කිංස්වුඩ් මෙහෙයුම අසාර්ථකයි; ජෝසප්වරුන්ට තියුණු ජයක්

2083

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර අද (04) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 26-22ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

කොළඹ ක්‍රීඩකයින්ට විද්‍යාර්ථයින්ගෙන් හොඳ සංග්‍රහයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (10) මහනුවර …

මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායමට තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව හිමිවන හෙයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

ඒ අනුව තරගය ආරම්භ වූ මොහොතේ සිටම සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට උත්සාහ දැරූ නමුත් කිංස්වුඩ් ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය හමුවේ එය පහසු කටයුත්තක් වූයේ නැත. කෙසේ නමුත් තරගයේ 6 වන මිනිත්තුවේ දී එම උත්සාහය සාර්ථක කර ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සමත් විය. කාවින්ද කේෂාන් විසින් එහි දී එම උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කරගන්නට සන්තුෂ් අල්ගම සමත් විය. (SJC 07-00 KCK)

ඊට වහාම පිළිතුරු දැක්වූ කිංස්වුඩ් ක්‍රීඩකයින් තරගයේ 9 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයට අවතීර්ණ වන්නට සමත් විය. එහි දී පන්දුව හොඳින් හුවමාරු කර ගනිමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය ඩිනාල් ඒකනායක වෙත බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. (SJC 07-05 KCK)

තියුණු සටනකින් ගාල්ල ක්‍රීඩකයෝ මහානාමය හමුවේ පරාජය වෙති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (8) ගාල්ල රිච්මන්ඩ් …

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. එම අවස්ථාවේ දී දුලංජන පියතිස්සගේ ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට වූ අතර ඔහු බාර කළ පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය කාවින්ද කේෂාන් එහි දී තරගයේ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගනු කියනු ලැබීය. කෙසේ නමුත් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට සන්තුෂ් අල්ගම සමත් වූයේ නැත. (SJC 12-05 KCK)

පසුව ඉක්මන් අවස්ථාවක් හරහා කිංස්වුඩ් ක්‍රීඩකයින් හට උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට අවස්ථාවක් විවෘත වුවත්, සාන්ත ජෝසප් කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය හමුවේ එය සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනතුරුව තරගයේ 31 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සන්තුෂ් අල්ගම සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද පහසුවෙන් සාර්ථක කර ගන්නට ඔහු සමත් විය. (SJC 19-05 KCK)

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට කිංස්වුඩ් ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී මොහොමඩ් සශාන් බාර කළ පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් ඉදිරියට රැගෙන යමින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ සචින්ත සෙනෙවිරත්න විසිනි. අනතුරුව හිරුෂ නෙත්මිණ විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගන්නා ලදි.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 19 – 12 කිංස්වුඩ් විද්‍යාලය  

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ සිටම කිංස්වුඩ් ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර එහි දී ඔවුන්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට අවස්ථාවන් කිහිපයක්ම විවෘත වුවත්, ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 47 වන මිනිත්තුවේ දී පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට රශ්මික චන්ද්‍රරත්න සමත් විය. අනතුරුව හිරුෂ නෙත්මිණ විසින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගත්තේ කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කර ගනිමිනි. (SJC 19-19 KCK)

ඉන් අනතුරුව ද කිංස්වුඩ් ක්‍රීඩකයින් සිය දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය තවදුරටත් දියත් කරන්නට වූ අතර ඔවුන් එල්ල කළ පීඩනය හමුවේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දැඩි පසුගාමී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන්නට විය. කෙසේ නමුත් කිංස්වුඩ් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ කර දමන්නට ඔවුන්ගේ ආරක්‍ෂක ක්‍රීඩකයින් සමත් විය.

පසුව තරගයේ 61 වන මිනිත්තුවේ දී මීටර 40ක පමණ දුර සිට කිංස්වුඩ් කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් හිමිවූ අතර එය විශිෂ්ට අයුරින් ලබාගත් හිරුෂ නෙත්මිණ පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමුකළේ සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමිනි. (SJC 19-22 KCK)

කෙසේ නමුත් ඉන් අනතුරුව නැවතත් තරගයට අවතීර්ණ වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පන්දුව සාර්ථකව ඉදිරියට රැගෙන ගිය අතර අවසානයේ එය ලබාගත් කාවින්ද කේෂාන් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගනිමින් නැවතත් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. පසුව සන්තුෂ් අල්ගම විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි. (SJC 26-22 KCK)

නාමල් ඇතුළු පිරිසක් ජම්මු කාශ්මීර් රග්බි කණ්ඩායමේ සහයට යයි

හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී …

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම තවත් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ඒවා සාර්ථක වූයේ නැත.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ප්‍රසාද ලකුණක් ද සමඟින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 26 (4T 3C) – 22 (3T 2C 1P) කිංස්වුඩ් විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා – ජනිත රාජනායක (සාන්ත ජෝසප් විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම

  • සාන්ත ජෝසප් විද්‍යාලය – කාවින්ද කේෂාන් 3T, සන්තුෂ් අල්ගම 1T 3C
  • කිංස්වුඩ් විද්‍යාලය – ඩිනාල් ඒකනායක 1T, සචින්ත සෙනෙවිරත්න 1T, රශ්මික චන්ද්‍රරත්න 1T, හිරුෂ නෙත්මිණ 2C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<