ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව ගෞරවනීයත්වයට පත් කරයි

2269

සංචාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ගෞරවනීය තැනක තබමින් ෂෙහාන් ජයසූරිය අද (11) තම නව වැනි පළමු පෙළ ශතකය බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව වාර්තා කළේ ය. සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වර්ණවත් කළ ජයසූරියගේ ඉනිම ලකුණු 142කි. පන්දු 155ක් පුරා පිටියේ රැදි සිටි ජයසූරිය හතරේ පහර 15කින් සහ හයේ පහර 4කින් තම ඉනිම සරසා ගත්තේ ය.

ෂෙහාන් ජයසූරිය බංගලියන් දපනේ දමයි

බංග්ලාදේශයේ තරග සංචාරක නිරත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමඟින් අලුතෙන්ම එක්වූ 26 හැවිරිදි…

පෙර දිනය අවසාන වෙද්දී පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 53ක් ලබා සිටි වමත් ආරම්භක පිතිකරු ජයසූරිය අද රැස් කළ ලකුණු ප්‍රමාණය 89කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 104ක් වැය කළේ ය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ A ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 167ට පිළිතුරු ලෙසින් සංචාරක ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 312ක් ලබා ගත් හ. ඒ අනුව ලකුණු 145ක් පිටුපස සිටිමින් නැවත දෙවැනි ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ A ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය නිමාවේ දී කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටිය හ. ඒ අනුව ඔවුන් ඉනිම පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 88ක් ලබා ගත යුතු අතර ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 9ක් ඇත.   

පෙර දිනයේ කඩුලු 3ක් දැවී ලකුණු 78ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද දිනයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 234කි. කඩුලු 7ක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් චරිත් අසලංක දිනයේ යැවුණ දෙවැනි පන්දුවේ දී ම තම කඩුල්ල අහිමිකර ගත්තේ ය. ඒ වෙද්දී ද ඔහු ලබා සිටියේ ලකුණු 07ක් පමණි.

අනතුරුව පිටියට පිවිසියේ සම්මු අශාන් ය. ඔහු හා එක් වූ ෂෙහාන් ජයසූරිය දිනයේ දිවා ආහාරය වෙද්දී තම කඩුලු ආරක්ෂා කර ගනිමින් පිටියේ රැදී සිටීමට සමත් වූ හ. දිවා විවේකයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4කට ලකුණු 128ක් ලෙසිනි.

දිවා විවේකයෙන් පසුව පැයකට වැඩි කාලයක් පිටියේ රැදී සිටි ඔවුන් දෙදෙනා පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවක් එක් කළ කළ හ. බංග්ලාදේශයේ සාර්ථක ම කඩුලු දඩයක්කරු වූ සුන්සමුල් ඉස්ලාම් ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් සම්මු කඩුල්ල අහිමි කර ගනිද්දී ලකුණු 60ක් ලබා සිටියේ ය. ඔහු ඒ වෙද්දී පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් තම ඉනිමට එක්කර ගෙන තිබුණි. එය ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක ම කඩුලු සබඳතාව විණි.  

සම්මුගෙන් අනතුරුව මනෝජ් සරත්චන්ද්‍ර සමග එක් වූ ජයසූරිය ලකුණු පුවරුව 240ක් දක්වා රැගෙන එමින් හය වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ ය. ජයසූරිය සහ සරත්චන්ද්‍ර අතර එම කඩුල්ලේ සබඳතාව ලකුණු 44කි.

අනතුරු ව පිටියට පිවිසි පිතිකරුවන් අතුරින් හොඳම ලකුණු සබඳතාවක් වාර්තා වූයේ මනෝජ් සරත්චන්ද්‍ර සහ ෂෙහාන් මධුශංක අතර ය. 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ ඔවුන් දෙදෙනා තේ විවේකයට තරගය නතර කරන විට ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 258ක් දක්වා රැගෙන විත් තිබුණි. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලේ සබඳතාව ලකුණු 34කි. ෂෙහාන් මධුශංක ලකුණු 12ක් ලබා සිටිය දී දැවී යමින් එම සබඳතාව බිඳ ගත්තේ ය.  මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් සටනේ වැඩි බර කා හට ද?

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක්…

ශ්‍රී ලංකා A ලකුණු පුවරුව ඉහළ දැමීම වෙනුවෙන් අනෙකුත් පිතිකරුවන් වූ මාලින්ද පුෂ්පකුමාර (27) ප්‍රභාත් ජයසූරිය (01) සහ විශ්ව ප්‍රනාන්දු (00*) එක් වූ හ.

පන්දු යැවීමේ දී 28 වියැති වමතින් දඟ පන්දු යවන සුන්සමුල් ඉස්ලාම් ලකුණු 104කට කඩුලු 4ක් දවා ගනිමින් බංග්ලාදේශය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතර ව මුස්ටෆිසුර් රහමන් ලකුණු 44කට කඩුලු 3ක් ද නයීම් හසන් ලකුණු 95කට කඩුලු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූ හ.

බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ෂද්මන් ඉස්ලාම් (19) සහ සෞම්‍ය සාකර් පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 37කි. තරගයේ දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට සෞම්‍ය සාකර් (24*) සහ මිසනුර් රහ්මන් (13*) පිටියේ නොදැවී රැදී සිටිය හ.

යැවුණ පන්දු වාර 17 සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් පස් දෙනෙක් ම යොදා ගත්ත ද ඉන් සාර්ථක වූයේ මාලින්ද පුෂ්පකුමාර පමණි.

හෙට ( 12 ) තරගයේ තෙවැනි දිනයයි.

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 ( 62.3 ) සකීර් හසන් 42, සුන්සමුල් ඉස්ලාම් 41, නයීම් හසන් 22, ෂෙහාන් ජයසූරිය 3/47, මාලින්ද පුෂ්පකුමාර 3/48, ප්‍රභාත් ජයසූරිය 3/12

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 ( 81.1 ) ෂෙහාන් ජයසූරිය 142, සම්මු අශාන් 60, මනෝජ් සරත්චන්ද්‍ර 33, මාලින්ද පුෂ්පකුමාර 27, මුස්ටෆිසුර් රාහ්මන් 3/44, නයීම් හසන් 2/95, සුන්සමුල් ඉස්ලාම් 4/104

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 57 ( 17.0 ) ෂද්මන් ඉස්ලාම් නොදැවී 19, සෞම්‍ය සාකර් නොදැවී 24, මිසනුර් රහ්මන් නොදැවී 13, මාලින්ද පුෂ්පකුමාර 1/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<