ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තාවෝ ආසියානු ශූරතාවට පෙලගැසතෙි

213

2019 වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය එළඹෙන 13 වැනිදා (හොට) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය 13 වැනිදා සිට 21 වැනිදා දක්වා වියට්නාමයේ හැනෝයි හිදී පැවැත්වේ. 

කාණ්ඩ වටය 

මෙම තරගාවලියට කාණ්ඩ 4ක් නියෝජනය කරමින් කණ්ඩායම් 14ක් තරග වදින අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි D කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිතයි. 

පළමු වටයේ දී තරග 15ක් පැවැත්වෙන අතර එම තරග ජූලි මස 13, 14 හා 15 යන තෙදින තුල පැවැත්වෙනු ඇත. 

කණ්ඩායම් අන්තර්ගත වන කාණ්ඩ

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
වියට්නාමය තායිලන්තය චීන තායිපේ කසකස්ථානය
නවසීලන්තය ඕස්ට්‍රේලියාව ඉන්දියාව හොංකොං
ටර්ක්මෙනිස්ථානය මාලදිවයින චීනය ශ්‍රී ලංකාව
කොරියාව මැකාවු

පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන

දිනය තරගය වේලාව
ජූලි 13 ශ්‍රී ලංකාව හා හොංකොං ප.ව. 1.30
ජූලි 14 ශ්‍රී ලංකාව හා මැකාවු ප.ව. 1.30
ජූලි 15 ශ්‍රී ලංකාව හා කසකස්‍ථානය ප.ව. 4.00

දෙවන වටය

පළමු වටයේ දී කණ්ඩායම් දක්වන දක්ෂතා අනුව සිදු වන ශ්‍රේණිගත කිරීම් අනුව කණ්ඩායම් දෙවන වටයේ එක් එක් ශූරතා සඳහා සහභාගි වනු ඇත. එම තරග ජූලි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ. 

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කවීෂා ලක්ශානිට පැවරී තිබේ. තම කණ්ඩායමේ සූදානම පිළිබඳව ඇය ThePapare.com සමඟින් අදහස් දක්වා සිටියා. 

වෙළඳසේවා ශූරතාවයේ රු. මිලියනයකට අධික ත්‍යාග මුදලක්

වෙළඳසේවා ක්‍රීඩා ඉසව් අතර කාගේත් අවධානයට ලක්වන ඉසව්වක් ලෙස “වෙළඳසේවා වොලිබෝල් ශූරතාවය” හැඳින්විය…

“අපි මාස 6ක වගේ කාලයක ඉඳලා මේ තරගාවලියට සූදානම් වෙනවා. අපිට දැනට ලංකාවේ ඉන්න දක්ෂම, අත්දැකීම් බහුලතම පුහුණුකරු තමයි ලැබිලා තියෙන්නේ. ඒ වගේමයි අපේ අනෙක් සහය පුහුණුකරුවන් දෙදෙනා. ක්‍රීඩිකාවන් ලොකු කැපවීමකින් පුහුණුවීම් කළා. අපේ ඉලක්කය ආසියාවේ 8ට එන්න. ලොකු බලාපොරොත්තුවක් තියනවා තරගාවලිය ගැන. කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ලොකු සහයෝගයක් තියනවා “

තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ පුහුණුකරු කුමාර වෙන්ඩකෝන් මහතා තම සංචිතය පිළිබඳව කියා සිටියේ මෙවැන්නක්.

“අපි මාස 6කට කලින් ක්‍රීඩිකාවන් 25 දෙනෙකුගේ සංචිතයක් තෝරාගත්තා. එයින් අපි ක්‍රීඩිකාවන් 16 දෙනෙක් දෙවන වටයේ සංචිතයට තෝරාගෙන අවසානයේ අපි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා තෝරාගෙන තියනවා. අපේ පුහුණුවීම් වල ප්‍රධාන බලාපොරොත්තුවක් වුනේ ප්‍රහාරාත්මක හැකියාව වර්ධනය කරගැනීම. මේ කණ්ඩායමේ නායිකාව ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවක්. ඇයට ජාත්‍යන්තර තරගාවලි අත්දැකීම් තියනවා. ඒ වගේම පසුගිය 23න් පහළ තරගාවලිවලට සහභාගි වුන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් මේ සංචිතයේ ඉන්නවා. ඒ වගේම මේ සංචිතයේ තවත් ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් ඉන්නවා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ කාන්තා වොලිබෝල් ඉතිහාසය තුල මීට පෙර අත්නොවිඳි ජයග්‍රහණයක් මේ කණ්ඩායම එක්ක ලබාගන්න පුළුවන් වෙයි කියලා. මම මීට කලින් පිරිමි කණ්ඩායම් තමයි පුහුණු කළේ. කාන්තා කණ්ඩායමක් පුහුණු කරන පළමු අවස්ථාව මේක. මම විශ්වාස කරනවා අපේ දක්ෂතා මත අපිට පළමු වතාවට කාන්තා අංශයෙන් ආසියාවේ පළමු 8 දෙනා අතරට එන්න පුළුවන් වෙයි කියලා. කණ්ඩායමේ කෙටි පන්දු ප්‍රහාරිකාවන් තිදෙනෙක් ඉන්නවා. ඒ වගේම දක්ෂ උස පන්දු ප්‍රහාරිකාවන් ඉන්නවා. මම හිතනවා අපිට ආසියානු වොලිබෝල් ක්‍රීඩාවේ වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. “

2019 වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<