කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ත්‍රිත්ව සිහින බොඳ කරයි

1388

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවන අර්ධ අවසාන පූර්ව තරගය අද (17) මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයත් අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 24-15ක් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝසප් හමුවේ මලියදේවය පරාජය වේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අද (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලය…

නිමා වූ සිංගර් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය වසර 10කට පසු ත්‍රිත්ව විද්‍යාලය පරාජය කිරීමට සමත් වූ අතර ඒ හේතුව නිසාම පරාජයේ වාඩුව ගැනීමට ත්‍රිත්ව විද්‍යාලයට මෙය ඉතා හොඳ අවස්ථාවක් විය. කෙසේ වුවත් කිංග්ස්වුඩ් පසුපෙළ ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩා විලාසය හා ‘Line Out’ අවස්ථාවල ත්‍රිත්ව ක්‍රීඩකයෝ සිදු කළ අතපසුවීම් නිසා ත්‍රිත්ව විද්‍යාලයට පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය.

ත්‍රිත්ව විද්‍යාලයේ පා පහරින් තරගය ආරම්භ වූ අතර ආරම්භක මිනිත්තු දෙක තුල ත්‍රිත්ව ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත්වුවත්, ඉක්මනින්ම කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් එම පීඩනයෙන් මුදාලමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ කෙටි කාලසීමාවක්  ඇතුලත පිට පිටම දඬුවම් පහර තුනක් ලබා දීම කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට මහත් සහනයක් විය.

අනතුරුව කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සිය පසුපෙළ යොදා ගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර ලද අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ ‘Line Out’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් මගින් පන්දුව ඉදිරියට ගෙන ගියේය. ගෝල කණුවලට නුදුරෙන් ඔවුන්ට හිමි වූ දඬුවම් පහරක් අලංකාර ලෙස ලකුණු බවට පරිවර්තන කරන්නට ත්‍රිත්ව විද්‍යාලයේ අකිත සකලසූරිය සමත් විය. (ත්‍රිත්ව 03-00 කිංග්ස්වුඩ්)

නැවත තරගය ආරම්භයෙන් අනතුරුව කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ ත්‍රිත්ව ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළේ ත්‍රිත්ව ආරක්ෂක වළල්ල නැවත සංවිධානය වීමට පෙරය. සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් මගින් පන්දුව ඉදිරියට ගෙන යාමෙන් අනතුරුව කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පන්දුව සිය පසුපෙළට භාර දුන් අතර වීරසිංහගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස ග්‍රහණය කර ගත් ධනංජය නුවන් ඉතා පහසුවෙන් පළමු උත්සාහක දිනුම සඳහා 17 වන මිනිත්තුවේ දී ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. හිරුෂ සම්පත් අමතර ලකුණු එකතු  කිරීමට සමත් විය. (ත්‍රිත්ව 03-07 කිංග්ස්වුඩ්)

රග්බි ක්‍රීඩාවේ ජිවගුණය පණගන්වන මයිලෝ ජනාධිපති කුසලානය

රග්බි ක්‍රීඩාවේ ජීව ගුණය ඉහළ දැමීමේ හා ක්‍රීඩාවේ හරය ආරක්ෂා කිරීම පෙරදැරි කර ගනිමින් 26 වැනි වතාවටත් ශ්‍රී ලංකා පාසල් රග්බි පිටිය සමඟ අත්වැල් බැඳගන්නා මයිලෝ ශ්‍රී ලංකා…

කිංග්ස්වුඩ් ආක්‍රමණයට ඉක්මනින් පිළිතුරු ලබා දුන් ත්‍රිත්ව ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් අර්ධයට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ නමුත් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ ත්‍රිත්ව ක්‍රීඩකයින්ට එම අවස්ථාව සාර්ථක කර ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත. කෙසේ නමුත් පිටියේ වම්පස කොනේ කිංග්ස්වුඩ් ආරක්ෂක වළල්ලේ හිඩැසක් දුටු ත්‍රිත්ව ක්‍රීඩකයෝ පන්දුව සිය පසුපෙළට භාර දුන් අතර වේගවත් පන්දු යොමු කිරීම් කිහිපයකට පසු රෙෂාන් බණ්ඩාරනායක සීමා කොඩිය ආසන්නයෙන්ම පළමු ත්‍රිත්ව උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අකිත අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (ත්‍රිත්ව 08-07 කිංග්ස්වුඩ්)

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරුවීම් කිහිපයක් ද දක්නට ලැබුණු අතර ඒ නිසාම පළමු අර්ධය පුරා තරගයේ උණුසුම ඉතා ඉහළ මට්ටමක පැවතුනි.

35 වන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට සිය දකුණු පස කොනේ උත්සාහක දිනුම් රේඛාව ඉදිරියේම දඬුවම් පහරක් හිමි වූ අතර ‘scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සිය පසුපෙළට පන්දුව ලබා දුන් අතර ත්‍රිත්ව ආරක්ෂක වළල්ලේ හිඩැසක් දුටු ආසිරි සෙනෙවිරත්න එම හිඩැස මානව උපයෝගී කර ගනිමින් ගෝල කණු අතරින් උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට පියාසර කළේය. හිරුෂ සම්පත් ඉතා පහසුවෙන් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (ත්‍රිත්ව 08-14 කිංග්ස්වුඩ්)

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 08 (1T,1P) – 14 (2T,2C) කිංග්ස්වුඩ් විද්‍යාලය  

දෙවන අර්ධය ආරම්භයත් සමඟ 36 වන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර මීටර 40ක් පමණ දුරින් තිබූ එම දඬුවම් පහර ලබා ගැනීමට හිරුෂ සම්පත් උත්සහ කළ ද එම උත්සාහය සාර්ථක වූයේ නැත.

40 වන මිනිත්තුවේ දී ත්‍රිත්ව විද්‍යාලයට කිංග්ස්වුඩ් මීටර 22 සීමාවට නුදුරෙන් දඬුවම් පහරක් හිමි වූ අතර පන්දුව පිටියෙන් ඉවතට යොමු කරමින් ‘Line out’ අවස්ථාව සාර්ථක කර ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ සිය පසුපෙළ යොදා ගෙන උත්සාහක දිනුමක් කරා යෑමට උත්සහ කළ ද, එම උත්සාහක සාර්ථක නොවුනේ ඔවුන්ගේ එක පන්දු යොමු කිරීමක් ‘Forward Pass’ අවස්ථාවකට ලක්වීම නිසාය.

ත්‍රිත්ව ක්‍රීඩකයෝ ‘Line out’ අවස්ථා යොමු කිරීමේ දී තරගය පුරාම දුර්වලතා පෙන්වූ අතර 45 වන මිනිත්තුවේ දී ඔවුන් අතරින් වැරදි ලෙස යොමුවුණු පන්දු යොමු කිරීමක් නිසා කිංග්ස්වුඩ් විද්‍යාලයට උත්සාහක දිනුම් සීමාවට ආසන්නයේම ‘scrum’ අවස්ථාවක් හිමි විය. ඉතා පහසුවෙන් ‘scrum’ අවස්ථාවෙන් පන්දුව ලබා ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පන්දු යොමු කිරීම් දෙකකට පසුව ධනංජය නුවන්ගේ සුරතින් සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ධනංජය හට අමතර ලකුණු එකතු කිරීමට හැකි වුණේ නැත. (ත්‍රිත්ව 08-19 කිංග්ස්වුඩ්)

48 වන මිනිත්තුවේ කිංග්ස්වුඩ් ෆුල් බැක් ක්‍රීඩකයාට මග හැරුණු පන්දුවකට ත්‍රිත්ව විද්‍යාලයේ විශ්ව රණරාජා පා පහරක් දී පන්දුව ඉදිරියට ගෙන යාමට උත්සහ කළ නමුත් නිසි පරිදි පන්දුව රැක ගැනීමට නොහැකි වූ නිසා ඉතා ආසන්න අවස්ථාවක් ඔවුන්ට අහිමි විය.

එනමුත් 50 වන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් පිටියෙන් ඉවතට යොමු කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ ‘Line Out’ අවස්ථාව සාර්ථක කර ගනිමින් ‘Rolling maul’ ආකාරයට සිය ඉදිරිපෙළ යොදා ගනිමින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ ලකුණු පරතරය තවත් අඩු කරමිනි. මහදි අබ්දුල්ලා එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර මිනිදු ජයසුන්දර අලංකාර ලෙස ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ත්‍රිත්ව 15-19 කිංග්ස්වුඩ්)

55 වන මිනිත්තුවේ දී විශ්ව රණරාජා නැවත වරක් පන්දුවට පා පහරක් දී ඉදිරියට ගියත් ඔහුට පෙර පන්දුවට ළඟා වූ කිංග්ස්වුඩ් ෆුල්බැක් ක්‍රීඩකයා පන්දුව පිටියෙන් ඉවතට යන සේ පා පහරක් දී එම අවස්ථාව අහිමි කළේය.

අඛණ්ඩව දෙවැනි වරටත් ඇලෝසියස් ක්‍රීඩකයෝ ජය පැන් බොති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 25 වැනි වරටත් පැවති ටී. වී. සුමනසේකර අනුස්මරණ වාර්ෂික මහා රග්බි තරගය ලකුණු 20-00ක් ලෙස ජය…

ත්‍රිත්ව ක්‍රීඩකයෝ මේ වන විට වඩා සංවිධානාත්මකව කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් සිටි නමුත් ප්‍රබල සන්සුන් කිංග්ස්වුඩ් ආරක්ෂක වළල්ල ඔවුන්ට ඉදිරියට යාමට පහසු අවකාශයක් උදා කර දුන්නේ නැත.

අවසාන මිනිත්තු දහයේ දී කණ්ඩායම් දෙකම තියුණු තරගයක් සඳහා අවතීර්ණ වූ අතර 62 වන මිනිත්තුවේ දී සිය පසුපෙළ යොදා ගනිමින් මොහොමඩ් සේශාන් යොමු කළ පන්දුව රැක ගත් සසිත් සෙනෙවිරත්න ත්‍රිත්ව බලාපොරොත්තු බොඳ කරමින් විශිෂ්ට ධාවනයක නිරත වෙමින් ජයග්‍රාහි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අමතර ලකුණු එකතු කිරීමට ඔවුන් සමත් වූයේ නැත. (ත්‍රිත්ව 15-24 කිංග්ස්වුඩ්)

අවසාන ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 15 (2T,1P,1C) – 24 (4T,2C) කිංග්ස්වුඩ් විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා: හිරුෂ සම්පත් (කිංග්ස්වුඩ්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ත්‍රිත්ව විද්‍යාලය – අකිත සකලසූරිය (1P), රෙෂාන් බණ්ඩාරනායක (1T), මහදි අබ්දුල්ලා (1T), මිනිදු ජයසුන්දර (1C)
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – ධනංජය නුවන් (2T), හිරුෂ සම්පත්(2C), ආසිරි සෙනෙවිරත්න (1T), සසිත් සෙනෙවිරත්න (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<