දෙවන අර්ධයේ තියුණු සටනින් රිනවුන් සමාජයට ජය

528
Renown SC v Solid SC

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 32 වටයේ තවත් තරගයක් අලුත්ගම සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවතියේ, ගෝල්ඩන් රයිස් ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතරයි. ගෝල 4-1ක් ලෙස එම තරගයෙන් ජය ගත්තේ රිනවුන් කණ්ඩායමයි.

සිවිල් ආරක්ෂකයින්, ගුවන් භටයන් හමුවේ පරාජය වේ

සුපිරි තිස් දෙදෙනාගේ වටයේ තවත් උද්වේගකර තරගයක්, සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර අද (21) කැළණිය පාපන්දු ක්‍රීඩා…

II වන කාණ්ඩය යටතේ තරග වදින ගෝල්ඩන් රයිස් කණ්ඩායම අවසන් 64 දෙනාගේ තරග වටයේ දී හයිලෑන්ඩර්ස් කණ්ඩායම හමුවේ පරාජය වුව ද, හයිලෑන්ඩර්ස් කණ්ඩායම යුධ හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකුට වැඩියෙන් යොදා ගනිමින් එම තරගය ක්‍රීඩා කළ බව අනාවරණය වීමෙන් පසුව ගෝල 3-0ක් ලෙස ගෝල්ඩන් රයිස් කණ්ඩායමට ජයග්‍රහණය පිරිනමන ලදි. රිනවුන් කණ්ඩායමට ද මුලතිව්හි යන්ග් බර්ඩ් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ ජයග්‍රහණය පිරිනමන ලදි.

ක්‍රීඩා පිටියේ පැවති දුර්වල තත්වය හේතුවෙන් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී රිනවුන් කණ්ඩායමට සිය සුපුරුදු ප්‍රබල ක්‍රීඩා රටාව දියත් කිරීමට අපහසු විය. ප්‍රතිවාදීන් බලාපොරොත්තු වූයේ ඒ මඟින් ප්‍රබල රිනවුන් කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව දුර්වල කිරීමයි.

කෙසේ නමුත් තරගය ඉදිරියට ඇදී යද්දී මොහොමඩ් මුජීබ් සහ මොහොමඩ් අසාත්, ‘වින්ග්’ ක්‍රීඩකයින් උපක්‍රමශීලිව යොදා ගනිමින් එම අපහසුතා මඟ හරවා ගන්නට සමත් විය. මොහොමඩ් ෆාසල් සහ මොහොමඩ් රිෆ්නාස් වැනි පළපුරුදු ක්‍රීඩකයින් ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් තරගයේ පළමු අර්ධය නිමා වන්නට මිනිත්තු 15ක් ඉතිරිව තිබිය දී තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට රිනවුන් කණ්ඩායම සමත් විය. රිෆ්නාස් ගෝල රාමුව ආසන්නයේ සිට එල්ල කළ පහර ගෝල රකින ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පසුකරමින් කෙලින්ම ගෝල රාමුව තුළට ඇදී යාමෙන් එම ගෝලය වාර්තා විය.

මිනිත්තු කිහිපයකට පසුව අසාත් හිසින් පහරක් එල්ල කරමින් තම කණ්ඩායමට 2 වන ගෝලය හිමි කර දීමට උත්සාහ කළ ද එය වළක්වන්නට ගෝල රකින ක්‍රීඩක ප්‍රනාන්දු සමත් විය.

තවත් මිනිත්තු කිහිපයකට පසුව ගෝලයක් වාර්තා කිරීමට මොහොමඩ් යස්රිට හිමිවූ පහසු අවස්ථාව ඔහු අතින් ගිලිහී ගියේය.

පළමු අර්ධය නිමාවන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී මොහොමඩ් ඉජාබ්  අනවශ්‍ය නිදහස් පහර අවස්ථාවක් හිමිකර දෙන ලදී. එම පන්දුව ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් උස්මාන් සහ අනෙකුත් ක්‍රීඩකයන් අතරට යොමු කළ අතර එය අවස්ථාවක් කරගත් ෆර්හාන් මරික්කාර් ගෝලයක් වාර්තා කළේය. පළමු අර්ධය නිමාවන විට තරගය 1-1ක් ලෙස සම තත්වයේ පසුවිය.

පළමු අර්ධය : ගෝල්ඩන් රයිස් 01 – 01 රිනවුන්  

දෙවන අර්ධය ආරම්භයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ රිනවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තම කණ්ඩායමේ දෙවන ගෝලය රැස්කර ගන්නට සමත් විය. මෙහි දී රිෆ්නාස් යොමු කළ පන්දුවට හිසින් පහසුවෙන් පහරක් එල්ල කළ අසාත් එම ගෝලයට හිමිකම් කීය.

උස්මාන් සහ හකීම් කමිල් අතර ඇති වූ ව්‍යාකූලතාව ප්‍රයෝජනයට ගනිමින් මොහොමඩ් ශියාම් නැවතත් තරගය සම තත්වයට ගෙන එන්නට උත්සාහ කළ ද එය වළක්වා ගැනීමට ගෝල රකින ක්‍රීඩක උස්මාන් සමත් විය.

තරගයේ 77 වන මිනිත්තුවේ දී ෆසාල් තම කණ්ඩායමට 3 වන ගෝලය හිමි කර දුන්න ද එම ගෝලය වාර්තා කිරීමේ දී ඕෆ්සයිඩ් නීතිය උල්ලංඝනය වූ බව සහායක විනිසුරු මොහොමඩ් අර්ශාඩ් සංඥා කරන ලදි. ඒ අනුව එය ඕෆ්සයිඩ් යැයි සිතා ගෝල්ඩන් රයිස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම නතර කර තිබුණ ද  එම තීරණය වැරදි බව තීරණය කළ විනිසුරු දයාන් සෙන්දනායක තරගය පවත්වා ගෙන යන්නට සංඥා කරන ලදි.

ගෝලය ලබා නොදෙන ලෙස ගෝල්ඩන් රයිස් කණ්ඩායමේ ක්‍රීඩකයින් විරෝධතා එල්ල කළ ද ඒවා ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා රිනවුන් කණ්ඩායමට එම ගෝලය ලබා දෙන ලදි. මෙම තීරණයෙන් අසතුටට පත් ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට පැමිණෙමින් තරගය පවත්වා ගෙන යාමට බාධා එල්ල කළ අතර ඒ හේතුවෙන් මිනිත්තු කිහිපයකට තරගය නවතා දමන්නට සිදුවිය.

තරගය නැවතත් ආරම්භ වීමෙන් අනතුරුව ගෝල්ඩන් රයිස් කණ්ඩායමේ ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වීමට අපොහොසත් වූ අතර රිනවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී සිය 4 වෙනි ගෝලය ලබා ගැනීමට සමත් විය. එහි දී රිෆ්නාස් එල්ල කළ නිදහස් පහරට හිසින් පහරක් එල්ල කළ ෆාසුල් රහුමාන් එම ගෝලය රැස්කර ගන්නා ලදි.

දෙවන අර්ධය : ගෝල්ඩන් රයිස්  01 – 04 රිනවුන්

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් අසාත්

තම ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටට පත් ගෝල්ඩන් රයිස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොහොමඩ් ඉම්තියාස් ප්‍රකාශ කර සිටියේ,

“රිනවුන් කණ්ඩායම ඉතාමත් හොඳ කණ්ඩායමක්. අපි තාම පොඩි කණ්ඩායමක්. අපිට අවශ්‍ය වුණේ ඔවුන් ගෝල රැස්කිරීම නතර කිරීමට. පළමු අර්ධයේ දී අපිට ඒක කරන්න පුළුවන් වුණා. පළමු අර්ධයේ දී අපේ ඉදිරි පෙළ ක්‍රීඩා කළේ එක ක්‍රීඩකයයි. අපි දෙවන අර්ධයේ දී ඉදිරි පෙළට තවත් ක්‍රීඩකයෙක් එකතු කළා ගෝලයක් රැස්කරගන්න. අපේ ක්‍රීඩකයෝ අපි හිතුවටත් වඩා හොඳට මෙම තරගයේ දී ක්‍රීඩා කළා.”

අර්බුදකාරී තත්වයක් ඇතිවූ ගෝලය පිළිබඳව ඔහු ප්‍රකාශ කළ සිටියේ,

“ඒක අපේ ක්‍රීඩකයන් අතින් සිදුවෙච්ච වැරැද්දක්. අපිට විනිසුරුවරයා සංඥා කළාම ක්‍රීඩා කරන්නයි තිබ්බේ. අපි ඒක කළේ නෑ. ඒක හැම ක්‍රීඩකයෙක්ම දැන ගන්න ඕන මූලික දෙයක්.”

අසතුටට පත් රිනවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශ කළ සිටියේ,

“මේ වගේ ක්‍රීඩාංගණ වල පාපන්දු ක්‍රීඩා කරන්න යැයි පවසන අය පාපන්දු ගැන හරියට දන්නේ නෑ. මේ වගේ ක්‍රීඩාංගණ වල ක්‍රීඩා කරලා ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුණාම පාඩුව සිදුවෙන්නේ ඒ ක්‍රීඩකයාට සහ ඒ කණ්ඩායමටයි. මේ වගේ දේවල් වලින් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියටයි හානි වෙන්නේ.”

නමුත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටට පත් ඔහු පවසා සිටියේ,

“මේක අසාත්ගේ පළමු තරගය. ඔහු හොඳට ක්‍රීඩා කළා මේ ක්‍රීඩාංගණයේ. Center-back ස්ථානයේ ක්‍රීඩා කළ ඉජාබ් හොඳට ක්‍රීඩා කළා. හැබැයි අපට තවමත් හොඳ Striker කෙනෙක් අඩුයි. කොහොම වුණත් අද අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු විදිහට ඉදිරි තරග ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.”

ගෝල ලාභීන්
ගෝල්ඩන් රයිස් කණ්ඩායම – ෆර්හාන් මරික්කාර් 45+2′
රිනවුන් කණ්ඩායම – මොහොමඩ් රිෆ්නාස් 30′, මොහොමඩ් අසාත් 77′, ෆාසුල් රහුමාන් 90+6′

කොළඹ පාපන්දු සමාජය 03 – 00 යොන්ග් බර්ඩ්ස් (නුවරඑළිය)
කොම්රේඩ්ස් ක්‍රීඩා සමාජය 02 (01) – 2 (04) පෙලිකන්ස් ක්‍රීඩා සමාජය
කිරුළුපණ එක්සත් 01 – 05 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට