කොදෙව් තරග බිමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි ද?

2289
2018 Sri Lanka vs West Indies

බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ පෙරහුරුවක් වූ අතර එය ජුනි මස 6 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා හොඳ පිටිවහලක් වූ බව නොඅනුමානයි.

කුසල්ලාගෙන් විශිෂ්ට හා නොදැවුණු සබඳතාවයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර.

මුහුණට මුහුණ

වසර 15ක ටෙස්ට් තරග ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 17ක දී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 8ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති ඇත්තේ කොදෙව්වන්ට ජයග්‍රහණ 3ක් ලබා දෙමින්. ඒ නිසා ශ්‍රී ලංකාවට මෙවර යම් වාසියක් තිබුනත්, ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශයේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 6කට සහභාගී වී තරග 3ක් පරාජය වෙමින් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් (2007/08) පමණි.

රටවල් දෙකේ ක්‍රිකට් ඉතිහාසය ගැන තවදුරටත් විමර්ශනය කිරීමේ දී කොදෙව් දේශයේ දී ශ්‍රී ලංකාව එක තරගාවලියක් හෝ ජයග්‍රහණය කර නොමැති බව පෙනේ. එබැවින් ශ්‍රී ලංකාවට මේ ලැබී ඇති අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තවත් නව පිටුවක් එක් කිරීමට ලැබෙන කදිම අවස්ථාවකි. දෙරට අතර අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ දී (2015/16 සෝබර්ස් – තිසේරා කුසලානය) වන අතර එම තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

ප්‍රබල පිතිකරුවන්

දිනේෂ් චන්දිමාල්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණ දකුණතින් පිත්ත හසුරුවන චන්දිමාල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරග දෙකකට සහභාගී වී ඇත. ඔවුන්ට එරෙහිව චන්දිමාල්ගේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ලකුණු 62.66ක් වන අතර ඒ අතරට එක් ශතකයක් ද ඇතුළත්.

පසුගිය පළමු වැනිදා නිමා වූ පුහුණු තරගයේ ද ලකුණු අතරට පිවිසෙමින් චන්දිමාල් ශතකයක් වාර්තා කළා. තවද දල වශයෙන් ලකුණු 40කට ආසන්න ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට චන්දිමාල් සමත් වෙලා තියෙනවා.

කරෙයිග් බාර්ත්වෙයිට්

“බෝබෝ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කරෙයිග් බාර්ත්වෙයිට් නම් 25 හැවිරිදි මේ පිතිකරුවා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ ටෙස්ට් තරග දෙකක දී ඉනිම 4ක් ක්‍රීඩා කර ඇත. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 44ක‍ට සහභාගී වී 37.43ක ලකුණු රැස්කර ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන ඇති බාර්ත්වෙයිට් දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙකි. කොදෙව් කණ්ඩායම මෑතක දී සහභාගී වූ නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ද බාර්ත්වෙයිට් දස්කම් අතරට පිවිසියා.

කුසල් ජනිත් පෙරේරා

දිමුත් කරුණාරත්නගේ ආබාධය නිසා මෙවර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තුළ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන කුසල් ජනිත් පෙරේරා තරමක් වේගයෙන් පන්දුවට පහර දීමට කැමැත්තක් දක්වන වමත් පිතිකරුවෙක්.

නිමා වූ තෙදින පුහුණු තරගයේ දී මුළු ලකුණු 115ක් ලබා ගැනීමට කුසල් ජනිත් සමත් වූ අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2016 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. අනතුරුව ඔහුගේ තිබූ ආබාධ තත්වය නිසා ටෙස්ට් ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම ඔහුට අහිමි විය. සහභාගී වූ ජාත්‍යන්තර ටෙස්ට් තරග 10 දී 32කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගැනීමට ජනිත් සමත් විය.

ෂායි හොප්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරන පිතිකරුවෙකු වන මේ 24 හැවිරිදි ක්‍රීඩකයා කඩුලු රකින පිතිකරුවෙක්.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 17කට කොදෙව් දේශය නියෝජනය කිරීමට සමත් වී ඇති ෂායි හෝප්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 33.20ක්. එහි දී ඔහු විසින් ලකුණු 996ක් ලබාගෙන ඇති අතර ඒ අතරට ශතක 2ක් හා අර්ධ ශතක 3ක් ඇතුළත්. හොප් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් ක්‍රීඩා කර ඇත.

සුබවාදී බලාපොරොත්තු සමඟින් ධනංජය කොදෙව් දේශයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙක් වන ධනංජය ද සිල්වා මේ මස 6 වැනිදා ආරම්භ වන..

ප්‍රබල පන්දු යවන්නන්

රංගන හේරත්

වමතින් දඟපන්දු යවන රංගන හේරත්ට කොදෙව් දේශයේ තණතීරු වල හැසිරීම, ක්‍රීඩකයින්ගේ ස්වභාවය වැනි දෑ පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකියාවක් ඇත්තේ මෙම තරගාවලියේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ඔහු වන නිසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කර ඇති හේරත් පන්දුවාර 223යි පන්දු 5ක් යවමින් කොදෙව් කඩුලු 23ක් දවාගෙන ඇත්තේ ලකුණු 590ක් පමණක් ප්‍රතිවාදීන් වෙත ලබා දෙමිනි.

එසේම හේරත්ගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 25.65ක ඉතාමත් හොඳ මට්ටමක පවතී. හේරත් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ තරග 89ක දී කඩුලු 415ක් මේ වන විට දවාගෙන ඇත.

ජේසන් හෝල්ඩර්

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජේසන් හෝල්ඩර් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයායි. දකුණතින් මඳ වේගපන්දු යවන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව ඇත.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දත්ත සලකා බැලූ විට ජාත්‍යන්තර ටෙස්ට් තරග 29ක් ක්‍රීඩා කර ඇති හෝල්ඩර් කඩුලු 53ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය ලකුණු 38ක්.

දිල්රුවන් පෙරේරා

දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ද ශ්‍රී ලංකාවට සිටින ප්‍රබල තුරුම්පුවක්. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ මේ වන විට කඩුලු 106ක් දවාගෙන ඇති දිල්රුවන් ඒ සඳහා වැය කර ඇත්තේ ටෙස්ට් තරග 27ක් පමණි.

එක් ඉනිමක් තුළ ලකුණු 70කට කඩුලු 6ක් දවා ගැනීම දිල්රුවන් විසින් මෙතෙක් සිදු කර ඇති හොඳම පන්දු යැවීම වන අතර කොදෙව් කණ්ඩායම සමඟ එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති දිල්රුවන් එම තරගයේ දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

කෙමාර් රොච්

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය තුළ සිටින ප්‍රබල වේගපන්දු යවන්නන් අතරේ කෙමාර් රොච් ඉදිරියෙන් සිටින ප්‍රබල ක්‍රීඩකයෙක්.

දකුණතින් වේගපන්දු යවන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කර කඩුලු 12ක් දවා ගැනීමට සමත්ව තිබෙන නිසා ඉතාමත් හොඳ අත්දැකීම් මෙන්ම පළපුරුදුකම් අතින් ද ඔහු ඉදිරියෙන් සිටීවි යැයි අපේක්ෂා කිරීමට හැක.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 44කට ක්‍රීඩා කර ඇති කෙමාර් රොච් එහි දී කඩුලු 147ක් දවාගෙන ඇති අතර මේ තරගාවලිය තුළ දී නිසැකවම ඔහු කඩුලු 150 සීමාව පසු කරනු ඇත. එසේම කඩුලු 5ක් දවා ගත් අවස්ථා 7ක් ඔහුගේ නමට ඉදිරියෙන් ලියවී ඇත.

තිසර ලෝක කණ්ඩායමේ නම්බුව බේරයි; ජය කොදෙව්වන්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය…

ට්‍රින්ඩෑඩ් හි කුවින්ස් පාක් ඕවල් තණතීරුව හා කාලගුණය

මෙම ක්‍රීඩාංගණය අවට පැහැදිලි අහසක්, පැයට කිලෝමීටර් 15 සිට 24 දක්වා විචලනය වන සුළඟක් සහ 24°C – 31°C වැනි පරාසයක පවතින උෂ්ණත්වයක් තිබීමට ඉඩ ඇත.

ප්‍රේක්ෂකයින් 25,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය නිර්මාණය කර ඇති අතර යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි. 2016 අගෝස්තු මාසයට පසුව මෙම පිටියේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

සාන්ත ලුසියා තණතීරුව හා කාලගුණය

2016 අගෝස්තු මාසයට පසුව මෙම පිටියේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර 12,400කට පමණ තරගය නැරඹීමට හැකි අයුරින් මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත.

යම් හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසුයි.

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ක්‍රීඩාංගණය අවට පැහැදිලි අහසක් දිස්වුවත් දෙවන දිනයේ දී පැය කිහිපයකට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් සම්භාවිතාවක් ඇත. පැයට කිලෝමීටර් 22 – 34 දක්වා සුළඟේ වේගයේ විචලනය විය හැකි අතර 25°C – 33°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

කෙන්සින්ටන් ඕවල් තණතීරුව හා කාලගුණය

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයක් සඳහා මේ පිටියේ දී තරග වදිනු ලබන පළමු අවස්ථාව මෙයයි. යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසුයි.

ප්‍රේක්ෂකයින් 28,000කට පමණ අසුන් ගත හැකි ලෙස නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩා පිටිය අවට තෙවැනි ටෙස්ට් තරගාවලිය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. නමුත් තරගයේ දෙවන දිනයේ පැය කිහිපයකට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 26 – 39 දක්වා සුළඟේ වේගයේ විචලනය විය හැකි අතර, 25°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්වය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැනට (ජුනි 3) පවතින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි 9 වැනි ස්ථානයේ පසු වේ. ඔවුන් ලකුණු 1484ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 67ක් ලබා ගෙනයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 2914ක් හා ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි.

අවසන් වශයෙන්

සම්පූර්ණ තරග ඉතිහාසය දෙස බැලූ විට තරගාවලියේ වැඩි වාසිය හිමිවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වන අතර වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම ද ඉතාමත් ස්ථාවර මට්ටමක පසුවන නිසා ජයග්‍රහණයේ බලාපොරොත්තු තබා ගත හැකිය. ඒ සඳහා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ද එක් සාධකයකි.

කෙසේ නමුත් සත්කාරක රටේ වාසිය මෙන්ම එරට දී තිබෙන ටෙස්ට් තරග ඉතිහාසයේ වාසිය ද ශ්‍රී ලංකාවට නොමැත. කෙසේ නමුත් තරගාවලිය තුළ අවම ලෙස දුර්වලතා හා අත්වැරදීම් සිදුකරනු ලබන කණ්ඩායමට තරගාවලිය සාර්ථක ලෙස නිමා කිරීමට හැකි වනු ඇත.

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් පිටියේ අපේ ක්‍රිකට් ඉතිහාසය

වසර 22ක් වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා..

කණ්ඩායම් දෙකේ සංචිත

ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, මහේල උඩවත්ත, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලහිරු ගමගේ, ලහිරු කුමාර, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිශෝ, ඩෙවෝන් ස්මිත්, කරෙයිග් බාර්ත්වෙයිට්, කිරන් පවෙල්, රොස්ටන් චේස්, මිගුවෙල් කමින්ස්, ෂේන් ඩොව්රිච් (කඩුලු රකින්නා) , ශැනොන් ගැබ්‍රිල්, ජේමර් හැමිල්ටන් (කඩුලු රකින්නා) , ශිම්රන් හේට්මයර්, ෂායි හොප්, කෙමාර් රොච්.

තරග සංචාරයේ කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය: ජුනි 6-10, කුවින්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්
  • දෙවන ටෙස්ට් තරගය: ජුනි 14-18, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාන්ත ලුසියා කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස්
  • තෙවන ටෙස්ට් තරගය: ජුනි 23-27, කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස් (දිවා/රාත්‍රී තරගය)

මේ තරගාවලියේ උණුසුම් පුවත්, ලකුණු සටහන්, තරග වාර්තා හා තරග පසුවිපරම ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න. තරගාවලියේ ඔබේ අදහස පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<