ඉමෝසිගේ වික්‍රමයන් හමුවේ නැවියන් නැවත වරක් පසුබසී

591

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ පළමු සති අන්තය නිමා කරමින් අද (24) සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 34-30ක් ලෙසින් ඉතා තියුණු ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

ඒ අනුව එළඹෙන සති අන්තයේ දී පලිහ ශූරතාවය වෙනුවෙන් යුධ හමුදාව සමඟ සටන් වදින අනෙක් කණ්ඩායම බවට පත්වීමේ වරම පොලීසියට උදා විය.

පලඟ ශූරතාවයට තරග කරන කණ්ඩායම්වල පැටිකිරිය

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන්….

මෙවර තරගාවලියෙහි පළමු සහ දෙවන වටයන්හී මෙම කණ්ඩායම් ද්විත්වය අවස්ථා දෙකක දී එකිනෙකා මුණගැසුණු අතර ඉන් එක් තරගය බැගින් දෙපිලම ජය ගැනීමට සමත් වූ බැවින් අද දිනයේ දී වඩාත් උද්වේගකර, සටන්කාමී තරගයක් නැරඹීමේ අපේක්ෂාවෙන් දෙපිලේම ආධාරකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් එක්රොක්වී  සිටිනු දැකගන්නට ලැබීය.

නාවික හමුදා ක්‍රීඩක චතුර සෙනෙවිරත්නගේ පද ස්පර්ශය ලැබූ පන්දුව ගුවනට මුසු වීමත් සමඟ තරගය ආරම්භ වූ අතර 3 වැනි මිනිත්තුවේ දී ම ක්‍රියාත්මක වූ නාවික හමුදා ක්‍රීඩකයෝ පොලිස් කණ්ඩායමට එරෙහිව සිය ප්‍රථම වෙඩිමුරය දියත් කිරීමට සමත් වූයේ නායක රිචී ධර්මපාලගේ සුරතින් වාර්තා වූ අලංකාර උත්සාහක දිනුමත් සමඟිනි. නමුත් එහි ප්‍රවර්තනයෙහි ලකුණු ද්විත්වය චතුර සෙනෙවිරත්න අතින් ගිලිහී ගියේ ඔහු එල්ල කළ පහර වම්පස ගෝල කණුව අසලින් ඉවතට ඇදී යාම නිසාවෙනි. (පොලිස් 00-03 නාවික)

තම පිටියේ දී ම නැවියන්ගෙන් එල්ල වන අභියෝගය ක්ෂණිකව අවබෝධ කර ගත් පොලිස් ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදීන් හට ඉතා සාර්ථක පිළිතුරක් ලබා දෙමින් දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කිරීමට වග බලා ගත්තේ ඉරෝෂන් සිල්වාගේ ධවල රේඛාව අභිබවා යෑමේ වෑයම සාර්ථක වූ නිසාවෙනි. ජනිත් චන්දිමාල් පන්දුව නිසි ඉලක්කය වෙත එල්ල කරමින් ප්‍රවර්තනයේ අමතර ලකුණු එක්කිරීමට සමත් විය. (පොලිස් 07 – 05 නාවික)

ගුවන් සිහින අවසන් මොහොතේ දී බිඳ දමමින් යුධ ක්‍රියාන්විතය ජය ගනී

ශ්‍රී ලාංකීක රග්බි ක්‍රීඩාලෝලීන් වෙත නවමු ආකාරයේ අත්දැකීමක පහස විඳ ගැනීමට අවකාශය සලසා….

තරගය ජය ගැනීමට නම් සිය ආක්‍රමණයන් වඩාත් ඵලදායී අයුරින් යොදාගත යුතු බව වටහා ගත් නාවික හමුදා ක්‍රීඩකයෝ පොලිස් ප්‍රහාරයන්ට එරෙහිව දරුණු ගණයේ ප්‍රතිප්‍රහාරයන් එල්ල කිරීමට යුහුසුලු වූ අතර ඒ ඇවෑමෙන් 09 මිනිත්තුවේ දී පොලිස් උත්සාහක දිනුම් රේඛාව පසුකර යමින් තීරණාත්මක ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නිරෝෂ් පෙරේරා සහ චතුර සෙනෙවිරත්න සුසංයෝගයට හැකි විය. ruck අවස්ථාවක දී පන්දුව නිසි අයුරින් මුදා නොහැරීමේ වරදට හසු වීම නිසාවෙන් උදාකරගත් දඬුවම් පහර ද ගෝල කණු අතරින් පා කර හැරීමට සෙනෙවිරත්න සමත් විය. (පොලිස් 07 – 15 නාවික)

21 වන විනාඩියේ දී පොලිස් ක්‍රීඩක වගීෂ වීරසිංහ විසින් සිදු කළ අනතුරුදායක tackle කිරීම විනිසුරු ජස්ටින් වෑන්ගේ ඇස ගැටුණු අතර වහාම ඔහුට කහ කාඩ්පතක් ලබා දී විනාඩි 10ක කාලසීමාවකට පිටියෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කළේය. ඒ සඳහා ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගැනීමට නැවත වරක් චතුර සෙනෙවිරත්න සමත් වීමත් සමඟම නාවික හමුදාව ලකුණු පරතරය 11ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය. (පොලිස් 07-18 නාවික)

මෙතෙක් වේලාවක් පසුබැස සිටි පොලිස් ක්‍රීඩකයින් සිය නිහැඬියාව මොහොතකට බිඳ දමමින් අපූර්ව උත්සාහක දිනුම් දෙකක් සිය ගිණුමට බැර කර ගැනීමට උනන්දු වූයේ පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් තරගයේ පෙරමුණ සියතට ගැනීමට තිබූ දැඩි අවශ්‍යතාව නිසාවෙනි. එහි දී පොලිස් පිල වෙනුවෙන් සචිත් සිල්වා සහ ජනිත් චන්දිමාල් උත්සාහක දිනුම් ලාභීන් ලෙසින් සිය දායකත්වය කණ්ඩායමේ ප්‍රගමනය වෙනුවෙන් නොමදව ලබා දීමට සමත් විය. (පොලිස් 19 – 18 නාවික)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 19 (3T,2C) – 18 (2T,1C,2P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ප්‍රථම අර්ධය අවසානයේ දී ලබා ගත් පන්නරය එලෙසින්ම පවත්වා ගනිමින් නාවික හමුදා කණ්ඩායම වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට පොලිස් භටයින් සමත් වූ අතර එහි දී කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ ෆීජී ජාතික ඉමෝසී වුනිවෝසා හැකි උපරිමය තම කණ්ඩායමට ලබා දෙමින් විශිෂ්ට ගණයේ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ පැමිණ සිටි සියල්ලන්ගේම ඔල්වරසන් නද මධ්‍යයේය.

එහි දී පොලිස් ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් සිය දැකුම්කළු පාද චලනයන් සහ වේගවත් ධාවනයන් උපයෝගී කරගනිමින් මුලා කිරීමට වුනිවෝසා සමත් වූයේ පොලිස් කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළටම ඔසවා තබමිනි. එම අගනා උත්සාහක දිනුම් ප්‍රවර්තනය කරමින් ඒ සඳහා නිසි වටිනාකමක් එක්කිරීමට සචිත් සිල්වා සහ චතුර සෙනෙවිරත්න දැඩි වෑයමක් ගත් නමුත් ඉන් සාර්ථක වූයේ සිල්වාගේ උත්සහය පමණි. (පොලිස් 31 – 18 නාවික)

දිගින් දිගටම තමන් හට මුහුණ පෑමට සිදු වන අභියෝගයන්ට එරෙහිව නැඟී සිටීමට නැවියන් වඩාත් යුහුසුලු වූ නමුත් බුද්ධිම පියරත්න සහ ජනිත් ලක්සර වෙත කාඩ් කහ කාඩ්පත් නිකුත් වීම නිසාවෙන් ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් විනාඩි 10ක කාලසීමාවක් තරග වැඳීමට සිදුවීම පොලිස් කණ්ඩායම වෙත තරගය දෝලනය වීමට බලපෑ තවත් එක් ප්‍රබල සාධකයක් බවට පත් විය. එහි දී ලැබුණු දඬුවම් පහර නිසියාකාරව ඉලක්කගත කිරීමට ජනිත් චන්දිමාල් හට හැකි වූ අතර ඒ සමඟම පොලිස් ලකුණු පුවරුව තවත් ලකුණු ත්‍රිත්වයකින් වර්ණ ගැන්විය .(පොලිස් 34 – 18 නාවික)

පොලිස් භටයන්ගේ ප්‍රහාරයෙන් නාවික හමුදාවට වේදනාබර පරාජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ අවසන් සති අන්තය නිමා කරමින් අද (17)…

ක්‍රමයෙන් තම ග්‍රහණයෙන් ගිලිහී යන තරගය නැවත වරක් තමන් දෙසට හරවා ගැනීමට අවසන් මොහොතක දක්වා සටන් වැදී නාවිකයන් එක් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් ද සමඟින් උත්සාහක දිනුම් ද්විත්වයක් තරගය නිමා වීමට විනාඩි 10ක කාල සීමාවක් පමණක් ඉතිරිව තිබිය දී වාර්තා කිරීමට සමත් වූයේ පොලිස් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් විසින් පෙන්නුම් කළ මන්දගාමී ක්‍රීඩා විලාසය ප්‍රයෝජනයට ගනිමිනි. ස්ටෙෆාන් ග්‍රෙගරිගේ සහ රදීෂ සෙනෙවිරත්නගේ සුරතින් මෙම උත්සාහක දිනුම් වාර්තා විය. (පොලිස් 34 – 30 නාවික)

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 34 (5T,3C,1P) – 30 (4T,2C,2P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ඉමෝසි වුනිවෝසා(පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

පොලිස් ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – ඉරෝෂන් සිල්වා 1, සචිත් සිල්වා 1, ජනිත් චන්දිමාල් 1, ඉමෝසි වුනිවෝසා 2
  • ප්‍රවර්තන – ජනිත් චන්දිමාල් 1, සචිත් සිල්වා 2
  • දඬුවම් පහර – ජනිත් චන්දිමාල් 1

නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – රිචී ධර්මපාල 1, නිරෝෂ් පෙරේරා 1, ස්ටෙෆාන් ග්‍රෙගරි 1, රදීශ සෙනෙවිරත්න 1
  • ප්‍රවර්තන – චතුර සෙනෙවිරත්න 2
  • දඬුවම් පහර – චතුර සෙනෙවිරත්න 2

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<