ක්‍රිකට් තාක්ෂණයේ අ(න)වශ්‍යතාවය

959

අද සනත් ජයසූරියව කනිෂ්ඨ ක්‍රීඩකයෙකු කොට පාසල් ක්‍රිකට් පුහුණු කඳවුරකට යවමු. එසේත් නැත්නම් මුත්තයියා මුරලිදරන්ව කනිෂ්ඨ දඟපන්දු පුහුණු සැසියකට යවමු. නැතහොත් ලසිත් මාලිංගව කනිෂ්ඨ වේගපන්දු පුහුණු කඳවුරක් වෙත යවමු. ඔව්, ඔබට ඔවුන් ගැන තරහක් ඇත්නම් පමණක්! ඔවුන්ව ක්‍රිකට් ක්‍රීඩාවෙන් පලවාහැරෙන තැන එතැන විය හැකිය.

නූතන පුහුණුකරුවා?

පොතේ ක්‍රිකට්, එසේත් නැත්නම් තාක්ෂණික ක්‍රිකට්වලට ඇති නොහැකියාව නිසා පුහුණුකරුවන්ගේ දෝෂාරෝපණවලට ලක්වන දක්ෂ අංකුර ක්‍රීඩකයන් රාශියකට, දීප්තිමත් ක්‍රිකට් අනාගතයක් අහිමිව යනු අපි දැක ඇත්තෙමු.

Courtesy - cloudfront.net - කවර් ඩ්‍රයිව් පහර පුහුණුවන දරුවෙක්
Courtesy – cloudfront.net – කවර් ඩ්‍රයිව් පහර පුහුණුවන දරුවෙක්

එහෙත් තාක්ෂණික ක්‍රිකට් පසුපස හඹා නොගොස් තමන්ව විශ්වාස කළ බව නිසාම ක්‍රිකට් ලොවේ හිනිපෙත්තටම නැගි පිතිකරුවන් සහ පන්දු යවන්නන් ද බොහොමයක් සිටියි. ඔවුන් රැකගැනීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරය ඉටු කර ඇත්තේ ද පුහුණුකරුවන්ම ය. එසේ නම්, ක්‍රීඩකයෙකු ඔපමට්ටම් කිරීම හෝ මලානික කිරීම යන කාර්යයන් ද්විත්වයම කළ හැක්කේ පුහුණුකරුවන්ටම ය.

Courtesy - zimbio.com – සනත් ජයසූරියගෙන් තාක්ෂණයෙන් තොර අලංකාර කවර් ඩ්‍රයිව් පහරක්
Courtesy – zimbio.com – සනත් ජයසූරියගෙන් තාක්ෂණයෙන් තොර අලංකාර කවර් ඩ්‍රයිව් පහරක්

විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන පාර්ශ්වයන් (ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන්, අනුග්‍රාහකයන්, ප්‍රචාරකයන්) කෙමෙන් ඉන් ඉවත්වී සීමිත ඕවර තරග වෙත වැඩි අවධානයක් යොමු කිරීමත් සමඟ වේගවත් පිතිකරණයන් සහ “විකාර රූපී” පන්දු යැවීම් අද මහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. ටෙස්ට් තරග සඳහා ක්‍රීඩකයෙකුට ගෙවන මුදල් ප්‍රමාණය ඉහළ මට්ටමක රඳවා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැඩි ප්‍රයත්නයක් දැරුව ද, ලොව පුරා පැවැත්වෙන සීමිත පන්දුවාර තරග (ඕවර 50, විස්සයි-විස්ස) ලෝක ක්‍රිකට් වෙනත්ම තලයකට රැගෙන ගොස් තිබේ. වෙසෙසින්ම ප්‍රමුඛ පෙලේ විස්සයි-විස්ස ලීගයන් අද වන විට මුදල් ආකරයන් බවට පත්ව ඇත.

පවතින වේගවත් ක්‍රිකට් ශෛලිය වෙත ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ දී පුහුණුකරුවන්ට දුර පෙනෙන දෑසක් තිබීම අනිවාර්ය ය. සනත්, මුරලි සහ මාලිංග වැන්නන් ජාතික තලයට පියමනින්නේ එවන් දෑස්වල ගැටීමෙන් පසුයි. නමුත් එවන් දෑස් නොදැකම මිලින වූ කොතෙක් අංකුර ක්‍රීඩකයන් සිටින්නට ඇත්ද?

ඉන්දියාව ඉක්මන් වූ හැටි

ආසියාවේ අපට එංගලන්තයේ ඉයන් බොතම්ලාට, ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ලාට මෙන් පුළුල් උරතලයක් සහ ශක්තිමත් බාහු යුගලක් පිහිටන්නේ කලාතුරකිනි. එහෙත් මැණික් කටුවෙන් සහ ඇඟිලිවලින් අප තරම් කැටයම් කරන්නට හැකි ක්‍රිකට් ක්‍රීඩකයන් ලොව අන් කිසිම රටක නැත. එසේ නම් ලොව පරාජය කරන්නට යන ගමනේ දී අප ප්‍රමුඛව යොදා ගත යුත්තේ අන් අයට නොමැති, අපට සුලබව ඇති “අපේකම්” නොවේ ද?

Courtesy - imgci.com - අජන්ත මෙන්ඩිස්ගෙන් කැරම් පන්දුවක්
Courtesy – imgci.com –
අජන්ත මෙන්ඩිස්ගෙන් කැරම් පන්දුවක්

මෙය පැහැදිලිව හඳුනාගත් ඉන්දියාව ලොව ක්‍රිකට් දැවැන්තයා වන ගමනට 100%ක් අවධානය යොමුකොට ඇත්තේ “ක්‍රිකට් පොත” තමන්ගේ වචනයෙන්ම ලියමිනි. එසේ නම් ශ්‍රී ලාංකික අපද එංගලන්තයෙන් ආ ක්‍රිකට් පොත ස්වභාෂාවෙන් ලියාගත යුතුය. අපේ ක්‍රමයකට හසුරුවා ගත යුතුය. ඉන්දියානු මහමොළකාරයන් විසින් නිර්මාපිත, “තමන්ගේ ශක්තිය විශ්වාස කරන ක්‍රිකට් පොත” කියවා ලෝක පිටිය තරණය කළ කිහිප දෙනෙකු වෙත අවධානය යොමු කරමු.

විරේන්දර් ෂෙවාග්

Courtesy - yimg.com - විරේන්දර් ෂෙවාග් දෑසින් බලා දෑතින් පහර දෙයි
Courtesy – yimg.com –
විරේන්දර් ෂෙවාග් දෑසින් බලා දෑතින් පහර දෙයි

ඔහුට පන්දුව පතිතවන ස්ථානයට පාදය ගෙන යන්නට බැරිය. ඔහුට බිම දිගේ පහරවල් එල්ල කරන්නට බැරිය. ඔහුට තම පිත්ත පන්දුව වෙත අංශක 90 කෝණයෙන් ගෙන එන්නට බැරිය. එසේ නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික වශයෙන් දුර්වලයෙකි.

“මොකෙක්ද මේ?” ඉන්දියානු පුහුණුකරුවන් එසේ කීවේ නැත. ඔහුව අනවශ්‍ය ලෙස වෙනස් කළේ ද නැත. ලොව එක්දින සහ ටෙස්ට් දෙඅංශයේ දී ම ලකුණු 7,500 පසු කළ එකම ආරම්භක පිතිකරුවා මොහුයි. වේගවත්ම ටෙස්ට් ත්‍රිත්ව ශතකලාභියාද ඔහුයි (පන්දු 278). ටෙස්ට් ලකුණු 2,000 පසුකළ පිතිකරුවන් අතුරින් ලකුණු ලබා ගැනීමේ ප්‍රහාරාත්මක වේගය අතින් ඉහළින්ම සිටින්නේ ද ඔහුයි (82.23). තාක්ෂණය? දුර්වලයි. දස්කම්? උපරිමයි.

මහේන්ද්‍ර සිං දෝනි     

Courtesy - wordpress.com - මහේන්ද්‍ර සිං දෝනි ගුවනේ සිට එල්ල කළ පුල් පහරක්
Courtesy – wordpress.com – මහේන්ද්‍ර සිං දෝනි ගුවනේ සිට එල්ල කළ පුල් පහරක්

කිසිම තාක්ෂණයකින් තොර, එහෙත් ශක්තිමත් මැණික් කටු යුගලයකින් යුත් මෙම පිතිකරුවා ඉන්දියානුවන් විසින් සොයා ගැනෙන්නේ ඉන්දියානු දුම්රිය සේවා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ දීයි. ඔහුගේ කොණ්ඩය පොල් කෙස්සක් මෙන් පහතට හැලී තිබිණි. ඔහු දිනකට පිරිසිදු එළකිරි ලීටර් කිහිපයක් පානය කරයි. ඔහුට ඉංගිරීසිය හසුරුවන්නට නොහැකිය. ලංකාවේ “පොෂ්” වචනයෙන් කිවහොත් ඔහු “ගොඩයෙකි”. (පිටින් බලා නිගමනය)

පළමු එක්දින තරග 4 තුළ දී අසාර්ථක වන මොහු දෙස ඉන්දියානු බලධාරීන් කලබල වූ දෙනෙතින් බැලුවේ නැත. තම 5 වැනි එක්දින ඉනිමේ දී පන්දු 123ක් තුළ දී යෝධ 6 පහරවල් 4ක් සමඟින් ලකුණු 148ක් වාර්තා කරන දෝනි, කිසිසේත්ම තම තාක්ෂණය එංගලන්තයට පාවා දෙන්නේ නැත. ඔහුගේම අමුතු පහරවල් වලින් එක්දින තරග 300කට වැඩි ගණනකට ක්‍රීඩා කරන ඔහු ලකුණු 50කට වැඩි සාමාන්‍යයක් රඳවා ගෙන ඇති සේම මේ වන විට “ලොව සිටින හොඳම එක්දින තරග අවසන් කරන්නා” වී හමාරය. ඔහුගේ තාක්ෂණය? හාස්‍යජනකයි. ඔහුගේ දස්කම්? උපරිමයි. දැන් ඔහුගේ ඉංග්‍රීසි? අනර්ඝයි.

ස්ථාවර පාදමක් මත සිට දෑතින් වැනීම

මේ පිතිකරුවන් දෙදෙනෙකු පමණි. එතැනින් ඇරඹුණු “ඉන්දියානු තාක්ෂණික ක්‍රිකට් විප්ලවය”, එසේත් නැත්නම් “පාද දෙක සමාන්තරව තබාගෙන මැණික් කටුවල හයිය පෙන්වන ඉන්දියානු ක්‍රිකට්”, ලෝක ක්‍රිකට් ආධිපත්‍යය තමන් සතුකර ගනිමින් සිටියි. විරාත් කෝලි, රෝහිත් ශර්මා, හර්දීක් පාන්ඩ්යා වැනි “ඉන්දියානු තාක්ෂණය” සහිත පිතිකරුවන් අතර ආජින්ක්‍ය රහානේ වැනි “ක්‍රිකට් තාක්ෂණයෙන්” යුත් පිතිකරුවන් ‘අතරින් පතර’ බිහිවූවත් නූතන ක්‍රිකට් හදගැස්ම ග්‍රහණය කරගත් අනෙක් සියලුම ඉන්දියානු පිතිකරුවන් එංගලන්තයට “බායි” කියා ඉන්දියානු තාක්ෂණය තදින් වැළඳගෙන ඇත.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ පිතිකරුවන්ට දැන් සිදු වී ඇත්තේ “තාක්ෂණික වින්නැහියකි”.

චන්දිමාල් ඛේදවාචකය

Courtesy - espncdn.com - දිනේෂ් චන්දිමාල් සහජයෙන් ගෙන ආ සමබරතාවය
Courtesy – espncdn.com – දිනේෂ් චන්දිමාල් සහජයෙන් ගෙන ආ සමබරතාවය

දිනේෂ් චන්දිමාල් ඒ තාක්ෂණික වින්නැහියට හසුවූයෙකි. පාසල් සමයේ දී සාර්ථක සහ වේගවත් පිතිකරුවෙකු වූ චන්දිමාල් තම දෙවන එක්දින ජාත්‍යන්තර ඉනිමේ දී ම ශතකයක් වාර්තා කළේය. හයවැනි ඉනිමේ දී තවත් ශතකයක් වාර්තා කරන චන්දිමාල් වේගවත් සහ නැගී එන පිතිකරුවෙකු ලෙස ලෝකයේ අවධානය දිනා ගනිමින් සිටියේය. ඒ කිසිවකට ඔහුගේ තාක්ෂණයේ පැවති දුර්වලකම් අදාළ නොවීය. පහරක් එල්ල කරන විට ඔහුගේ හිස එක් අතකය. පිත්ත තව අතකය. පාද තවත් අතකය. එහෙත් ලකුණු ලැබිණි. සමහරෙකුගේ සමබරතාවය සහජයෙන් ගෙන එන්නකි. ඊට කිසිවක් එකතු කළ යුතු නැත. චන්දිමාල්ද එවැන්නෙකි.

ඔහුගේ නිදහස් තාක්ෂණය සැණින් විධිමත් කරන්නට ගොස් අපට ඔහුගේ සම්පූර්ණ දස්කම් අහිමිව ගියේය. චන්දිමාල් අසාර්ථක විය. මේ බව නොදත් ප්‍රේක්ෂකයන් ඔහුට බැනවැදිණි. එතැන් පටන් චන්දිමාල්ගේ මානසික මට්ටම ද කඩා වැටිණි. එහෙත් තවදුරටත් තාක්ෂණය මතම පිහිටීමෙන් යම්තාක් දුරකට සාර්ථක වන්නට ඔහුට හැකිව ඇත.

කෙසේ නමුත් දෙනෙතින් පමණක් නොව ඔළුවෙන් ද ක්‍රිකට් නැරඹු අපට පාළු දනවන්නක් වන්නේ චන්දිමාල්ගේ සුපුරුදු වේගවත් සහ කසපහර වැනි ඉනිම් තවදුරටත් දක්නට නොලැබීමයි. තාක්ෂණය යනු ඉතාම ප්‍රවේශමෙන් නවකයෙකුට එන්නත් කළ යුත්තකි. චන්දිමාල්ගේ උදාහරණය ගෙන හැර පෑවේ පුහුණුකරුවෙකු ඒ පිළිබඳව කෙතරම් ප්‍රවේශම් සහිත විය යුතු ද යන්න පැහැදිලි කිරීමටයි.

අනෙක් වින්දිතයෝ

එසේ “තාක්ෂණික වින්නැහියට” හසුවූ තවත් කිහිප දෙනෙකුම මේ මොහොතේ සිහිපත් කළ හැකිය. තිසර පෙරේරාද ඉන් එක් අයෙකි. මහේල උඩවත්ත, අවිශ්ක ගුණවර්ධන වැනි තවත් නම් කිහිපයක්ම මතකයට නැගෙයි.

Courtesy – zimbio.com - තිසර පෙරේරාගෙන් පතාක පහරක්
Courtesy – zimbio.com – තිසර පෙරේරාගෙන් පතාක පහරක්

පන්දු යවන්නෙකු ලෙස අජන්ත මෙන්ඩිස් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළේ ලොව දැවැන්තම පිතිකරුවන් සුරතලුන් කර ගනිමිනි. කඩුලු ලබාගැනීම ඔහුට කජු කනවාක් මෙන් පහසු විය.

එහෙත් පසුකාලීනව ආබාධවලට ලක්වූ ඔහුට ජාත්‍යන්තර පිටිය තුළ තම ආධිපත්‍යය රැක ගැනීමේ ඔවදන් ලැබුණේ දැයි අප කල්පනා කළ යුතුය. ආබාධයට ලක්වීමෙන් පසුව නැවත පිටියට එන අජන්ත වෙත හතරවටින්ම ප්‍රහාර එල්ල වූ අතර ඊට තම කපටි මොළයෙන් පිළිතුරු දීමේ හැකියාව ඔහු කෙරෙන් තොරවී ඇති බවක් දිස්විය. එහෙත් ඔහු පන්දු යවන තාක්ෂණය දියුණු වී තිබිණි.

අපට ඔහුව ප්‍රවේශම් කර ගත නොහැකි විය. කඩුලු ලැබීමට නොහැකි නම් තාක්ෂණයෙහි ඇති වැදගත්කමක් නැත. දිනය අවසානයේ දී තරග දිනවීමේ සරලම ක්‍රමය නම් “පිත්තේ පිටත දාරයෙන් හෝ ලකුණු රැස්කිරීම සහ පිතිකරුට පසුපස හරවා හෝ යවන පන්දුවලින් කඩුලු ලබා ගැනීම”යි.

ජාත්‍යන්තරයෙන් උදාහරණ කිහිපයක්

උපතින් ගෙන එන හැකියාවන් වලට ජාත්‍යන්තර තලයේ දී එක්කළ යුත්තේ මූලිකාංග (basics) කිහිපයක් පමණයි. සහජ පිතිකරණ සහ පන්දු යැවීමේ දක්ෂතා සහිත වූවන්ට ඕනෑවට වැඩි තාක්ෂණික උපදෙස් ලබා දීම මඟින් ඔවුන්ගේ ක්‍රිකට් දිවියම අනාථභාවයට පත්විය හැකිය.

සහජ හැකියාවට මූලිකාංග කිහිපයක් පමණක් එකතුකරගනිමින් ජාත්‍යන්තරය ජයගත් ඒ. බී. ඩිවිලියර්ස්, ඩේවිඩ් වෝනර්, ග්ලෙන් මැක්ස්වෙල්, කෝරි ඇන්ඩර්සන්, ජෝස් බට්ලර්, හර්දීක් පාන්ඩ්යා, ඩේවිඩ් මිලර් වැනි දීර්ඝ නම් ලැයිස්තුවක් මෙහි දී ඉදිරිපත් කළ හැකිය.

Courtesy - rediff.com - ඩිවිලියර්ස්ගේ තාක්ෂණය ක්‍රිකට් පොතට අලුත් පරිච්ඡේදයකි
Courtesy – rediff.com –
ඩිවිලියර්ස්ගේ තාක්ෂණය ක්‍රිකට් පොතට අලුත් පරිච්ඡේදයකි

මෙසේ සටහන් කරන අතරම මතක තබාගත යුතු කරුණක් නම්, පිතිකරුවන්ට අපහසු අභියෝග හිමිවන ටෙස්ට් තරග ක්ෂේත්‍රයේ දී සාර්ථක වීමට නම් තාක්ෂණික වශයෙන් යම් මට්ටමක සිටීම අනිවාර්ය බවයි. තාක්ෂණයෙන් තොරව ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය ආදී උප මහාද්වීපික තලයේ රටවල් තුළ දී පිතිකරුවෙකුට සාර්ථක විය හැකි වුවත්, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ආදී ඉපිලීම සහ වේගය ඇති තණතිලි මත හරඹ පෑමට නම් තාක්ෂණය අත්‍යාවශ්‍ය ය.

Courtesy - 1.bp.blogspot.com - ලොව කොහිදීත් කැපීපෙනුණු සචින් ටෙන්ඩුල්කාර්ගේ තාක්ෂණය
Courtesy – 1.bp.blogspot.com – ලොව කොහිදීත් කැපීපෙනුණු සචින් ටෙන්ඩුල්කාර්ගේ තාක්ෂණය

මූලික තාක්ෂණයට “ශ්‍රී ලාංකීයත්වය” එක්කර සාර්ථක වූවෝ  

පෙර තමන්ගේ ශරීර රිද්මය මැනවින් හඳුනාගත් ආසියානුවන් වූයේ ශ්‍රී ලාංකිකයන්ම ය. එසේ තම ශරීර රිද්මය අනුව ක්‍රීඩා කොට ක්‍රිකට් ලෝක ශූරතාවයක් පවා දිනා  ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඊට පිතිකරණ සාක්ෂි පහතින් දකිමු.

සනත් ජයසූරිය

Courtesy - quoracdn.net - සනත්ගෙන් ඔහුටම ආවේණික ගයිඩ් කිරීමක්
Courtesy – quoracdn.net – සනත්ගෙන් ඔහුටම ආවේණික ගයිඩ් කිරීමක්

ඔහුට බිමදිගේ පහරවල් එල්ල කිරීම අපහසු විය. ඔහුගේ කට් පහර සෑමවිටම ඇදීගියේ ගුවනේයි. ඔහුගේ පාදය දෙසට එල්ලවන පන්දු ෆ්ලික් කිරීමේ දී ඒවා ද ගුවන හරහා ඇදීගිය බැවින් පිතිකරණ ලැයිස්තුවේ 7වැනි ස්ථානයෙන් පිටියට පිවිසි සනත් නිතර දැවී ගියේය. 1989 වසරේ දී කණ්ඩායමට එක්වූ සනත්ට වසර 6ක් පුරාවටම ලබාගතහැකි වූයේ එක් ශතකයක් පමණයි.

ඔහුගේ විශේෂත්වය වූයේ ඔහුගේ බාහු යුගලයයි. ඔහුට ජානවලින්ම ලැබුණු බාහු ශක්තිය කුඩාකල සිට ඔහු ප්‍රියකළ සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිදියුණු විය. යාර 30 සීමාවට ඉහළින් පහසුවෙන්ම පහරවල් එල්ල කළ හැකි බව නිසාම ඉනිමක ආරම්භයේ දී ඔහුව යොදා ගැනීම වඩා සාර්ථක විය හැකි බව එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ බුද්ධිමත් නායක අර්ජුන රණතුංග විසින් හඳුනා ගන්නා ලදි. එතැන් පටන් ආරම්භක පිතිකරුවෙකු වූ සනත්ගේ එක්දින ශතක ප්‍රමාණය 28ක් දක්වා ඉහළ ගියේ එතෙක් මෙතෙක් ලොව පහල වූ බිහිසුණුම පිතිකරුවෙකු බවට ඔහු පත්කරමිනි.

ටී. එම්. ඩිල්ෂාන්

Courtesy - thehimalayantimes.com - ඩිල්ෂාන් තම වේගවත් දෑත් යොදාගෙන එල්ල කළ පහරක්
Courtesy – thehimalayantimes.com – ඩිල්ෂාන් තම වේගවත් දෑත් යොදාගෙන එල්ල කළ පහරක්

පිතිකරණයේ යෙදෙන විට ඔහුගේ පාද ස්ථානගත වන ආකාරය විකාරරූපී ය. ඔහුගේ හිස ස්ථාවර නැත. ඔහු විකට්ටුවෙන් මඳක් පා ඉන්න වෙතට ඇදෙන ගතියක් පෙන්වයි. පහර අවසන් වන විට හෙල්මටයේ මුව ආවරණය කනේ ය. එපමණ දුර්වලකම් සහිතව ඩිල්ෂාන් මෙතරම් සාර්ථකත්වයක් ලබාගත්තේ කෙසේද?

ඩිල්ෂාන්ගේ දෑත් උපතින්ම වේගවත්ය. දෑත් පමණක් නොව ඔහුගේ සියලු අංගෝපාංග වේගවත් ය. පන්දුව ඉක්මණින් දැක, ඉක්මණින් තම දෑත් ඒ වෙත යොමුකළහැකි අද්විතීය හැකියාවක් ඔහු සතුවිය. ඔහු අතිදක්ෂ පන්දු රකින්නෙකු බවට පත්කරන්නේ ද එම උපන් හැකියාවයි.

ආරම්භයේ දී වැඩි වශයෙන් පිට ඉන්නෙන් එපිටට වේගවත් පහරවල් එල්ල කළ ඩිල්ෂාන් කෙමෙන් පා ඉන්න වෙත එල්ල කරන පහරවල් ගණන ද වැඩිකර ගත්තේය. කෙසේ හෝ ‘ඔහුව සම්පූර්ණයෙන් වෙනස් කරන්නට ඔහු කිසිවෙකුට ඉඩ නොදුන් බැවින්’ ඔහු රැකුණු බැව් කිවහැකිය. ඩිල්ස්කූප් ගැන පමණක් කතා කරනවාට වඩා බොහෝ දේ ඔහු අපට ඉතිරිකර ගිය අතර ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට එක්දින ශතක 22ක් සහ අර්ධ ශතක 47ක් ඔහු නමට ලියාගෙන සිටියේය.

අරවින්ද ද සිල්වා

Courtesy -  kookaburra.biz - අරවින්දගේ අමතක නොවන හුක් පහරවලින් එකක්
Courtesy –  kookaburra.biz –
අරවින්දගේ අමතක නොවන හුක් පහරවලින් එකක්

ඔහුගේ තාක්ෂණයේ කෙතරම් හිඩැස් තිබුණ ද ඔහුගේ සෑම පහරක්ම මනරම් විය. ඔහු පිටියට පැමිණි පසු ඔහුගේ පිතිකරණය නැරඹීම, නරඹන්නා මෝහනයට පත්වියහැකි ආකාරයේ අත්දැකීමකි.

ආසියානු ක්‍රිකට් පිටියේ ඔහු තරම් තදට හුක් පහර එල්ල කරන වෙනත් පිතිකරුවෙකු සිටියේ දැයි අපැහැදිලිය. එහි තේරුම නම්, ඔහුගේ දෘෂ්ටිය එතරම් තියුණු වූ බවයි. ඔහු සතුවූ විශේෂ හැකියාව එයයි. ඒ සමඟ ශක්තිමත් මනසක් ද අරවින්ද සතුවිය. කෙතරම් ලකුණු ලබාගත් පිතිකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ බිහිවුණත්, එහි පිතිකරණ දැවැන්තයා අරවින්ද බව බොහෝ දෙනා විසින් පිළිගැනෙන්නේ එබැවිනි.

පන්දුව පිත්තේ වදින මොහොත තෙක් තීක්ෂණව නිරීක්ෂණය කරන අරවින්දගේ ග්ලාන්ස් කිරීම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මනසින් නොමැකී පවතියි. යළිත් ගම්‍ය වන්නේ මූලික ක්‍රිකට් තාක්ෂණය ලොවටම පොදු වූවත්, “එය හසුරුවා ගැනීම රටින් රටට අයත් වගකීමක් බව”යි.

එයිනුත් ශ්‍රී ලාංකිකයන් විශේෂ වන්නේ තාක්ෂණයෙන් තොර ශ්‍රී ලාංකික පිතිකරුවන් පවා පිතිකරණයේ දී ෂෙවාග්, දෝනි මෙන් අවලක්ෂණ ඉරියව් සහිත නොවීම නිසයි. සනත්, අරවින්ද, තිසර යන මේ සියල්ලන් සුපුරුදු රිද්මයට පැමිණෙන විට ඒ දෙස නෙත් නොපියා බලා සිටිය හැක. ලාංකීය ජාන එතරම් හැඩ ය.

ලාංකීයකමෙන් ගොඩගිය පන්දු යවන්නන්

උපන් හපන්කම් සහිත විකාරරූපී පන්දු යවන්නන් බිහිකිරීම අතින් නම් ශ්‍රී ලංකාව අභිබවා යා හැකි කිසිදු ක්‍රිකට් රාජ්‍යයක් අප දැක නැත. මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, සචිත්‍ර සේනානායක, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස්, තරිඳු රත්නායක ඉන් කිහිප දෙනෙකු පමණි. කෙසේ හෝ අපගේ වාසනාවට ඒ සියලු දෙනාම බුද්ධිමත් පුහුණුකරුවන්ගේ සහ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ දෑසට හසු විය.

දෑතින්ම දඟපන්දු යවන නවක තරුව

තරිඳු රත්නායක, නොහොත් “දෑතා” ක්රිකට් ක්රීඩාවේ ‘අ’ යනු ‘ආ’ යනු උගත්තේ වෙන්නප්පුව ජෝශප් වාස් විද්යාලයෙනි…

එහෙත් ඉන් කිහිප දෙනෙකු තම උපන් හැකියාව පසෙක දමා මහා තාක්ෂණය වැළඳ ගන්නට ගොස් අසරණ වූ සැටි අප අමතක නොකළ යුතුය. අත්‍යාවශ්‍යම තාක්ෂණික අංග කිහිපයක් පමණක් එන්නත් කරගෙන, උපන් හැකියාවෙන් ජාත්‍යන්තරයේ රැඳෙන්නට තරම් විශ්වාසයක් ක්‍රීඩකයෙකු සතුව තිබීම වටින බැව් පුන පුනා කියන්නේ එබැවිනි.

එතරම් පූර්වාදර්ශ, සම්පත් සහ අංකුර අප සතුව තිබිය දී නගරබද බොහෝ පාසල්වල වර්තමාන දඟපන්දු යවන්නන් බොහෝ විට එකම ආකාරයේ ඉරියව්වලින් එකම ආකාරයෙන් පන්දු යැවීම ගැන අප සැලකිල්ලට ගත යුතුය. ඔවුනට ඔවුන් සතු සැඟවුණු ශ්‍රී ලාංකීය දස්කම් තිබිය හැකියි. මූලිකාංග (basics) පමණක් කියා දී ඔවුනට ඔවුන්ගේ ලාංකීයත්වය රැක ගැනීමට අත්වැලක් වුවහොත් තවත් මුරලි කෙනෙකු, තවත් අජන්ත කෙනෙකු අපට නිර්මාණය කර ගත හැකි වනු ඇති.

Courtesy - imgci.com - ලොව වැඩිම කඩුලුලාභී මුත්තයියා මුරලිදරන් රතු පලස මතින් පැමිණෙයි
Courtesy – imgci.com –
ලොව වැඩිම කඩුලුලාභී මුත්තයියා මුරලිදරන් රතු පලස මතින් පැමිණෙයි

මුත්තයියා මුරලිදරන් නම් වූ වේගපන්දු යවන්නාට දඟපන්දු යැවීමට ඉඩලැබෙන විට ඔහු මැණික් කටුව ආධාරයෙන් පන්දු යැවිය යුතු බැව් කිසිවෙකු ඔහුට කියා තිබුණේ නැත. එහෙත් ඒ ඔහුගේ ලාංකීයත්වය පිළිබිඹු වූ මොහොතයි. අජන්ත මෙන්ඩිස් නම් මඳවේග පන්දු යවන්නාට ද සිදු වූයේ එයම ය. ඔහු පුහුණු තණතිලි ආශ්‍රිතව සිදු කළ පරීක්ෂණ පසුව බර අවි බවට පත්විය. අකිල ධනංජය වුව බිහිවන්නේ එවන් පසුබිමක දීයි.

ශ්‍රී ලංකාව යනු එංගලන්තයෙහි මෙන් ක්‍රිකට් ඇකඩමිවලින් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවන රටක් නොවේ. සෑම කලකම පාහේ ශ්‍රී ලංකාව වෙනුවෙන් “ක්‍රීඩක සලකුණු” බිහිවන්නේ නිවෙස්වල පිළිකන්නේ, වෙල් එළියේ හෝ ගමේ සැහැල්ලු පන්දු ක්‍රීඩාංගණයේ ය. තාක්ෂණය යනු අපේ ලෙයට කාවැදුණු අංගයක් නොවේ. රෝයි ඩයස්, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයන් එක් පසෙකින් බිහිවන විට “තරග වෙනස් කළ හැකි” සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, ටී. එම්. ඩිල්ෂාන්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, කුසල් පෙරේරා වැනි සුවිශේෂී දක්ෂයන් සෑමවිටම බිහිවුණේ ඇකඩමියෙන් පිටත ය.

Courtesy - wordpress.com - හපුතලේ ප්‍රදේශයේ අනාගත ක්‍රිකට් තරුවක්?
Courtesy – wordpress.com –
හපුතලේ ප්‍රදේශයේ අනාගත ක්‍රිකට් තරුවක්?

අවසන් වශයෙන්…

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියානුකරණය කරගත් සේම අප අපගේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකේයකරණයට භාජනය කළ යුතුය. පාසල් ක්‍රීඩකයන්ගෙන් තාක්ෂණය පමණක්ම බලාපොරොත්තු නොවී ඔවුන් තුළ සැඟවුණු ශ්‍රී ලාංකිකයා සොයාගත යුතුය. 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුල්වූයේ එවන් “හද්දා ශ්‍රී ලාංකිකයන්” දෙදෙනෙකුගේ දස්කම් ය. ආසියානු කුසලාන 5ක් ශ්‍රී ලංකාවට ගෙන ආවේ එවන් “හද්දා ශ්‍රී ලාංකිකයන්” විසිනි. 2007 සහ 2011 වසරවල දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක අනුශූරයන් වන විට ද ඒ “හද්දා ශ්‍රී ලාංකිකයන්” කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූවේය.

ඔබේ තාක්ෂණය ඔබට උපකාර වන්නේ නම්, දස්කම් දැක්වීමට එය ඉවහල් වන්නේ නම් ඒ මතම රැඳෙන්න. එහෙත් තාක්ෂණයෙන් පිටත නව්‍යතා ඔබට ජය ගෙන එන්නේ නම් ඔබ “හද්දා ශ්‍රී ලාංකිකයෙකු” වන්න. මන්ද, ලොව ජය ගන්නා සමීකරණය රැඳී තිබෙන්නේ තාක්ෂණය මත නොව ලකුණු සහ කඩුලු මතයි.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න