ලෝක කුසලානය ජපන් ගිය, හැව්ලොක් – මහනුවර ඇවිළුණු 2019

145

රග්බි ලෝක කුසලානයක අමතක නොවන අත්දැකීම් සමඟින් ගෙවුණු 2019 ශ්‍රී ලංකා රග්බි ප්‍රේක්ෂකයින්ට ඉතා රසවත් වසරක් වුනා. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් නම් එතරම් දස්කම් දක්වන්නට අසමත් වුනත්, සුපිරි වටයක උණුසුම සමඟින් විශිෂ්ට ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියක උණුසුම විඳින්නට අපේ රග්බි ප්‍රේක්ෂකයින්ට හැකියාවක් ලැබුණා. 

අතිශය උණුසුම් වූ පාසල් රග්බි පිටියේ චමත්කාරය ද රැගෙන අපේ මේ සූදානම ගෙවුණු වසරේ රග්බි පිටියේ සමරු සටහන් සොයා යන්නටයි.

ලෝක කුසලානය ජපන් යයි; දකුණු අප්‍රිකාව අරන් යයි

සත්කාරකයින්ගේ සුපිරි දක්ෂතා මැද වසර ගණනකට පසුව පැමිණි දැවැන්තම ටයිෆූන් කුණාටුවෙන් බාධා වුනු ආසියාවේ පැවති පළමු රග්බි ලෝක කුසලානය උත්කර්ෂවත් ලෙස නිමා වුනා. 

ජපානයේ යොකොහෝමා ක්‍රීඩාංගණයේ දී සුපිරි ලෝක කුසලානයකට සුපිරි අවසානයක් ලියැවුණේ අභිමානවත් දකුණු අප්‍රිකානුවන්ට තම තෙවැනි ලෝක කිරුළේ හිමිකාරිත්වය උරුමකර දෙමිනි. 

දකුණු අප්‍රිකානු රග්බි විරුවන් වංශකථා පොත් අලුත් කරයි

මසකට අධික කාලයක් පුරාවට මුළු මහත් ලෝකයම රග්බි උන්මාදනයෙන් වසඟ කර ගත් එම…

ඔවුන් අතින් පරාජයට පත් වූ අනුශූර එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳ සටනක් ලබා දීමට සමත් වුනා. තරගාවලියේ සුවිශේෂම කරුණ වුනේ එංගලන්තය ප්‍රබල නවසීලන්තය අවසන් පූර්ව තරගයේ දී පරාජය කිරීමයි.

එංගලන්ත කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජය නිසාවෙන් නවසීලන්තය 2015 වර්ෂයේ සිට අඛණ්ඩව රැකගෙන ආ තරග 18ක නොබිඳුණු ජයග්‍රාහී වාර්තාව එක ක්ෂණයෙන් බිඳ වැටුණු අතර සිව්වැනි වරටත් ලෝක කිරුළ තමන් සතුකර ගැනීමේ අපේක්ෂාවෙන් ආ ගමන් මඟට ද තිත තැබීමට ද ඒ අනුව ඔවුන්ට සිදු වුනා.

මහනුවර නැවතත් ක්‍රීඩා සමාජ පිටියේ රජ වෙයි

පෙරළිකාර හැව්ලොක් ක්‍රීඩා සමාජය තියුණු සටනකින් පසුව ලකුණු 21-19ක් ලෙස පරාජය කරමින් මහනුවර ක්‍රීඩා සමාජය අඛණ්ඩව පස්වැනි වතාවටත් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ශූරයින් බවට පත් වෙන්නට සමත් වුනා. 

මෙවර තරගාවලියේ විශේෂත්වය වුනේ අවසන් සතිය වන තුරුම ලීග් ශූරතාව දිනා ගන්නේ කවුරුන් දැයි කිසිවෙකුට පැවසීමට නොහැකි වන සේ සුපිරි තරග වටයක් පැවැත්වීමයි. ඒ අනුව 15 වැනි සතිය වන විට ලීග් ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටි හැව්ලොක් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ලීග් කිරුළ සඳහා තරග වැදුණා.

තරගාවලිය පුරා සුපිරි දස්කම් පෙන්වූ පෙරළිකාර පොලිස් ක්‍රීඩා සමාජය 2018/19 තරග වාරයේ පලිහ ශූරතාව දිනා ගත්තේ යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින්.  

අමිහිරි මතක මකමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ක්ලිෆොර්ඩ් කුසලානය දිනයි

2019 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සුපිරි අවසානයක් ලබා දෙමින් ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 40-21ක් ලෙස පරාජය කරන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ආසියානු කමිටුවට නව මුහුණු දෙකක්!

ආසියානු රග්බි පාපන්දු සංගමයේ තරගාවලි කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු…

2000 වසරෙන් පසු හැව්ලොක් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලානයක් දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ගුවන් හමුදා කණ්ඩායම 80 දශකයෙන් පසු අවසන් මහා තරගයට පිවිසුණු පළමු අවස්ථාවත් මෙය විය.

මහනුවර ක්‍රීඩා සමාජය 2019 තරග වාරයේ ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට එක් නොවීම තවත් විශේෂත්වයක් වුනා.

රාජකීය සුළි කුණාටුව ලීග් කිරුළ ඩැහැගනියි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි කිරුළ අඛණ්ඩව තෙවැනි වරටත් දිනා ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලය පාසල් රග්බි පිටිය උඩු යටිකුරු කළා. අවසන් දිනය වන තුරුම ඔවුන්ට තියුණු සටනක් ලබා දීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයත් සමත් වීම විශේෂත්වයක්.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් පළඟ ශූරතාව දිනා ගන්නට සමත් වුනා. වසර ගණනක උත්සාහය මල්ඵල ගන්වමින් පලඟ අනුශූරතාව දිනූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය මේ වසරේ දී 2020 වසර සඳහා A කාණ්ඩයේ වරම් දිනා ගත්තා.

ඒ අතරම මෙවර තරග වාරය B කාණ්ඩයේ ක්‍රීඩා කළ මහනුවර ධර්මරාජ විද්‍යාලත්, A කාණ්ඩයේ වරම් දිනා ගත්තේ මරදාන සහිරා විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මලියදේව විද්‍යාලයේ A කාණ්ඩයේ සිහින බොඳ කරමින්.

ඒ අනුව මෙවර තරගාවලියේ ප්‍රතිඵලය අනුව එළඹෙන 2020 තරග වාරය සඳහා පළමු වතාවට මහනුවරින් පාසල් පහක් A කාණ්ඩයේ ක්‍රීඩා කරනු ඇත.

පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව බම්බලපිටියට

මේ අතර ලීග් කිරුළ මඟ හැරුනත් අඛණ්ඩව දෙවන වතාවටත් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි ශූරයින් බවට පත්වන්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුනා. ඒ වෙස්ලි විද්‍යාලය ලකුණු 18-15ක් ලෙස පරාජය කරමින්. මේ සාන්ත පීතර විද්‍යාලය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ජය ගත් හත්වැනි අවස්ථාවයි.

මේ අතර මයිලෝ සභාපතිගේ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ කුසලානය නුගේගොඩ idන්ත ජෝන් විද්‍යාලය දිනා ගත්තා. ඒ ලකුණු 41-10ක් ලෙස නාලන්ද විද්‍යාලය පරාජය කරමින්.

කොළඹ නුවර ගැටුණු සුපිරි රග්බි සටන

ශ්‍රී ලංකාවේ සුපිරිතම රග්බි තරුවක් වන චන්ද්‍රිශාන් පෙරේරා මහතාගේ සේවය අගය කිරීම වෙනුවෙන් හා ආසියානු රග්බි පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණින් පිට පළාත් හා කොළඹ අතර මහා රග්බි තරගයක් පැවැත්වුණා. 

ලකුණු 24-12ක් ලෙස අගනුවර බලය සුනුවිසුනු කරන්නට රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් තරග වැදුණු පිට පළාත් කණ්ඩායම සමත් වුනා.  

ශ්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පහළට

2019 ආසියා රග්බි පළමු කාණ්ඩයේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ඔවුන්ට පරාජය වෙන්නට සිදු වුනා. ඒ පිලිපීනය හමුවේ ලකුණු 39-22ක් ලෙසයි. අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වුණු මෙම තරගයට පසුව ශ්‍රී ලංකාව සත්කාරක චීන තායිපේ කණ්ඩායම සමඟ තුන්වැනි/ හතරවැනි ස්ථානය සඳහා තරග වැදුණා. 

පළමු කාණ්ඩයේ රැඳී සිටින්නට නම් ශ්‍රී ලංකාවට මේ තරගයේ ජය අත්‍යවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ ලකුණු 72-17ක් ලෙස පරාජය කරන්නට සමත් වුනේ සිය ස්ථානය රැක ගනිමින්. 

ඩෑන් කාටර් හමුවේ රිචි මැකෝ, ස්මිත් පරාජය වේ

ඩෑන් කාටර් යනු නම ඇසූ පමණින්ම මතකයට එන පුරාවෘත්තයකි. ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවට සමුදී…

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 44 වැනි ස්ථානය දක්වා පහළට වැටෙන්නට සිදු වුනා.   

ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය

ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය 2019 මෙවරත් අදියර තුනකින් පැවැත්වුණා. තරගාවලියේ පළමු අදියර පැවැත්වුණේ දකුණු කොරියාවේ දීයි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම පළමු අදියරේ පස්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා. ඒ පළඟ අවසන් මහා තරගයේ දී පිලිපීනය පරාජය කරමින්. 

තරගාවලියේ දෙවන අදියර පැවැත්වුණේ චීනයේ දීයි. පළමු අදියරේ අඩුපාඩු සකසා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන අදියරේ දී සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං හමුවේ කුසලාන අවසන් පූර්ව වටයෙන් පරාජය වුණු අතර පසුව ජපානය හමුවේ පරාජය වීම නිසා සිව්වැනි ස්ථානයට පත්වුනා.

තෙවැනි අදියර ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් වාසි සහගත වුනා. ඒ තෙවැනි අදියර පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ දී වීම නිසයි. කෙසේ වෙතත් එම අදියරේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත්තේ සිව්වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව 3/4 ස්ථාන තීරණය කරන තරගයේ දී ලකුණු 27-12ක් ලෙස චීනය හමුවේ පරාජය වුනා.

ඔලිම්පික් සිහින බිඳේ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලේ ආසියා රග්බි කලාපීය තේරීම් තරගාවලියේ පස්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. ඒ 5/6 ස්ථාන තේරීම් තරගයේ දී මලයාසියාව පරාජය කරමින්. කණ්ඩායම් නවයක් තරගාවලියට සුදුසුකම් ලැබූ අතර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබුවේ එක් කණ්ඩායමක් පමණයි.

සත්කාරක කොරියාව හොංකොං පරාජය කරමින් 2020 ඔලිම්පික් රග්බි තරගාවලියේ අසුන තමන්ගේ නමට ලියා ගත්තා. 

එළඹෙන වසරේදීත් රග්බි උණුසුම ඔබ වෙත එසැණින් රැගෙන එන්නට අප සූදානම්. රැඳී සිටින්න ThePapare සමඟින්. ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<