කාර්තික්, පාන්ඩ්‍යා හා තාකූර්ගේ දස්කම් නිසා ශ්‍රී ලංකාව වැට උඩට

374
2018 Nidahas Trophy 4th Match

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2018 නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (12) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ අතර මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

[rev_slider LOLC]

කුසල්ගේ සංදර්ශනයෙන් ශ‍්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

පන්දු 37ක දී කුසල් පෙරේරා රැස් කරන ලද ලකුණු 66ක අනුකම්පා විරහිත ඉනිම ප‍්‍රධාන කොට, 70 වැනි නිදහස සැමරීම නිමිත්තෙන් සංවිධානය…

නිමාවූ බංග්ලාදේශ තරගයේ දී මඳ පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට තරග දෙකක තහනමක් පැනවූ අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා වෙත ලබා දෙනා ලදි.

රාත්‍රි 7ට තරගය ආරම්භ වීමට නියමිත වුවත්, වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ආරම්භ වූයේ පැය 1යි මිනිත්තු 20ක් පමණ ප්‍රමාද වීමෙනි. ඒ නිසාවෙන් එක් කණ්ඩායමකට නියමිත පන්දුවාර ගණන 19කට සීමා විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළේය.  

ආරම්භක පිතිකරුවන් යුගලය වන කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක පන්දුවාර 2ක් තුළ ලකුණු 25ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එක් 6 පහරක් සමඟින් ලකුණු 17ක් ලබාගෙන සිටි ගුණතිලක, සුරේෂ් රයිනාගේ දක්ෂ උඩ පන්දු රැකීම නිසාවෙන් පිටිය හැර යෑමත් සමඟ එම සබඳතාවය නිමා විය.

ඉන්පසුව පිටියට පිවිසි තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වන කුසල් පෙරේරා ලකුණු 3ක් ලබා සිටිය දී වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ තරගයේ වැඩි වාසියක් ඉන්දියාව දෙසට හරවමිනි.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා පිටියේ එක්වූ වමතින් පිත්ත හසුරුවන උපුල් තරංග තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 45ක දී ලකුණු 62ක අගනා සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. එම සබඳතාවය නිමා වූයේ එක් 6 පහරක් හා එක් 4 පහරක් සමඟින් ලකුණු 22ක් ලබාගෙන සිටි තරංග දැවී යාමත් සමඟයි.

දිනේෂ් චන්දිමාල්ට මීළඟ විස්සයි විස්ස තරග දෙක අහිමි වේ?

“ඉතා සැලකිය යුතු අඩු පන්දුවාර වේගය” නිසා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට නිදහස් කුසලානයේ ඉන්දියාවට එරෙහිව තරගය (12) හා…

නායක තිසර පෙරේරා දැවැන්ත 6 පහර 2ක් සමඟින් පන්දු 6ක් තුළ ලකුණු 15ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ පන්දුවාර 12ක් තුළ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 113/4ක් ලෙස සටහන් කරමිනි.

ඊයේ දිනය තුළ දී ශ්‍රී ලංකා ඉනිමේ කතානායකයා බවට පත්වූ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වූ අතර ඔහු 4 පහර හා 6 පහර 3ක් සමඟින් පන්දු 38ක දී ලකුණු 55ක් ලබාගෙන සිටිය දී, චහාල්ගේ පන්දුවකට රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

මෙන්ඩිස්ගේ දැවී යාමට පසුව පිටියට පිවිසි පිතිකරුවන් හට ශ්‍රී ලංකා ඉනිමේ අර්ධයක් අවසන් වන විට ලබාගෙන තිබූ දළ ලකුණු ලබා ගැනීමේ වේගය තවදුරටත් නඩත්තු කිරීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස නියමිත පන්දුවාර 19 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණි.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන යොවුන් ක්‍රීඩකයෙක් වන ශර්දුල් තාකූර් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 153ක ඉලක්කයක් හඹා යාමේ අරමුණින් ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිසි අතර ආරම්භක පිතිකරුවන් යුගලය වන රෝහිත් ශර්මා හා ශිකර් ධවාන්ගේ සබඳතාවය ලකුණු 13කට සීමා කරමින් ලකුණු 11ක් ලබා සිටි නායක රෝහිත් ශර්මා, අකිල දනංජයගේ පන්දුවකට මෙන්ඩිස් හට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පන්දුවාරයේ අකිලගේ පළමු පන්දුවටම ලකුණු 8ක් ලබා සිටි ධවාන් දැවී ගියේ තිසර අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ලකුණු 22කට ඉන්දීය ප්‍රබල කඩුලු 2ක් දැවී තිබිය දී පිටියේ එක්වූ දකුණතින් පිත්ත හසුරුවන සුරේෂ් රයිනා හා ලෝකේශ් රාහුල් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූයේ  පන්දු 22ක් තුළයි. එම සබඳතාවය නිසා ඉන්දීය ඉනිම යම් මට්ටමකට ගොඩනැංවීමට ඔවුන් දෙදෙනාට හැකි වූ අතර එම සබඳතාවයේ ප්‍රධාන මොළකරු වූ රයිනා පන්දු 15ක් තුළ ලකුණු 27ක් රැස් කළේ 4 පහර හා 6 පහර දෙකක් සමඟිනි. නුවන් ප්‍රදීප්ගේ වේගය අඩාල වූ පන්දුවකට මිඩ් ඕෆ් කලාපයේ රැඳී සිටි තිසර අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියේය.

මෙම තරගයේ සිදු වූ අපූර්වතම සිදුවීම වූයේ තරගයේ 10 වන පන්දු වාරයේ දී දකුණතින් පිත්ත හසුරුවන ලෝකේශ් රාහුල්, ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවකට පෙර පාදයේ ක්‍රීඩා කිරීමට ගොස් ඔහුගේ පාදය කඩුල්ලේ වැදීම නිසා (හිට් විකට්) ලකුණු 18කට දැවී යාමයි.

පරදින තෙක්ම නොදුටු පැතිකඩ

අතේ තිබූ දේ කටට දාගත නොහැකි වූවා වාගේ යන පැරණි කියමන යළි සිහිගන්වමින් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ …

ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීමට යම් බලාපොරොත්තුවක් තිබුණ ද, ඒ බලාපොරොත්තු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ඉවතට ඇඳගෙන ගොස් ඉන්දීය ක්‍රීඩාගාරයේ රඳවා තැබූ මනීෂ් පාන්ඩ්‍යා හා කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 68*ක නොබිදුණු හා සාර්ථක සබඳතාවයක් එක් කරමින් ඉන්දීය කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක් රැගෙන එන ලදි.

නොදැවී ක්‍රීඩා කළ පාන්ඩ්‍යා පන්දු 31ක දී 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 42*ක් ලබා ගන්නා විට ඉන්දීය මැදපෙළ සවිමත් කිරීමට පාන්ඩ්‍යා හට සහය වූ කාර්තික් නොදැවී ලකුණු 39*ක් ලබා ගත්තේ පන්දු 25ක් තුළ වර්ණවත් 4 පහර 5ක් එල්ල කරමිනි. අවසානයේ මෙම තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අකිල දනංජය කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව – 152/9 (19): කුසල් මෙන්ඩිස් 55, උපුල් තරංග 22, දසුන් ශානක 19, ශර්දුල් තාකූර් 4/27.

ඉන්දියාව – 153/4 (17.3): මනීෂ් පාන්ඩ්‍යා 42*, දිනේෂ් කාර්තික් 39*, සුරේෂ් රයිනා 27,  අකිල දනංජය 2/19.

තරග ප්‍රතිඵලය – ඉන්දියාවට කඩුලු 6ක ජයක්

තරගයේ වීරයා – ශර්දුල් තාකූර් (ඉන්දියාව)

මෙම තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වූ පළමු තරගය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගිය 6 වැනිදා පැවැත්වූ අතර එම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් තරගාවලියට සුබවාදී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත් ඉන්පසුව පැවැත්වූ බංග්ලාදේශ තරගය නොසිතූ ලෙස කඩුලු 5කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය. 

මෙම  තරගය ජයග්‍රහණය කිරීමත් සමඟම දැනට මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදා විය. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන මීළඟ තරගය හෙට (14) ඉන්දියාව හා බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස පිටියේ දී ම පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<