දෙවන වරටත් සංවිධානය කළ කොළඹ මියුසියස් විද්‍යාලය හා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර වාර්ෂික දැල්පන්දු මහා තරගය අද (7) නිමාවට පත්විය. තරගය ලකුණු 38–18ක් ලෙස ජය ගනිමින් මාරි මියුසියස් – රෝහිණී අලස් අභියෝගතා කුසලානය අඛණ්ඩව දෙවන වතාවටත් තමන් සතු කර ගන්නට කොළඹ මියුසියස් විද්‍යාලයීය දැල්පන්දු කණ්ඩායම සමත් වුනා.

මියුසියස් – ගේට්වේ මංගල දැල්පන්දු සංග්‍රාමයට සියල්ල සූදානම්

කොළඹ මියුසියස් විද්‍යාලය හා ගේට්වේ ජාත්‍යන්තර පාසල…

තරගාවලියේ පළමු අදියර වුණු 2018 වසරේ මංගල මාරි මියුසියස් – රෝහිණී අලස් අභියෝගතා කුසලානය ලකුණු 27-25 ක් ලෙස ජය ගැනීමට සමත් වුනේ කොළඹ මියුසියස් විද්‍යාලයයි.

පළමු කාර්තුවේ පළමු ලකුණු රැස් කිරීමට කණ්ඩායම් දෙකම මද වේලාවක් ගත් අතර පළමු ලකුණ රැස් කිරීමට සමත් වුනේ මියුසියස් විද්‍යාලයේ නෙත්මි විජේනායකයි. 

Photos: Press Conference – 2nd Musaeus v Gateway Netball Encounter 2019 | Marie

මෙම තරගයේ එක් කාර්තුවක් මිනිත්තු 12ක් පුරා විහිදුණු අතර දැඩි අව් රශ්මිය හමුවේ ක්‍රීඩිකාවන්ට ලකුණු රැස් කිරීම එතරම් පහසු වුනේ නැහැ. ගේට්වේ කණ්ඩායමට ලකුණක් රැස් කිරීම සඳහා මිනිත්තු තුනක් බලා සිටීමට සිදු වුණු අතර ඒ කාලය තුල දී මියුසියස් ක්‍රීඩිකාවන් ලකුණු හතරක්ම තමන්ගේ නමට ලියා ගැනීම විශේෂත්වයක් වුනා.

ලකුණු 6-1ක්, 7-1ක්, 9-1ක් ලෙස තරගය ඉදිරියට ගෙන යාමට මියුසියස් ක්‍රීඩිකාවන් සමත් වූ අතර ගේට්වේ කණ්ඩායමේ අනිෂා පෙරේරා ඇතුළු ප්‍රබල ක්‍රීඩිකාවන් හට ලකුණු ගලනය නවත්තන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 

මියුසියස් ක්‍රීඩිකාවන් ලකුණු 10-1ක් ලෙස ඉදිරියට යද්දී ගේට්වේ ගෝල ප්‍රහාරක ක්‍රීඩිකාවන් ලකුණු රැස් කර ගැනීමට තිබූ ඉතා පහසු අවස්ථා රැසක් අපතේ යැවීම කැපී පෙනුණා. ලකුණු 12-2ක් ලෙස තරගයේ පළමු කාර්තුව අවසන් වුනේ ගේට්වේ ක්‍රීඩිකාවන් දැඩි අවදානමකට ඇද දමමින්.

පළමු කාර්තුව: ගේට්වේ ජාත්‍යන්තර පාසල 02 – 12 මියුසියස් විද්‍යාලය

පළමු කාර්තුවේ දී ගේට්වේ ක්‍රීඩිකාවන්ගේ මැදපෙළ දුර්වලතා දැඩි සේ කැපී පෙනුණා. කෙසේ වෙතත් දෙවැනි කාර්තුව ආරම්භයේ දී ඔවුන් පෙර වැරදි නිවැරදි කර ගත් බවක් පෙනුණේ ලකුණු 13-04ක් ලෙස ලකුණු පරතරය අඩු කර ගැනීමට ඔවුන් සමත් වූ නිසයි.

කණ්ඩායම් දෙකම ලකුණු රැස් කරද්දී ලකුණු 15-06ක් බවට ලකුණු පුවරුව පත් වූ අතර මියුසියස් ක්‍රීඩිකාවන් කෙසේ හෝ තරගයේ ලකුණු පරතරය රඳවා ගැනීමට සමත් විය. ගේට්වේ කණ්ඩායම ලකුණු රැස් කරන්නට උත්සහ කළත් ලකුණු 19-08ක් ලෙස මියුසියස් ක්‍රීඩිකාවන් ඉදිරියෙන්ම රැඳුණේ ගේට්වේ ක්‍රීඩිකාවන්ගේ ගෝල විදින්නියන්ගේ පැහැදිලි දුර්වලතා නිසයි. දෙවන කාර්තුවේ දී කණ්ඩායම් දෙකම ලකුණු හත බැගින් රැස් කිරීම විශේෂත්වයක්.

පළමු අර්ධය අවසානයේ: ගේට්වේ ජාත්‍යන්තර පාසල 09 – 19 මියුසියස් විද්‍යාලය

තුන්වැනි කාර්තුවේ පළමුවෙන් ලකුණු රැස් කළේ ගේට්වේ කණ්ඩායමයි. මියුසියස් ආරක්ෂක ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ගේට්වේ ගෝල වැළැක්වීමේ ක්‍රීඩා විලාශයක නිරත වුණු අතර ලකුණු 11-22ක් ලෙස මියුසියස් කණ්ඩායම ඉදිරියෙන් සිටියේ ගේට්වේ ක්‍රීඩිකාවන්ට ප්‍රබල  පීඩනයක් එල්ල කරමින්. මියුසියස් කණ්ඩායම වෙනුවෙන් විජේනායක හා නෙත්මි විජේනායක සහෝදරියන් ගෝල විදින්නියන් වශයෙන් සුපිරි දක්ෂතා පෙන්වීම මියුසියස් විද්‍යාලයට ප්‍රබල වාසියක් වුනා.

අවසන් තරගය ජය ගනිමින් තර්ජීනි නැවතත් වාර්තා පොත් අලුත් කරයි

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් වටයේ තරග අද….

ලකුණු 11-25ක් ලෙස මියුසියස් කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක යෙදුණේ කෙටි හා වේගවත් පන්දු යොමු කිරීම් සමඟින්. අනෙක් අතට ගේට්වේ කණ්ඩායම දිගු පන්දු හුවමාරු කිරීම් යොදා ගත් අතර ඒවා බොහෝ විට නැවතුණේ මියුසියස් මැදපෙළ ක්‍රීඩිකාවන්ගේ දෑත් තුළයි.

මියුසියස් ක්‍රීඩිකාවෝ අකුණු සර වන් පන්දු හුවමාරු කිරීම්වලින් ලකුණු පුවරුව ලකුණු 12-30ක් බවට පත් කළ අතර තෙවැනි වටයේ දී මියුසියස් විද්‍යාලය ලකුණු 11ක් රැස් කරන විට ගේට්වේ ක්‍රීඩිකාවන් ලකුණු 3කට සීමා වීම විශේෂයක් වුනා.

තුන්වැනි කාර්තුව: ගේට්වේ ජාත්‍යන්තර පාසල 12 – 30 මියුසියස් විද්‍යාලය

වෙහෙසට පත්ව සිටියත් අවසන් කාර්තුවේ දී කණ්ඩායම් දෙකම කරට කර ලකුණු රැස් කිරීම ආරම්භ කළේ ලකුණු පුවරුව 16-35ක් බවට පත් කරමින්.

මෙවර නම් ගේට්වේ ක්‍රීඩිකාවන් දැඩි උත්සහයකින් ක්‍රීඩා කරන බව පෙනුනත් කාලය ඔවුන් සතුව තිබුණේ නැත. ලකුණු 17-36ක් 18-36ක් ලෙස තරගය ඉදිරියට ඇදුණු අතර අවසන් තත්පරයේ දී ද ලකුණක් රැස්‌ කළ මියුසියස් ක්‍රීඩිකාවෝ ලකුණු 18-38ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කරමින් මාරි මියුසියස් – රෝහිණී අලස් අභියෝගතා කුසලානය දෙවන වතාවටත් මියුසියස් කණ්ඩායම රැගෙන යන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ගේට්වේ ජාත්‍යන්තර පාසල 18 – 38 මියුසියස් විද්‍යාලය

තරගයේ ලකුණු සටහන

  • පළමු කාර්තුව – ගේට්වේ ජාත්‍යන්තර පාසල 02 – 12  මියුසියස් විද්‍යාලය
  • දෙවන කාර්තුව – ගේට්වේ ජාත්‍යන්තර පාසල 07- 07  මියුසියස් විද්‍යාලය
  • තුන්වැනි කාර්තුව – ගේට්වේ ජාත්‍යන්තර පාසල 03 – 11 මියුසියස් විද්‍යාලය
  • සිව්වැනි කාර්තුව – ගේට්වේ ජාත්‍යන්තර පාසල 06 – 08  මියුසියස් විද්‍යාලය

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<