ටෙස්ට් ජයග්‍රහණයට පසුව ඇර​ඹෙන T20 ජයත් ශ්‍රී ලංකාවට ද?

1467
2018 Sri Lanka vs Bangladesh

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අනිද්දා (15) ආරම්භ වන අතර එහි පළමු තරගය ඩකා හිදී පැවැත්වෙනු ඇත.

[rev_slider LOLC]

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ පරාජය කරමින් ලකුණු 79ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉන්පසුව පැවැත්වූ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට කෙමෙන් කෙමෙන් අවතීර්ණ වෙමින් සිටින මොහොතක මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනු ඇත.

මුරලිගෙන් ඇරඹී ලක්මාල්ගෙන් අලුත් වූ කඩුලු ශතක සමාජය

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු ශතක සමාජයට අලුතෙන්ම එක් වූ..

මුහුණට මුහුණ

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මේ දක්වා අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 7ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 5ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී බංග්ලාදේශ කණ්ඩායම තරග දෙකක් ජයග්‍රහණය කර ඇත.

ප්‍රහාරාත්මක ක්‍රීඩකයින්

උපුල් තරංග

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට පණ පොවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තරංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 20ක් තුළ ලකුණු 310ක් ලබාගෙන ඇත. එසේම බංග්ලාදේශයට එදිරිව තරග 3කට සහභාගි වී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 23.33ක් වැනි මට්ටමක රඳවා ගෙන ඇත. එසේම බංග්ලාදේශ පන්දු යවන්නන්ට එදිරිව ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 121ක් වැනි මට්ටමක පවතී.

සබීර් රෙහ්මාන්

උස අඩි 5 අගල් 8ක් වන මේ වමත් පිතිකරුවා බංග්ලාදේශ කණ්ඩායමේ සිටින මුල්පෙළ ප්‍රබල පිතිකරුවෙකි. ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරග 4කට ක්‍රීඩා කර ලකුණු 141ක් ලබාගෙන ඇති මොහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.25කි. එසේම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එදිරිව 115.57ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ඇති රෙහ්මාන් ශ්‍රී ලංකාවට එදිරිව එක් විස්සයි විස්ස අර්ධ ශතකයක් ද ලබාගෙන ඇත. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 29කට ආසන්න ලකුණු ලබා ගැනීමක් පවත්වා ගැනීමට මොහුට හැකිව ඇත.

කුසල් ජනිත්

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ සිටින වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස කුසල් ජනිත්ව හැදින්වීමට හැකිය. මේ 27 හැවිරිදි යොවුන් පිතිකරුවා මැදපෙළ සවිමත් කර වීමට හැකි සුවිශේෂී පිතිකරුවෙකි. ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 30ක් තුළ ලකුණු 816ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 2720ක් වැනි හොඳ මට්ටමක (විස්සයි විස්ස සඳහා) පසුවෙමිනි. කුසල් ජනිත් බංග්ලාදේශ පන්දු යවන්නන්ට එදිරිව තරග 5ක දී ලකුණු 230ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46ක් වැනි විශිෂ්ට මට්ටමක පවත්වා ගනිමිනි.

මහමදුල්ලා

බංග්ලාදේශ කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් 2007 වර්ෂයේ සිට මැදපෙළ සවිමත් කරන මහමදුල්ලා, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 6ක දී ලකුණු 114ක් ලබාගෙන ඇත්තේ ලකුණු 28.58ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. මහමදුල්ලාගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක හා ශතක  ඇතුළත් නොවීම කැපී පෙනේ. එසේම මොහු පන්දුවෙන් ද දස්කම් දැක්වීමට හැකි ක්‍රීඩකයෙකි.

ප්‍රබල පන්දු යවන්නෝ

තිසර පෙරේරා

දකුණතින් වේගපන්දු යවන තිසර පෙරේරාගේ පන්දු හමුවේ නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පිතිකරුවන් වුවද තරමක දෙගිඩියාවකින් යුතුව පන්දුවට පහර දෙනු දක්නට ලැබුණි. ඒ ඔහුගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. හිටපු ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා වූ තිසර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 66ක දී කඩුලු 48ක් දවා ගැනීමට සමත්ව ඇති අතර, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය ලකුණු  27.5ක පමණ වේ. බංග්ලාදේශට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21.0කි.

ශකීබ් අල් හසන්

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස බංග්ලාදේශය සවිමත් කරන ශකීබ් අල් හසන් වයස අවුරුදු 20ක් පමණ වන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. ආබාධයකට ලක්වීම නිසා ඔහු නිමා වූ ටෙස්ට් තරගාවලියට සහභාගි නොවීය. ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 61ක දී කඩුලු 73ක් දවා ගැනීමට ශකීබ් සමත් වී ඇති සේම ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 20.67ක් ලෙස දැක්වේ. ශකීබ් එක් පන්දුවාරයකට පිතිකරුටවකුට දළ වශයෙන් ලකුණු 6.80ක් ලබා දීමක් සිදු කර ඇත. එසේම දැනට ලොව හොඳම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ ද මොහුය.

අකිල ධනංජය

පසුගිය දා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කර ගත් මේ යොවුන් දඟපන්දු යවන ක්‍රීඩකයා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 9ක දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වී ඇත. 2012 වර්ෂයට පසුව නැවතත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන අකිල මෑත කාලය තුළ සිය දස්කම් හොඳින් විදහා දැක්වීමට සමත් විය. අකිල පන්දුව පහසුවෙන්ම දඟ කැවීමට උපන් හපනෙකි. එසේම බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස තරගයකට සහභාගී වීමට අකිල තවමත් සමත් වී නැත.

මස්ටෆයිසුර් රහමාන්

උස අඩි 5 අඟල් 11ක් වන දකුණතින් වේගපන්දු යවන මස්ටෆයිසුර් රහමාන්, ශ්‍රී ලංකාවට එදිරිව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 3ක දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීම එක් තරගයක ශ්‍රී ලංකා කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති රහමාන් එක් පන්දුවාරයකට දළ වශයෙන්  ලකුණු 6.40ක් පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 12.80ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගෙන ඇත.

ඩකා තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය

ප්‍රේක්ෂකයින් 32,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත.

2016 වර්ෂයට පසුව මෙම ක්‍රීඩා පිටියේ විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මෙහි තණතීරු මත ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 6කට සහභාගි වී තරග 3ක් ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය මෙම තණතීරුව මත විස්සයි විස්ස තරග 19කට සහභාගි වී තරග 7ක් ජයග්‍රහණය කරද්දී, තරග 12ක් පරාජය වී ඇත.  යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය සලකා බැලීමේ දී පළමු විස්සයි විස්ස තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 11 – 16 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 17°C – 25°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

සිලේට් තණතීරුව පිටිය හා කාලගුණ තත්වය

ප්‍රේක්ෂකයින් 18,500කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ දී 2014 වර්ෂයට පසුව විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණය දෙස බැලූ විට, මෙම තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 6 – 20 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 21°C – 30°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්ත්වය

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට බංග්ලාදේශ කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර බංග්ලාදේශය දැනට (ජනවාරි 29) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානයේ පසු වේ. ඔවුන් ලකුණු 1289ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 76ක් ලබා ගෙනයි.  ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 2385ක් හා ප්‍රසාද ලකුණු 88ක් ලබා ගෙනයි.

අවසන් නිගමනය

තරග ඉතිහාසය පිරික්සා බලන කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ ශූරතාවය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් තිබුනත්, තරගාවලිය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.

6 පහර 7ක් සමඟින් සංගා වැඩ පෙන්වයි

පෙබරවාරි මස 6 වැනිදා සිට 11 දක්වා පැවැත්වූ හොංකො “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ…

අපේක්ෂිත සංචිත

ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන්  දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුශංක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපොන්සෝ, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු

බංග්ලාදේශ සංචිතය – ශකීබ් අල් හසන් (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, මහමුඩුල්ලා, සබීර් රෙහ්මාන්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රුබෙල් හුසේන්, මොහොමඩ් සයිෆුද්දීන්, අබු ජායේඩ්, අරිෆුල් හක්, මහේදි හසන්, සකීර් හසන්, ඇෆීෆ් හුසේන්.

තරග කාලසටහන

  • පළමු තරගය – පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා ඩකා පිටියේ දී (සවස 4.30 සිට)
  • දෙවන තරගය – පෙබරවාරි 18 ඉරිදා සිලේට් පිටියේ දී (සවස 4.30 සිට)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<