බංගලි ක්‍රීඩිකාවෝ ඉන්දියාවට නයි පෙන්වද්දී අපේ කෙල්ලන්ට වුන දේ

509
2018 Womesn asia cup T20

7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී බංගලි ක්‍රීඩිකාවෝ ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය කරමින් එහි උද්දාමය උදෙසා සුපුරුදු නයි නර්තනයේ යෙදුණ ද තරගාවලියේ පැවති දෙවැනි තරගය වූ ශ්‍රී ලංකාව හා තරගයේ දී ඔවුන්ට අත්වූයේ අන්ත පරාජයකි.

පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවෙන් සොරා ගනී

7 වන වරටත් පැවති ආසියානු කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට…

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන වැඩිපුර කතා වුවද, අවසානය ඛේදවාචකයක් විය. මේ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පිටියේ කෙරුවාව සම්බන්ධයෙන් ThePapare.com තබන සටහනකි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වෙන්නේ තරගාවලියේ අනුශූරතාව සිව්වරක් දිනා සිටි අභිමානවත් කණ්ඩායමක් ලෙසිනි.

ප්‍රබල ඉන්දීය ක්‍රීඩිකාවන්ට පමණක් දෙවැනි වූ අපේ කෙල්ලන්ගේ නිත්‍ය නායිකාව වූ චමරි අතපත්තු ඩෙංගු උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ ශෂිකලා සිරිවර්ධන වෙත ය. ඇය මීට පෙර ද කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කර ඇති අතර මෙවර එම වගකීම පැවරෙන්නේ වසර හතරකට පසුව ය. අතපත්තුට අමතරව අමා කාංචනා ද ඩෙංගු උණ රෝගයෙන්ම පීඩා විදීමෙන් කණ්ඩායමට ඇතුළත් නොවුණි.

කෙසේ වෙතත් තරගාවලියට සහභාගී වීමට මෙරටින් පිට වීමට ප්‍රථම කණ්ඩායමේ නායිකාව සේ ම පුහුණුකරු හේමන්ත දේවප්‍රිය ද ප්‍රකාශ තරගාවලියේ අපේ කණ්ඩායමට සුවිශේෂී ස්ථානයක් හිමි වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. එම සුවිශේෂී ස්ථානය ශූරතා කුසලානය හෝ එසේ නොමැති වන්නේ නම් අනුශූරතාව යන්න අප අනුමාන කළෙමු. නමුත් අපේ ක්‍රීඩිකාවන්ට තරගාවලියේ හිමි වූයේ සිව්වැනි ස්ථානයයි. (අවසාන තරගයට පෙර ප්‍රසාද ලකුණු පුවරුව)

Match M W L T N/R PT
1 ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම 5 4 1 0 0 8
2 බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 5 4 1 0 0 8
3 පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම 5 3 2 0 0 6
4 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 5 2 3 0 0 4
5 තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 5 2 3 0 0 4
6 මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම 5 0 5 0 0 0

( M: The number of matches played. W: The number of matches won. L: The number of matches lost. T: The number of matches tied. N/R: The number of matches abandoned. PT: Number of points awarded.)

තරගාවලියේ අපි සිතූ දේ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකි වීම කෙසේ වෙතත් ඔවුන්ගේ දක්ෂතා යම් තරමකින් හෝ ඔප මට්ටම් කර ගැනීමට හැකි වීම ගැන ඇත්තේ සන්තෝෂයකි. එහෙත් නොසිතූ පරාජයන් අවම කර ගත්තේ නම් මේ සටහන මෙසේ ලියැවීමට ද ඉඩ නොතිබුණි.

  • පළමු තරගය

ශ්‍රී ලංකාව සහභාගී පළමු තරගය පැවතියේ තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ බංගලිදේශ සමඟිනි. මෙම තරගයේ දී බංගලි ක්‍රීඩිකාවෝ ලකුණු 63කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ ඔවුන්ට මුහුණ දීමට තවත් පන්දු 3ක් ද ඉතිරිව පවතිද්දී ය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ ජයග්‍රහණය කරා ගියේ තවත් පන්දු 33ක් ම ඉතිරිව තිබිය දී සේ ම කඩුලු 6ක් ද අතැතිව ය.

තරගයේ වැඩි වැඩ කොටසක් කළ වමතින් දඟපන්දු යැවූ සුගන්ධිකා කුමාරි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණි. ඇය බංගලිදේශ ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ලකුණු 17කට දවා ගනිමින් මෙම සම්මානය දිනා ගැනීමට සුදුසුකම් ලැබුවාය.

පළමු තරගයේ දී පෑ මෙම දක්ෂතාව ආසියානු කුසලානය වෙනුවෙන් ඇල්ලූ පළමු ඉව ලෙසින් අප දුටුවෙමු. එහි කිසිදු දොසක් අප නොදකිමු. පන්දු යවන්නියෝ ද පන්දුවට පහරදෙන්නියෝ ද තම යුතුකම් මනාව ඉටු කළේ සැබෑ ජවයකින් යුතුවය. එකී ජවය තරගාවලිය අවසන් වනතුරු නොපැවැතීම ය වරද වූයේ.

තරගයේ වාර්තාව:  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගයෙන්ම ආසියානු කුසලානයට ඉව අල්ලති

  • දෙවැනි තරගය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වූ දෙවැනි තරගය පැවතියේ සත්කාරක මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟිනි. ඒ තරගාවලියේ 6 වැනි තරගය ලෙසිනි. මෙම තරගයෙන් ද ඉතා පහසු ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් පියවරක් තැබූ බැව් අප සිතුවෙමු.

පෙර තරගයේ දී සේ ම මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතා විශ්වසනීය දක්ෂතාවන්ගෙන් සමන්විත විය. ඔවුන් මෙවර තරගාවලියේ ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය වූ 136ක් වාර්තා කළේ මෙම තරගයේ දී ය. ඒ කඩුලු 3ක් පමණක් දැවී යමිනි. පන්දුවට පහර දීමේ දී යසෝදා මෙන්ඩිස් සහ හෂිනි පෙරේරා වැඩි දක්ෂතා දැක්වූහ.

ප්‍රතිවාදිනියන්ගේ පන්දුවාර 20 දී කඩුලු 7ක් ලකුණු 46කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයෙන් ජය ගත්තේ ලකුණු 90කිනි. එම ඉනිම විනාශ කිරීමේ පෙර මුණ ගත්තේ දකුණතින් මඳ වේගපන්දු යැවූ නිලක්ෂි ද සිල්වා ය. ඇය ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තා ය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පියවරක් ඉදිරියට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ..

  • තෙවැනි තරගය

තරගාවලියේ පැවති 7 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි තරගය විය. ඒ පාකිස්තානය සමඟ ය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාව දක්වා ගිය ගමන මදකට පමා කළ තරගය විය. බොහෝ ක්‍රීඩා විචාරකයෝ සේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන්ගේ ද අදහස වූයේ මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය ගනු ලබතැයි කියා ය. නමුත් ඔවුන්ට සිදු වූයේ ලකුණු 23ක පරාජයකට මුහුණ දෙමින් සැඟව සිටීමට ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ක්‍රීඩිකාවෝ දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙවර රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකාරීත්වය ලබා ගනිමිනි. එම ගොඩ නැගෙන ඉනිම වළකාලීමට තරම් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීමට අපේ ක්‍රීඩිකාවන්ට හැකි වූයේ නැත. යම් තරමකට හෝ සාර්ථක වූයේ සුගන්ධිකා කුමාර පමණි. ඇය ලකුණු 18කට කඩුලු දෙකක් දවා ගනිද්දී වඩාත් පළපුරුදු ක්‍රීඩිකාව වන නායිකා ශෂිකලා සිරිවර්ධන තව පන්දු වාර 4 අවසන් කළේ ලකුණු 35ක් ලබා දෙමිනි. ඒ එකඳු කඩුල්ලක් හෝ දවා නොගනිමිනි.

පන්දුවට පහර දීමේ දී ආරම්භක පිතිකාරිනියන් වූ යසෝදා මෙන්ඩිස් සහ නිපුනි හංසිකා නැවත වතාවක් තම යුතුකම් ඉටු කළ ද, 31ක් හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන නීඩා දාර් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගන්නීය. ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද නම් වෙන්නී ය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරමක් පසුබසී

  • සිව්වැනි තරගය

තරගාවලිය යාවත්කාලීන වන විට ආසියානු ශූරියන් වූ ඉන්දියාව සමඟ පැවති තරගය, තරගාවලියේ 12 වැනි තරගය ලෙසිනි පැවැත්විය. පෙර තරගය පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආසියානු කුසලාන සිහිනය යම් තරමකට ඉරි තැලී තිබුණි. නමුත් දක්ෂතාව නමැති ආලේපයෙන් එය සකසා ගැනීමේ ඉඩකඩ ද සමඟිනි මෙම තරගය පැවතියේ.

එහෙත් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූයේ පිතිකාරිනියන් දෙදෙනෙක් මත පමණක් යැපෙන්නට ය. එය ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායමකට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත. පිළිතුර වූයේ ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ඉලක්කය තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී පසු කිරීම ය. ඒ කඩුලු 7ක් ද අතැතිව ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකාරිනියන් ලෙසින් යමක් කළේ යසෝදා මෙන්ඩිස් (27) සහ හසිනි පෙරේරා (42) පමණි. පන්දු යැවීමේ දී කිව යුතු තරමේ දක්ෂතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් වෙතින් දිස් නොවුණි.

ඉන්දියාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරගාවලියේ අවසාන තරගයට සහභාගී වන බවට නියත විවරණ ලැබූ අතර ශ්‍රී ලංකාවට එම අවස්ථාව දිනා ගැනීමට නම් තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමට සිදු විය. එපමණක් නොව අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල දෙස ද බලා සිටීමට සිදු විය.

ශ්‍රී ලංකාව ආසියානු ශූරියන්ට කරට කර සටනක් දෙයි

7 වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක්…

  • පස්වැනි තරගය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආසියානු කුසලාන සිහිනයේ “ මියෙම්මා – රැකෙම්මා” තරගය වූයේ මෙයයි. තරගය පැවතියේ තායිලන්තය සමඟිනි. තායිලන්තය යනු ශ්‍රී ලංකාව සමඟ සැසදීමේ දී කුරුමිටි ක්‍රිකට් රාජ්‍යයකි. එහෙත් ලිලිපුට් ශ්‍රී ලංකා අම්මණ්ඩිලා පරාජය කළ කුරුමිටි තායි ක්‍රිකට් ළදරුවෝ ආසියානු කුසලානයේ ඔවුන් ලැබූ අමිල ජයග්‍රහණය වාර්තා කර ගත්තෝය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූයේ දෑත් දෙපරන්ද අස්සේ ගසාගෙන හීල්ලීමට ය. ඒ ක්‍රිකට් සංසරණය වන ආකාරයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 104කට සීමා වෙතැයි සිතුවෝ කවුරුන් ද? නමුත් එසේ වුණි. එම ලකුණු ප්‍රමාණය වුව ද තායිලන්තය වැනි කණ්ඩායමට හොඳට ම ප්‍රමාණවත් වීමට ඉඩ තිබුණි. එහෙත් ඉතා පළපුරුදු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හය දෙනෙක්ට ඔවුන්ගේ ඉනිම වළකාලීමට නොහැකි විය. අවසන් පන්දුව දක්වා ම සටන් කළ ඔවුන් කඩුලු 4කින් ශ්‍රී ලංකාව පරාජය කරති.

සම්පූර්ණ වාර්තාව: අවසන් අසුනේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටේ

  • ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා

තරග ලකුණු පුවරු නිරීක්ෂණය කිරීමේ දී සෑම තරගයක දී ම දැකිය හැක්කේ එකම චිත්‍රයකි. පන්දුවට පහර දීමේ දී යසෝදා මෙන්ඩිස්, නිපුනි හංසිකා, අනුශ්කා සංජීවනී සහ හසිනි පෙරේරා ද, පන්දු යැවීමේ දී සුගන්ධිකා කුමාරි සහ නිලක්ෂිකා ද සිල්වා කැපී පෙණුන අතර අනෙකෙක් කැපී පෙණුනේ නම් ඉතා කලාතුරකිනි. අනෙක් අතට මේ ඉහත කී සියලු දෙනා අතරින් එක දිගට දක්ෂතා දැක්වූ කෙනෙක් වේ නම් ඒ යසෝදා මෙන්ඩිස් පමණි. ඊට ටිකක් නුදුරින් සෙස්සෝ ය. එහෙත් ඔවුන් ඇතැම් තරගවල දී දුර්වල ඉනිම් ක්‍රීඩා කළහ.

පන්දු යැවීමේ දී සුගන්ධිකා කුමාරි සහ නිලක්ෂි ද සිල්වා කැපී පෙණුනේ ද පළමු සහ දෙවැනි තරගවල දී පමණි. ඔවුන්ට ද තමන්ගේ දක්ෂතා එකම මට්ටමේ තබා ගෙන කටයුතු කිරීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

ඉහත කී කිහිප දෙනාට අමතරව තරගයක/ දෙකක දී ලකුණු අතරට සහ කඩුල්ලක්/ දෙකක් දවා ගත්තෝ ද වෙති. ඒ සියල්ලම සටහන් කිරීමට මෙහි ඉඩක් නොමැත. කෙසේ වෙතත් මේ කිසිවෙක් තම දක්ෂතා දැක්වීම හෝ නොදැක්වීම සංවිධානය වී කළ දෙයක් නොවේ යන්න අප හොඳාකාරව ම දනිමු.

කළ යුත්තේ, සියලු දෙනා මෙම තරගාවලිය පාඩමකට ගෙන ඉදිරි තරගවල දී මීට වඩා කණ්ඩායමට දායකත්වයක් ලබා දීමය. අප එසේ පවසනුයේ, පොදුවේ ගත් කළ අපට නම් හැඟුණේ ආසියානු කුසලානය රැගෙන ඒමට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම මීට වඩා මිශ්‍රණයකින් යුක්ත විය යුතු බවකි. ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ගෙන් පමණක් යැපීමට ගිය කණ්ඩායමකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම ද නොහොබිනා කාරණයකි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අපේ හද ගැහෙනා රාවයයි. එබැවින් එහි ගුණ සේ ම අගුණ ද සටහන් තැබීම අපේ යුතුකමකි. ගුණ නිවී සැනසෙන්නට ය. අගුණ යහපත වෙනුවෙන් නිවැරදි වෙන්නට ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<