සත්කාරකයින් හමුවේ ශ්‍රී ලංකා සිහින බොඳ වේ

93

29 වැනි ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සාර්ථක තෙවැනි දිනය අද (16) නිමාවට පත්විය. අද දිනයේ පැවති තරගවල ප්‍රතිඵලවලට අනුව A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පිළිවෙළින් ජපානය සහ දකුණු කොරියාව සමත් විය. 

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළඹෙන 20 වැනිදා දක්වා පැවැත්වේ.

හොංකොං හමුවේ ශ්‍රී ලංකා බේස්බෝල් අමාරුවේ වැටේ

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු …….

තායිවානය සහ ශ්‍රී ලංකාව

B කාණ්ඩයේ තරගයක් ලෙස සත්කාරක තායිවානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ලකුණු 17-00ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සත්කාරක තායිවාන කණ්ඩායම සමත් විය. (තායිවානය 17 – 00 ශ්‍රී ලංකාව)

තරගයේ පළමු පිතිකරණ අවස්ථාව හිමි වූ සත්කාරක තායිවාන කණ්ඩායම ලකුණු රැස්කර ගැනීමට අපොහොසත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවීය. (තායිවානය 0 – 0 ශ්‍රී ලංකාව)  

දෙවන ඉනිමේ පළමු පිතිකරණ අවස්ථාවට පිවිසි සත්කාරකයින් ලකුණු 7ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනි. පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට තායිවාන ක්‍රීඩකයෝ වගබලා ගත්හ. (තායිවානය 7 – 0 ශ්‍රී ලංකාව)  

ශ්‍රී ලංකාව සහ තායිවානය අතර තරගයේ අවස්ථාවක් ©BFA

තරගයේ තෙවැනි ඉනිමේ පළමු පිතිකරණයේ නියමිත දැවීම් 3 අවසානයේ තවත් ලකුණු 5ක් තම ලකුණු පුවරුවට එකතු කිරීමට සත්කාරක තායිවානය සමත් විය. ඔවුන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවීම් 3 ද කිසිදු ලකුණක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදෙමින් දවා ගත්තේය. (තායිවානය 12 – 00 ශ්‍රී ලංකාව)  

සිව්වැනි ඉනිමේ පළමු පිතිකරණයට පිවිසි තායිවාන කණ්ඩායම එම ඉනිමේ දී ද ලකුණු 3ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවීම් 3 ලකුණු ලබා දීමකින් තොරවම දවා ගැනීමට සමත් විය. (තායිවානය 15 – 00 ශ්‍රී ලංකාව)  

තරගයේ පස්වැනි ඉනිමේ දී තවත් ලකුණු 2ක් රැස්කර ගනිමින් තවදුරටත් තරගයේ පෙරමුණ ගත් සත්කාරක තායිවාන කණ්ඩායම එවරත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවීම් 3 ලකුණු ලබා දීමකින් තොරව දවා ගත්හ. (තායිවානය 17 – 00 ශ්‍රී ලංකාව)  

5 වැනි ඉනිම අවසානයෙ ලකුණු 15 පරතරයක් තිබීම නිසාවෙන් සත්කාරක තායිවානයට ජයග්‍රහණය හිමි විය.

දකුණු කොරියාව සහ පිලිපීනය

B කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු කොරියාව සහ පිලිපීනය අතර තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ ඉනිම් 7ක් අවසානයේ ලකුණු 12-02ක් ලෙස ඉදිරියෙන් සිටි දකුණු කොරියානු කණ්ඩායමයි. “7 වැනි ඉනිමේ දී ලකුණු 10ක පරතරය” හේතුවෙන් එසේ ඔවුන්ට ජයග්‍රහණය හිමි විය. (දකුණු කොරියාව 12 – 02 පිලිපීනය)

චීනය සමඟ පාකිස්තානය

B කාණ්ඩයේ තවත් තරගයකට චීනය සමඟ පාකිස්තානය සහභාගී වූ අතර එහි දී ඉනිම් 7ක් අවසානයේ ලකුණු 11-01ක් ලෙස ඉදිරියෙන් සිටි චීනයට ජයග්‍රහණය හිමි වූයේ “7 වැනි ඉනිමේ ලකුණු 10ක පරතරය” හේතුවෙනි. (චීනය 11 – 01 පාකිස්තානය)

ජපානය සහ හොංකොං

A කාණ්ඩයේ තරගයක් ලෙස ප්‍රබල ජපානය සහ හොංකොං රාජ්‍යය අතර පැවති තරගයෙන් ලකුණු 15-00ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජපාන කණ්ඩායම සමත් විය. (ජපානය 15 – 0 හොංකොං)

බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ශ්‍රී ලංකාවට

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවති 14 වන බටහිර ආසියානු …..

තරගාවලියේ සිව්වැනි දිනය වන හෙට (17) දිනයේ දී මූලික වටයේ අවසන් තරගය ලෙස ප්‍රබල ජපාන කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සියලුම පුවත් සහ තවත් ක්‍රීඩා පුවත් දැන ගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<