‍යාලයේ රවිදු ශෙහාන් දිනාගත් අතර රිදී පදක්කම පානදුර රාජකීය විද්‍යාලයේම ඩී. ප්‍රනාන්දු විසින් දිනාගන්නා ලදී. එහි රන් පදක්කම දිනාගනු ලැබුවේ රත්නාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ එල්. කෙෂාන් විසිනි.

වයස අවුරුදු 21න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම

ලෝකඩ පදක්කම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අයි. කාවින්දිටත් රිදී පදක්කම සුමන බාලිකා විද්‍යාලයේ සී. වීරසිංහටත් හිමිවුනු අතර රන් පදක්කම දිනා ගත්තේ සාන්ත මරියා කන්‍යාරාමයේ ඩී. ප්‍රනාන්දු විසිනි.

වයස අවුරුදු 17න් පහළ බාලිකා රිටි පැනීම

ලෝකඩ පදක්කම චාවකචචේරී හින්දු විද්‍යාලයේ එස්. ශන්කරී විසින් දිනාගත් අතර රිදී පදක්කම පලායි මධ්‍ය මහා විද්‍යාලයේ ටී. තිවිජා දිනාගන්නා ලදී. එහි රන් පදක්කම දිනාගනු ලැබුවේ යාපනය මහජන විද්‍යාලයේ සී. හරීනාය විසිනි. මෙම ඉසව්වේ ස්ථාන තුනම උතුරු පළාත හිමි කර ගැනීම සුවිශේෂී සිද්ධියකි.

වයස අවුරුදු 15න් පහළ බාලක දුර පැනීම

දි මැසනෝද් විද්‍යාලයේ එස්. සිතුමින ලෝකඩ පදක්කමත්, දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ශාන් අමන්ත රිදී පදක්කමත්, ගාල්ල සිද්ධාර්ත විද්‍යාලයේ එච්. මෙන්ඩිස් රන් පදක්කමත් දිනාගන්නා ලදී.

වයස අවුරුදු 15න් පහල බාලිකා කවපෙත්ත විසිකිරීම

අයි. අප්පුහාමි ලෝකඩ පදක්කම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට හිමි කරදුන් අතර රිදී පදක්කම කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හිමි කර දීමට එච්. මහේෂිකා සමත් විය. කොළඹ කාන්තා විද්‍යාලයට එහි රන් පදක්කම දිනා දීමට එස්. ගුණසේකර සමත් විය.

වයස අවුරුදු 15න් පහල බාලක යගුලිය විසිකිරීම

ලෝකඩ පදක්කම පින්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සී. හිරුන දිනා ගත් අතර රිදී පදක්කම කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් එස්. විජේසිංහ දිනාගන්නා ලදි. රන් පදක්කම අම්පාර කලුතාවලී විද්‍යාලයට දිනා දීමට ජේ. රිශානන් සමත්විය.

වයස අවුරුදු 17න් පහල බාලිකා හෙල්ල විසිකිරීම

කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ හෂානි ශෙහානා ලෝකඩ පදක්කම දිනා ගත් අතර ගාල්ල ධර්මාශෝක විද්‍යාලයේ හෂිනි තරුෂිනි රිදි පදක්කම දිනාගන්නා ලදී. වෙල්ලන්දුර ගජනායක මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. ආරියරත්න එහි රන් පදක්කම තමන් සතු කරගන්නා ලදී.

වයස අවුරුදු 19න් පහල බාලක දුර පැනීම

ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ කින්නියා මුල්ලු‍පොතාන මධ්‍ය මහා විද්‍යාලයේ ඒ. අභීත විසිනි. රිදී පදක්කම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉරුෂ මාලින්ද දිනාගත් අතර එහි රන් පදක්කම මීගමුව ලොයලා විද්‍යාලයේ නිපුන් කවිදු විසින් දිනාගත්තේය.

වයස අවුරුදු 15න් පහල බාලක මීටර් 400 දිවීම

අලව්ව මධ්‍ය මහා විද්‍යාලයේ එස්. සුදූශන් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබූ අත‍ර මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ එන්. රත්නායක රිදි පදක්කම දිනා ගන්නා ලදී. කුරුණෑගල ශාන්ත මරියා විද්‍යාලයේ එම්. පෙරේරො රන් පදක්කම දිනා ගන්නා ලදී.

වයස අවුරුදු 17න් පහල බාලිකා මීටර් 400 දිවීම

කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්. බණ්ඩාර ලෝකඩ පදක්කමත්, මැදඔය මධ්‍ය මහා විද්‍යාලයේ එස්. පුෂ්පලතා රිදී පදක්කමත්, කොළඹ සාන්ත ජෝන් විද්‍යාලයේ තාරුකා දිව්‍යාංජලී රන් පදක්කමත් දිනාගන්නා ලදී.

වයස අවුරුදු 17න් පහල බාලක මීටර් 400 දිවීම

ලෝකඩ පදක්කම කොළඹ ලුම්බිණි විද්‍යාලයේ අදීශාන් අංජන දිනාගත් අතර රිදී පදක්කම මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඒ. දල්පාගොඩ දිනාගත්තේය. කොතලාවල ශාන්ත ජෝන් විද්‍යාලයේ එම්. බෝගොඩ විසින් එහි රන් පදක්කම දිනාගන්නා ලදී.

වයස අවුරුදු 19න් පහල බාලිකා උස පැනීම

ගේට්වේ ජාත්‍යන්තර පාසලේ රන්දි හිමාෂා ලෝකඩ පදක්කමත් රිදී පදක්කම මලියදේව බාලිකා වද්‍යාලයේ ටී. තන්තිරිමදුග ලබා ගත් අතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ගුණරත්න විසින් මීටර් 1.74 ක නව වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගන්නා ලදී.

වයස අවුරුදු 21න් පහල බාලිකා තුන්පිම්ම

මොනරාගල රාජකීය විද්‍යාලයේ ශෂිනි සන්දීපා ලෝකඩ පදක්කමත්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පූජා දිව්‍යාංජලී රිදී පදක්කමත්, පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ එම්. විජේසිංහ රන් පදක්කමත් දිනාගන්නා ලදී.

පිටියේ පැවැත් වූ අවසාන ඉසව්ව වූයේ වයස අවුරැදු 19පහල බාලිකා කවපෙත්ත විසිකිරීමේ අවසන් තරගයයි. එහි ලෝකඩ හා රිදී පදක්කම් දෙකම සුමන බාලිකාවේ එස්. මධුශානිට හා බී. ආසිරි යන ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා ලදී. දෙවන දිනයෙහි අවසාන රන් පදක්කම දිනාගනු ලැබුයේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ එම්. අයේෂා විසිනි.

දෙවන දිනයේ ඉසව් නිමා වන විට ලකුණු 34ක් ලබාගෙන උතුරු පළාත තෙවන ස්ථානයේත්, ලකුණු 46ක් ලබාගෙන උතුරුමැද පළාත දෙවන ස්ථානයෙත්, ලකුණු 106ක් ලබාගෙන බස්නාහිර පලාත පළමු ස්ථානයෙත් පසුවිය.

හෙට දිනය තරගාවලියේ තුන්වන දිනය යි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට