මේ අතරින් සිය පාසල ජයග්‍රහණය කරා ගෙන යන නායකයා කවුරුන් ද?

532

2019 වර්ෂයේ පාසල් රග්බි පිටියට වසන්තය කැන්දන “2019 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය” ඉකුත් දා (28) ආරම්භ වූයේ සැබැවින් මෙවර රග්බි පිටියේ පෙළහර පාන කණ්ඩායම් මොනවා දැයි යන්න රග්බි ක්‍රීඩාලෝලීන් තුල යම් කුතුහලයක් ඇති කරමිනි.

එලෙස ආරම්භ වූ පාසල් රග්බි ලීගයේ A කාණ්ඩයේ ශූරතාවය කරා නිසි නායකත්වයක් තුලින් නිවැරදි දිශාවකට හෙවත් ජයග්‍රහණයේ දිශාව කරා මෙහෙය වීම ලෙහෙසි පහසු නොවේ. එම බැරෑරුම් කර්තව්‍යයට උර දෙන නායකයින් කවුරුන් ද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි.

රග්බි පිටිය දෙවනත් කරන්නට තෝමසුවන් සහ ජෝසප්වරුන් පෙරමුණ ගනී

මාස හතරක් වැනි දීර්ඝ කාලයක් පුරාවට පැවති Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය…. 

රාජකීය විද්‍යාලය – පසුගිය වසරේ ශූරයින් වන රාජකීය විදුහල මෙවර මෙහෙය වනු ලබන්නේ තුලේබ් හසන් විසිනි. කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයා වන හසන් වෙනස්ම තරග රටාවක් තුලින් මෙවරත් තමන්ගේ අත්දැකීම්වලින් විශාල වෙනසක් කරනවා නොඅනුමානයි.

ශ්‍රී ලංකා 20න් පහළ සත් සාමාජික කණ්ඩායමට ද සුදුසුකම් ලබා ඇති තුලේබ් Center ස්ථානයේ සිට පිටිය ආක්‍රමණය කරනා මනා දක්ෂතාවයකින් හෙඹි ක්‍රීඩකයෙකි. 21 වැනි සියවසේ කිසිදු පාසලකට නොහැකි වූ පිට පිට තෙවරක් ලීග් ශූරතාවය එසවීමේ වාර්තාව තුලේබ් ප්‍රමුඛ රාජකීය කණ්ඩායමට දිනා ගන්නට හැකි වේ දැයි රාජකීය ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටිති.

සාන්ත ජෝසප් විද්‍යාලය – 5 වැනි වසරේ ක්‍රීඩා කරන හැඩිදැඩි ක්‍රීඩකයෙකු වන තරිඳු ද අල්විස් අංක 8 ස්ථානයේ සිට මරදාන සාන්ත ජෝසප් විදුහලට නායකත්වය ලබා දෙයි.

2017 වසරේ දී ඉසිපතන විදුහලට එරෙහිව පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී සාන්ත ජෝසප් කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කරද්දී එහි විශේෂ භූමිකාවකට පන පොවන්නට අල්විස්ට අවස්ථාව හිමි විය.

එමෙන්ම ඔහු 2018 යොවුන් ඔලිම්පික් සත් සාමාජික කණ්ඩායමේ හා 2019 ආසියානු කුසලාන රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු වීම ද විශේෂත්වයක්. එහි දී ඔහු විසින් ලබා ගත් ජාත්‍යන්තර අත්දැකීම් ද සමඟින් මෙවර තම කණ්ඩායම මෙහෙය වීම අල්විස්ට එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.

සාන්ත පීතර විදුහල – සිය පාසල් කණ්ඩායමේ 3 වැනි වසරේ ක්‍රීඩා කරන බිලාල් හිල්මි මෙවර සාන්ත පීතර රග්බි කණ්ඩායම හැසිරවීමට සූදානමින් සිටියි. ප්‍රතිවාදියා නොසිතූ ලෙස පන්දුව හැසිරවිය හැකි දක්ෂතාවයක් ඇති බිලාල්ට පසුගිය වසර තුනේම එක්රැස් කරගත් අත්දැකීම් නිසායාකාරව භාවිතා කරනවා නම් ලකුණු පුවරුවේ විශාල වෙනසක් සිදු කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.ඉසිපතන විදුහල – අනෙකුත් රග්බි ක්‍රීඩකයින් මෙන්ම ශරීරයෙන් එතරම් උස මහත නොවුනත් දුර දක්නා නුවණක්, වසර 3ක කණ්ඩායම් පළපුරුද්දක් හා රක් අවස්ථාවක් තුල දී පන්දුව තමන් නතුකර ගැනීමට හැකි “සේරේ” නමින් හඳුන්වනු ලබන ජනිත් සේරසිංහ මෙවර Green Machine හි සුක්කානම අත දරයි ගනියි.

පසුගිය වසරේ නායක මනිල්ක රුබේරුගේ නොමද සහය සහ තමන්ගේ කණ්ඩායම තුල ඇති සමානාත්මතාවය ප්‍රයෝජනයට ගනිමින් ඉසිපතනය හැසිරවීමට සේරේට අපහසු නොවනු ඇත.

කිංග්ස්වුඩ් විදුහල – Prop හා Hooker ස්ථානයේ ක්‍රීඩා කරන්නට විශේෂ හැකියාවක් ඇති මිලාන් වීරසිංහ මේ වසරේ කිංග්ස්වුඩ් විදුහලේ නායකත්වය දරයි. තමන්ගේ කාය ශක්තිය හා ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව සමඟින් ගියවර ගෞරවාන්විතව ලීගය අවසන් කිරීමට මිලාන් දුන් දායකත්වය මෙවර කිංග්ස්වුඩ් කණ්ඩායම ඊටත් ඉහළින් ඔසවා තබන්නට අදිටන් කරගෙන සිටිනු නොඅනුමානයි.

ත්‍රිත්ව විදුහල – රෙශාන් බණ්ඩාරණායක, Full Back හා. Wing Three-Quarter ස්ථාන දෙකේම ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකි. එසේම කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ද වන රෙශාන් නවසීලන්තයේ වෙලිංටන් රග්බි ඇකඩමිය විසින් “හොඳම සංවර්ධිත ක්‍රීඩකයා” ලෙස  අභිෂේක ලැබූ ක්‍රීඩකයෙකි.

බ්‍රැඩ්බි ලීග් 4කට පමණ ක්‍රීඩා කර ඇති රෙශාන්ට උඩරට සිංහයින් හැසිරවීම අපහසු නොවනු ඇත. කුඩා කල පටන්ම ත්‍රිත්ව විදුහලේ රග්බි පහස ලබා ඇති රෙශාන්ට තම කණ්ඩායම ලෙහෙසියෙන්ම හසුරුවන්නට හැකි වනවා නොඅනුමානයි.

වෙස්ලි විදුහල – තරගයක් ගැන ඇති අවබෝධය හා ප්‍රතිවාදියාට මනා පීඩණයක් එල්ල කිරීමට හැකියාවක් ඇති නායක මුර්ශ්ඩ් සුබෙයිර් වෙස්ලි විදුහලේ ලකුණු මැශිම ලෙස හැඳින්වුවද වැරැද්දක් නොමැත.

තමන්ටම ආවේණික වූ තරග රටාවක් ඇති මුර්ශිඩ්ට ඇත්තේ තමන්ගේ කාර්යය හරි ආකාරයට ඉටු කරමින් ජයග්‍රාහී මාර්ගය නොවෙනස්ව තබා ගැනීම පමණි.

සහිරා විදුහල – චීනා යන සුරතග් නාමයෙන් හැඳුන්වනු ලබන සෙයිඩ් තාජුඩීන් තරගයක දී තමා වටා සිදු වන සියලු දේ ගැන මනා අවබෝධයකින් සිටින්නෙකි. සෙයිඩ්ට නායකයෙකු ලෙස ප්‍රථම තරගය ත්‍රිත්ව විදුහලට එරෙහිව ක්‍රීඩා කරන්නට සිදු වන අතර එය තමන්ගේ දක්ශතාවන් ඔප්පු කිරීමට ඉතාමත් හොඳ අවස්ථාවක් වනවාට සැකයක් නොමැත.

සාන්ත තෝමස් විදුහල – සාන්ත තෝමස් විදුහලේ නායකත්ව හෙබවූ සේනානායක පවුලේ බාලම සහෝදරයා වන හරිත් සේනානායක මෙවර සාන්ත තෝමස් රග්බි බල ඇණියේ නායකයා ලෙස ඉදිරියෙන් සිටියි.  

Line out අවස්ථා ඇතුළු පන්දුව ප්‍රතිවාදියාගෙන් ඩැහැගැනීමට ඇති සියලු අවස්ථා තුලින් මනා ප්‍රයෝජන ගන්නා හරිත් නායකයෙකු මෙන්ම Second Row ක්‍රීඩකයෙකු ලෙස ද ප්‍රතිවාදියාට හිසරදයක් වනවා නොඅනුමානයි.

සාන්ත අන්තෝනි විදුහල – Scrum Half හා Fly Half ස්ථානවලින් ක්‍රීඩා කිරීම ආරම්භ කරමින් මේ වන විට Center ස්ථානයේ ක්‍රීඩා කරන මොහොමඩ් මකාරිම් මෙවර සාන්ත අන්තෝනි විදුහලේ නායකත්වය දරයි.

පසුගිය වසර ඉතා අනර්ඝ වර්ශයක් නොවුන ද මේ වසරේ බලාපොරොත්තු පොදි බැඳ ගනිමින් මකාරිම් ප්‍රමුඛ සාන්ත අන්තෝනි කණ්ඩායම තරගාවලියට අවතීර්ණ වීමට මග බලා සිටිති.

මලියදේව විදුහල – වේගවත් තරග විලාශයකට හිමිකම් කියන කෞශල්‍ය ගුණවර්ධන මේ වසරේ මලියදේවයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකි. පසුගිය වසරේ ළහිරු දවුලගල හා ගුණවීර සමඟ ක්‍රීඩා කරමින් විශාල පන්නරයක් ලබා ගත් කෞශල්‍ය මේ වසරේ තමන්ගේ උපරිමයෙන්ම කණ්ඩායම හසුරුවන්නට සැදී පැහැදී සිටියි.විද්‍යා විදුහල – විද්‍යා විදුහල් කණ්ඩායමේ පස්වැනි වසරේ ක්‍රීඩා කරන අංක 8 ක්‍රීඩක සශින් මුනසිංහ පසුගිය වසරේ B කාණ්ඩයේ සිටී තම කණ්ඩායම මේ වසරේ A කාණ්ඩය තුල හැසිරවීමේ අසීරු කාර්යයට අතගසා ඇත. එතරම් ඉස්මතු වූ කණ්ඩායමක් නොවුවද ශූරතා දරා සිටින කණ්ඩායම්වලට හිසරදයක් වූ විද්‍යා විදුහල් කණ්ඩායම මේ වසරේ දී සශින්ගේ නායකත්වය යටතේ විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරනු ඇත.

පාසල් රග්බි පිටියේ උණුසුම මෙවරත් ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ පුමුඛයා ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<