සාන්ත ජෝසප් හමුවේ මලියදේවය පරාජය වේ

1046

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අද (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 45-17ක් ලෙස පරාජය කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය සම්පූර්ණයෙන්ම පාහේ තරගයේ ලකුණු පුවරුව තමන් සතු කරගත්ත ද, මලියදේව ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ දී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

රග්බි ක්‍රීඩාවේ ජිවගුණය පණගන්වන මයිලෝ ජනාධිපති කුසලානය

රග්බි ක්‍රීඩාවේ ජීව ගුණය ඉහළ දැමීමේ හා ක්‍රීඩාවේ හරය ආරක්ෂා කිරීම පෙරදැරි කර ගනිමින් 26 වැනි වතාවටත්…

මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ ජනාධිපති කුසලානය සඳහා කණ්ඩායම් අටක් සහභාගී වන අතර නිමා වූ සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවයේ දෙවන ස්ථානයට පත්වන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. පළඟ ශූරතාවේ තෙවන ස්ථානය දිනා ගනිමින් පෙරළිකාර මලියදේව කණ්ඩායම ආනන්ද කස්තුරිආරච්චි (කැස්ට්‍රෝ) මහතාගේ පුහුණුකාරිත්වයෙන් මේ වසරේ B කාණ්ඩයේ සිට ලබන වසරේ ප්‍රථම වතාවට A කාණ්ඩයේ තරග වාරය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පන්දුව තමන් වෙතම රඳවා ගනිමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පියවරෙන් පියවර ඉදිරියට ගියහ. මිනිත්තු දෙකක ඇවෑමෙන් පන්දුව සිය පසුපෙළ ක්‍රීඩකයින්ට භාර දීමෙන් පසු මලියදේව ආරක්ෂක වළල්ලේ හිඩැසක් දුටු උදේශ පෙරේරා ඒ හිඩැස මනාව ප්‍රයෝජනයට ගනිමින් මිනිත්තු තුනක් ඇතුළත පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සංතුෂ් අල්ගම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (මලියදේව 00-07 සාන්ත ජෝසප්)

අනතුරුව ‘Line Out’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් මලියදේව ක්‍රීඩකයෝ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් පියවරෙන් පියවර සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර උත්සාහක දිනුම් සීමාවට මීටර 10ක් පමණ දුරෙන් ලැබුණු දඬුවම් පහරක් ඉක්මනින් ලබා ගත් මලියදේව ක්‍රීඩකයෝ පන්දුව සිය පසුපෙළට ලබා දෙද්දී ‘wing’ ක්‍රීඩක සංජු හේරත් 12 වන මිනිත්තුවේ දී පළමු මලියදේව උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

ඉශාන් හේරත් එහි ප්‍රවර්තනයට උත්සහ කළ අතර එල්ල වූ පා පහරෙන් පන්දුව පිටියට සමාන්තරව ගොස් හරස් ගෝල කණුවේ වැදී ගෝල කණු අතරින් ගියේ මලියදේවයට අමතර ලකුණු එකතු කරමිනි. (මලියදේව 07-07 සාන්ත ජෝසප්)

සේනානායකයින්ට විශිෂ්ට ජයක්

12 වැනි වරට පවත්වනු ලැබූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර “රන් මහා…

කාලය අපතේ නොයැවූ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ නැවත වරක් මලියදේව අර්ධය ආක්‍රමණය කළ අතර සිය ඉදිරිපෙළ යොදා ගනිමින් 19 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත්වුවත්, විනිසුරු එය ‘Held Up’ අවස්ථාවක් බවට තීරණය කළේය. කෙසේ වෙතත් 20 වන මිනිත්තුවේ දී නැවත සංවිධානය වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ජෝන් ගනේගොඩගේ සුරතින් ලකුණු රැස් කිරීමට සමත් විය. සංතුෂ් අල්ගම අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (මලියදේව 07-14 සාන්ත ජෝසප්)

මලියදේව ක්‍රීඩකයෝ මේ දක්වා ජෝසප්වරුන්ට එතරම්ම පීඩනයක් එල්ල නොකළ නිසා ඉක්මනින්ම සිය රිද්මයට පිවිසුණු සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ඉක්මනින්ම පන්දුව ලබාගෙන සිය වේගවත් පසුපෙළට ලබා දුන් අතර පන්දු යොමු කිරීම් කිහිපයකට පසු මලියදේව ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් මුලා කළ ගැමුණු චේතිය 20 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සංතුෂ් අල්ගම එහි ප්‍රවර්තනය ද අලංකාර ලෙස ගෝල කණු අතරින් යැවීමට සමත් විය. (මලියදේව 07-21 සාන්ත ජෝසප්)

මලියදේව ආරක්ෂක වළල්ල එතරම් සංවිධානාත්මක බවක් නොපෙන්වූ අතර ඉන් උපරිම ප්‍රයෝජන ගත් සාන්ත ජෝසප් කණ්ඩායමේ තරිඳු මදුරංග මලියදේව ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් පහසුවෙන් මැඩලමින් ගෝල කණු පාමුලම සිව්වැනි සාන්ත ජෝසප් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සංතුෂ් අල්ගමට එම ප්‍රවර්තනය එතරම් අපහසු එකක් නොවීය. (මලියදේව 07-28 සාන්ත ජෝසප්)

29 වන මිනිත්තුවේ දී මලියදේව ක්‍රීඩක කවීන් දහනායක හට කහ කාඩ්පතක් දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර පළමු අර්ධය අවසානයේ තරගයේ පෙරමුණ ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 07 (1T,1C) 28 (4T,4C) සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධය අරම්භයේ ද සාන්ත ජෝසප් ක්‍රීඩකයින් මලියදේව ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් ඇතුළත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් වුවත් මලියදේව ක්‍රීඩකයින්ගේ උත්සාහය හමුවේ පන්දුව ‘Held Up’ අවස්ථාවකට ලක්වීම නිසා එම අවස්ථාව ඔවුන්ට අහිමි විය.

කෙසේ වෙතත් කාලය අපතේ නොයැවූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් 38 වන මිනිත්තුවේ දී සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කරන ලදි. ජෝන් ගනේගොඩ සිය දෙවන උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර සංතුෂ් අල්ගමට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (මලියදේව 07-33 සාන්ත ජෝසප්)

මලියදේව ක්‍රීඩකයින් දිගින් දිගටම පන්දුව තමන් වෙත රඳවා ගැනීමේ දුර්වලතා පෙන්නුම් කළ අතර අනෙක් අතට සාන්ත ජෝසප් ක්‍රීඩකයන් සෑම අවස්ථාවක දී ම ඉතා ඉක්මනින් නැවත පන්දුව දිනා ගැනීමට සමත් විය.

47 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩක ඉමේෂ් දිසානායක හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළ නමුත් එහි වාසිය ගන්නට මලියදේව ක්‍රීඩකයෝ සමත් වූයේ නැත.

අඛණ්ඩව දෙවැනි වරටත් ඇලෝසියස් ක්‍රීඩකයෝ ජය පැන් බොති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 25 වැනි වරටත් පැවති ටී. වී. සුමනසේකර…

61 වන මිනිත්තුවේ දී සයවැනි වරටත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර නෙහාන් පෙරේරා සිය ඉදිරිපෙළත් සමඟ ඉතා පහසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. අල්ගම අලංකාර ලෙස එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මලියදේව 07-40 සාන්ත ජෝසප්)

නැවත තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව සෑහෙන වෙලාවකට පසු සිය පසුපෙළට පණ දුන් මලියදේව ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ පළමු වතාවට ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් 53 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සංජු හේරත් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර ඉෂාර හේරත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (මලියදේව 12-40 සාන්ත ජෝසප්)

මලියදේව ක්‍රීඩකයෝ මේ තරගයේ පළමු වතාවට තරගයට අවතීර්ණ වූ බවක් පෙනී ගිය අතර සිය පසුපෙළ ක්‍රීඩකයින්ට පන්දුව යොමු කරමින් සාන්ත ජෝසප් අර්ධය ආක්‍රමණය කරනු දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දිල්ශාන් අතපත්තු තෙවන මලියදේව උත්සාහක දිනුම සඳහා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ඉෂාර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (මලියදේව 17-40 සාන්ත ජෝසප්)

දෙවන අර්ධයේ මතුවුණු උද්‍යෝගිමත් ක්‍රීඩා රටාව දිගටම පවත්වා ගත් මලියදේව ක්‍රීඩකයෝ දිගින් දිගටම සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළත්, ජයග්‍රහණය සඳහා කාලය ඔවුන්ගේ පැත්තේ තිබු‍ණේ නැත.

උත්සාහක දිනුමක් සමඟින් තරගය අවසන් කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ඉතා උනන්දුවක් දැක්වූ අතර තරිඳු මදුරංග සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කිරීමට සමත් විය. සංතුෂ් අල්ගම එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත.

අවසාන ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය 17 (3T,1C) – 45 (7T,5C) සාන්ත ජෝසප් විද්‍යාලය          

ThePapare.com තරගයේ වීරයා: සන්තුෂ් අල්ගම (සාන්ත ජෝසප්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය: උදේශ පෙරේරා (1T), සංතුෂ් අල්ගම (5C), ජෝන් ගනේගොඩ (2T), ගැමුණු චේතිය (1T), තරිඳු මදුරංග (2T), නෙහාන් පෙරේරා (1T)
  • මලියදේව විද්‍යාලය: දිල්ශාන් අතපත්තු (1T), සංජු හේරත් (2T), ඉෂාර හේරත් (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<