යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය මෙවරත් ‘Dialog’ අනුග්‍රහය යටතේ

280
20th Army Para Athletic Meet

20 වන යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 22 සිට 24 වන දා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි සමාරම්භක උළෙල යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බාලක බාලිකා ශූරතා පිළිවෙළින් සාන්ත ජෝසප් සහ ජනාධිපති බාලිකාවන්ට

ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා…

මෙවර පැරා ක්‍රීඩා තරගාවලිය සඳහා රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700ක් පමණ සහභාගී වන අතර ඉසව් 12ක් යටතේ තරග පවත්වනු ලබයි. ඒ අනුව දුනු විදීම, බැඩ්මින්ටන්, පාපැදි, වෙඩි තැබීම, මේස පන්දු, සවි එසවීම, රෝදපුටු මැරතන්, රෝදපුටු ටෙනිස්, පිහිනුම්, වොලිබෝල්, වෙරළ වොලිබෝල්, පැරා රෝයිං සහ මලල ක්‍රීඩා යන ඉසව් යටතේ තරග පැවැත්වෙනු ඇත. මලල ක්‍රීඩා තරග ඉසව් හැර අනෙක් සියලුම තරග ඉසව් මේ වන විට පවත්වා අවසන් අතර ඒ අනුව මෙම මස 22 වන දින ආරම්භ වන මලල ක්‍රීඩා තරග ඉසව් තරගාවලියේ අවසන් ඉසව්ව වනු ඇත.   

මාතෘ භූමිය වෙනුවෙන් සිය උපරිම කැප කිරීම් සිදු කර තුවාල ලබා විවිධ ආබාධ සහිත තත්වයන්ට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ අරමුණින් යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය මීට දශක දෙකකට පමණ පෙර ආරම්භ කරනු ලැබීය.

පසුගිය වසර කිහිපයක කාලය තුළ ජාතික පැරාලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් දෘශ්‍යාබාධිත, ආබාධිත සහ රෝදපුටු සහ මූලික කාණ්ඩ ත්‍රිත්වයක් යටතේ තරග ඉසව් සංවිධානය කරනු ලබයි. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් තරග ජය ගැනීම උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ධෛර්යය වර්ධනය කිරීමත්, ශාරීරික සහ මානසික ශක්තිය ඉහළ නැංවීමත් මෙහි අරමුණ වේ. මෙහි දී විශිෂ්ටතම දක්‍ෂතා දක්වන ක්‍රීඩකයින්ට ජාතික පැරා ක්‍රීඩා සංචිතයට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවන අතර, ඒ අනුව 2018 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියට ද සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

2012 වසරේ දී පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ දී ප්‍රදීප් සංජය මීටර 400 ධාවන ඉසව්වේ 3 වන ස්ථානය දිනා ගැනීමත් සමඟ යුද හමුදාව හරහා ශ්‍රී ලංකාව පළමු පැරා ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට සමත් විය. අනතුරුව 2016 වසරේ දී පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ දී දිනේෂ් ප්‍රියන්ත F40 හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර අනතුරුව ඔහු මෙම වසරේ දී ලන්ඩන් නුවර දී පැවති ලෝක පැරා ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්ව සඳහා රිදී පදක්කමකට හිමිකම් කියන්නට සමත් විය. ඒ අනුව ඔහු මෙම තරගාවලියේ දී ඔහුගේ මෙම දක්‍ෂතා තවත් ඉහළ තලයකට ගෙන යාමට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

යොවුන් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා තුරුම්පුව සංතුෂ්

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා කෙළිබිමේ ලියලා වැඩෙන අතු රිකිලි බොහෝ ය. කළ යුතුව ඇත්තේ..

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා දකුණු කොරියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5 දෙනෙක් සහභාගී වීමට නියමිත අතර ඒ අතරින් දෙදෙනෙක් ඔලිම්පික් පදක්කම් ලාභීන් වේ. ඒ අනුව මෙම කොරියානු කණ්ඩායම හරහා තරගාවලියට ජාත්‍යන්තර ස්වභාවයක් එක්වනු ඇත.

20 වන යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් තෙවන වරටත් බලගන්වනු ලබයි. ශ්‍රී ලංකා පැරා ක්‍රීඩාවට නිබඳ දිරියක් වන ඩයලොග් ආසිආටා සමාගම ඔවුන්ගේ දැක්ම අනුව යමින් සමාජයේ සියලු අංශ දේශීය සහ ජාත්‍යන්තර තලයේ ඉහළටම ළඟා කිරීම උදෙසා නිබඳවම සවිබලය සපයන සමාගමකි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<