Spartan තරගයේ ශූරතාවය Sri Lankan Blues කණ්ඩායමට

430

Dubai Holdings මඟින් සංවිධානය කරනු ලැබූ Spartan Obstacles 2018 තරගය ඊයේ (16) එක්සත් එමීර් රාජ්‍යයේ Hatta Wadi Park හිදී අවසන් විය. විවෘත කාණ්ඩය යටතේ කණ්ඩායම් 12ක් මෙවර තරගයට සහභාගී වූ අතර මෙම තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට එක්සත් එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ Sri Lankan Blues කණ්ඩායම සමත් විය.

ලංකාවේ කොල්ලෝ ටිකක් සහ කෙල්ලෙක් ජාත්‍යන්තරය හොල්ලන්නට සැරසේ

බාධක දිවීමේ තරග ආකෘතියට බොහෝ දුරට සමාන තරග ඉසව්වක් වන Spartan Obstacles තරගය අද (නොවැම්බර් 16) එක්සත් එමීර් රාජ්‍යයේ…….

එරට වේලාවෙන් උදෑසන 10:00 ආරම්භ වූ මෙම තරගයේ බාධක 32ක් සමඟින් 21km දුරක් සාර්ථකව තරණය කළ Sri Lankan Blues කණ්ඩායම ශූරතාවය හිමිකර ගන්නා ලදි. ඔවුන්ට සම්පූර්ණ අභියෝගය නිමා කිරීමට සඳහා පැය 01කුත් විනාඩි 22ක කාලයක් ගතවූ අතර දෙවන හා තෙවන ස්ථාන Oman සහ Philippine කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදි.

මෙම ජයග්‍රහණයත් සමඟ Sri Lankan Blues කණ්ඩායමට ලබන වසරේ Oman හිදී පැවැත්වෙන Spartan Super තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර Sri Lankan Blues කණ්ඩායමේ මීළඟ ඉලක්කය 2019 වසරේ අභියෝගය සඳහා සූදානම් වීම බව කණ්ඩායම් නායක අමල් රමීස් පැවසීය.

“මේ අප ලැබූ විශාල ජයග්‍රහණයක්. ගොඩක් කැපවීමෙන් පුහුණු වීම් කළා. තරගයේ මුහුණ දීමට සිදු වන බාධක පිළිබඳව අපිට අවබෝධයක් තිබුණා. නමුත් මෙතන තිබුණේ කාලය සමඟ සටනක්. ඒ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දුන්නා.” යැයි තරගයෙන් අනතුරුව මෙම කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වන අකිලා ජයවර්ධන පැවසීය.

ජයග්‍රාහී Sri Lankan Blues කණ්ඩායමේ නායක අමල් රමීස් සමඟ අකිලා ජයවර්ධන, නුවන් සමීර, තාරීක් මෂූඩ්, අම්ජඩ් අෆ්හම් සහ ඉම්‍රි ෆාහීම් හට පදක්කම් පිරිනැමූ අතර මෙහි දී සිය කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් දැක්වූ සහයෝගය සඳහා දායක වූ සැමට විශේෂ ස්තුතියක් ද පිරිනමන ලදි.

“අපේ ජයග්‍රහණය පසුපස අපට ශක්තියක් වූ විශාල පිරිසක් සිටිනවා. අපගේ අනුග්‍රාහකයින් මෙන්ම අපට සුබ පැතුම් සහ ආශීර්වාද කළ සියලු දෙනාට මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com වෙත මාගේ කණ්ඩායම වෙනුවෙන් විශේෂ ස්තුතිය පුදකරනවා.” යැයි නායක අමල් රමීස් පැවසීය.

  • අමල් රමීස් (නායක) – මොරටුව වේල්ස් කුමර විදුහල
  • අකිලා ජයවර්ධන – ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය (Sacred Heart Convent Galle)
  • නුවන් සමීර – ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
  • තරීක් මෂූඩ් – කොළඹ මහානාම විද්‍යාලය
  • අම්ජඩ් අෆ්හම් – කොළඹ වෙස්ලි විද්‍යාලය
  • ඉම්‍රි ෆාහීම් – Stanford International School Colombo

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<