ආසියානු පාසල් වොලිබෝල් ශූරතාවලියේ පුහුණුවීම් සඳහා ක්‍රීඩකයින් 25ක්

365

ආසියානු පාසල් වොලිබෝල් ශූරතාවලියට සමගාමීව, ඉරානයේ ඉෆ්සහන් හී පැවැත්වීමට නියමිත පුහුණු සැසියක් සඳහා ක්‍රීඩකයින් 25කගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට පාසල් වොලිබෝල් තේරීම් කමිටුව සමත් වී ඇත.

කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම නිදහස් චතුරස්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදු විය. අගෝස්තු 22 සිට 31 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වේ.

ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා කුසලානයට 18ක්

මෙම ක්‍රීඩකයන් 25 දෙනා අතර උසපන්දු ප්‍රහාරකයින් (High Attacker) 8 දෙනෙක්, පන්දු සකසන්නන් (Setter) පස් දෙනෙක්, කෙටිපන්දු ප්‍රහාරකයින් (Quick Attacker) 8 දෙනෙක් සහ ලිබරෝ (Libero) ක්‍රීඩකයින් 4 දෙනෙක් වේ.

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙන් ක්‍රීඩකයන් 7 දෙනෙක් ද, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයෙන් සහ රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලයෙන් ක්‍රීඩකයින් 5 දෙනෙක් ද, තවත් ක්‍රීඩකයින් 4 දෙනෙක් සීදූව දවිසමර මහා විද්‍යාලයෙන් ද, තවත් ක්‍රීඩකයින් 3 දෙනෙක් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයෙන් ද, හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් එක් ක්‍රීඩකයෙක් ද මෙම සංචිතයට තෝරා ගෙන ඇත.

මෙම සංචිතය තෝරා ගැනීම සඳහා මනා සුදුසුකම් ලත් තේරීම් කමිටුවක් නම් කර තිබුණු අතර එම තේරීම් කමිටුවට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී උදේනි ප්‍රියදර්ශනි සහ දීපිකා කුමාරි ඇතුළු හිටපු ක්‍රීඩකයින් වන ජයතිලක බණ්ඩාර, විමලවීර මහින්දාරත්න සහ අජිත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් පත්කර තිබුණි.

ක්‍රීඩකයින් 25 දෙනාගේ සංචිතය

ධම්මිස්සර ජාතික පාසල

  • උසපන්දු ප්‍රහාරකයින් – මහේල ඉන්දීවර, දෙසාන් විසිත්
  • පන්දු සකසන්නන් – මලීශ රවිශාන්, ටිශාන් ශානුක
  • කෙටිපන්දු ප්‍රහාරකයින් – මෙවන් ප්‍රවිෂ්ක පීරිස්,යොහාන් සනුක
  • ලිබරෝ – නුවන් දිල්ශාන්

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

  • උසපන්දු ප්‍රහාරකයින් – චමෝද් මලීශ, සයුරු කවිෂ්ක
  • පන්දු සකසන්නන් – ෂෙහාන් මදුශංක
  • කෙටිපන්දු ප්‍රහාරකයින් – නුවන් තාරක
  • ලිබරෝ – සුපුන් අවිශ්ක

රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය

  • උසපන්දු ප්‍රහාරකයින් – කේ. බී. එස්. ඩී. ජයරත්න, විදුර ප්‍රභාත් පෙරේරා
  • පන්දු සකසන්නන් – රුචිර සම්පත්
  • කෙටිපන්දු ප්‍රහාරකයින් – එම්. කේ. ඒ. එස්. අබේසිංහ
  • ලිබරෝ – රාජිත සහන සුරවීර

සීදූව දවිසමර මහා විද්‍යාලය

  • උසපන්දු ප්‍රහාරකයින් – දිලූෂ මදුෂාන්, දිනුදු රුචින්ත
  • කෙටිපන්දු ප්‍රහාරකයින් – ශෂික වෙරන්ජන
  • ලිබරෝ – දිලංක මදුරංග

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

  • පන්දු සකසන්නන් – හේෂාන් සෙව්මිණ
  • කෙටිපන්දු ප්‍රහාරකයින් – කවීන් තිවංක සිල්වා, ෂෙහාර සඳරුවන්

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය

  • කෙටිපන්දු ප්‍රහාරකයින් – ටී. ඒ. යූ. මධුරංග

ප්‍රධාන පුහුණුකරු ලෙස දවිසමර විද්‍යාලයේ චමින්ද ලක්ෂ්මන් මහතා තෝරා ගෙන ඇති අතර ඔහු පසුගිය දා නිමාව දුටු “11 වන 19න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේ” 9 වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත.

සහය පුහුණුකරු වශයෙන් තාරක රත්නවීර මහතා පත් කර ඇත. පුහුණුකරුවන් තෝරා ගැනීමේ කමිටුව සඳහා හිටපු පුහුණුකරුවන් වන  කුමාර වෙන්ඩකෝන්, ලාල් දිසානායක, ශ්‍රියා පතිරගේ සහ කේ. එස්. එන්. අල්විස් යන මහත්ම මහත්මීන් කටයුතු කර ඇත.

මෙම තෝරා ගැනීමේ අධීක්ෂණ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මංජුල කාරියවසම් මහතා සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සභාපති ලාල් දිසානායක සහ ලේකම් රන්තිලක ජයවීර මහතා විසින් සිදු කරන ලදි.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට